Print this Article


කළ කම් පල දෙන හැටි - 11: අකුසලයට විපාකය දුකම ය

අකුසලයට විපාකය දුකම ය

" අකුසලය සිදුකළ විගස ම එහි විපාක නො ලැබෙන අවස්ථා තිබෙනවා. ඇතැම් අයට තමා සිදුකළ අකුසලවල විපාක ය මේ ලෝකයේ දී ම ලැබෙනවා. ඒවා දිටිඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනවා. තමා කළ අකුසල කර්මවල විපාක මේ භවයේදී නො ලැබුණත් පසු ආත්මභාවයක දී හෝ ලැබෙයි. තමන් සිදුකළ වරදට විපාකය තමන්ට විඳීමට සිදුවීම ස්ථිරයි."

බරණැස් නුවර එක්තරා ගඟක් අසබඩ පසේබුදුරජාණන් වහන්සේ නමක් බණ භාවනා කරමින්,ආගමික අධ්‍යාත්මික වශයෙන් තමන් ලැබූ ඤාණයේ සුව විඳිමින් කාලය ගත කළා. ඒ ගඟ අසබඩ පසේබුදුරජාණන් වහන්සේ නමක් නිදහසේ වැඩ වාසය කරන බව දැනගත් ප්‍රදේශවාසීන් පසේබුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් නිතර නිතර උන්වහන්සේ වැඩවාසය කරන විහාරස්ථානයට පැමිණෙමින් උන්වහන්සේට දානය පිළිගන්වමින් තෙල් , මල්, සුවඳ පූජා කරමින් පසේබුදුරජාණන් වහන්සේ වන්දනාමාන කළා.

පසේ බුදුරජාණන් වහන්සේ නමකට මිනිසුන් මේ තරම් වැඳුම් පිදුම් කරනවා ය යන ආරංචිය පැතිරයාමත් සමඟ බොහෝ මිනිසුන් , එම විහාරස්ථානයට පැමිණි නිසා ම එම ප්‍රදේශය තරමක් ජනාකීර්ණ වුණා.

විහාරයට පැමිණෙන මාර්ගය කුඹුරක් උඩින් සකස්වෙලා තිබුණ නිසා ම කුඹුර මැදින් තිබුණ නියර තරමක් අපිළිවෙළ බවට පත්වුණා. මිනිසුන් නිතර කුඹුර උඩින් ගමන් කිරීමෙන් කුඹුරට සිදුවන හානිය නිසා කුඹුරෙහි අස්වනු පාළුවෙන බව කුඹුරු හිමියා කල්පනා කළා. ඒ සමඟ ඔහුගේ සිතේ විස්සෝපයක් හටගත්තා. තමන්ගේ ධනය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන බව සිතූ ගොවියා ඒ සඳහා කළයුතු දෙයක් පිළිබඳ ව කල්පනා කළා. මේ ආකාරයට මිනිසුන් කුඹුර උඩින් නිතර නිතර ගමන් කරන්න පටන් ගත්තේ මෑතක සිටයි. මීට පෙර මෙවැනි ප්‍රශ්නයක් මට ඇතිවුණේ නැහැ. මිනිසුන් මේ නියර උඩින් ගමන් කරන්නේ කුමන ස්ථානයකට ද? යන්න සොයා බැලිය යුතු බව ගොවියා තීරණය කළා. පසේබුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන්නට මිනිසුන් කුඹුර උඩින් ගමන් කරන බව ගොවියාට දැනගන්නට ලැබුණා. මිනිසුන් කුඹුර උඩින් ගමන් කරන නිසා කුඹුරට පාඩු සිදුවෙන බව සිතන විට ගොවියා පසේබුදුරජාණන් වහන්සේ පිළිබඳ ව තරහවක් ඇතිකරගත්තා. පසේබුදුරජාණන් වහන්සේ එම විහාරස්ථානයෙන් එළවා දැමිය යුතු බවට තීරණය කළ ගොවියා විහාරස්ථානයට ගොස් ඉතා විමසිලිමත් ව සියලුදෙනාට හොර රහසේ පසේබුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන විහාරයට ගිනි තැබුවා. පන්සල ගින්නෙන් පිච්චෙමින් දැවෙන අවස්ථාවේ ගොවියාගේ සිතට හරිම සතුටුයි . දැන් පසේබුදුරජාණන් වහන්සේත් විනාශ වුණා. බුදුරජාණන් වහන්සේ වඳින්න එන මිනිසුන්ගේ ගමනත් අවසානයි . ගොවියා හිතුවා. ඔහුට හරිම සතුටුයි. දැන් මගේ කුඹුර ඉතා හොඳින් පෙර පරිදි කරගෙන යාමට පුළුවන් යැයි ඔහු සිතුවා

පසේ බුදුරජාණන් වහන්සේ අවසන් බව සිතුවත්, උන් වහන්සේට එම ගින්නෙන් කිසිම හානියක් සිදු වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනත් ස්ථානයකට වැඩම කළා. උන්වහන්සේ් වෙනත් ස්ථානයකට වැඩම කළත් උන්වහන්සේගේ සිතට සතුටක් හෝ දුකක් ඇතිවුණේ නැහැ. බුදුරජාණන් වහන්සේලා කෙලෙස් නැසූ වීතරාගී උතුමන් නිසා ම උන්වහන්සේලාට අමුතු ඇලීමක් හෝ ඒ පිළිබඳ විඳීමක් දැනෙන්නේ නැහැ. සියලු කර්ම, ක්‍රියාවක් පමණක් වන නිසා ම සසරට එකතු වෙන්නේත් නැහැ. සසර ගමන අවසන් වීමට එයම හේතුවක් වෙනවා. මිනිස්සු සිදුකරන යහපත්, අයහපත් ක්‍රියාවල අමුතු දුකක් හෝ සතුටක් වීතරාගී උතුමන්ට දැනෙන්නේ නැහැ.

ගොවියා තමන් සිදුකළ අකුසලය නිසා හොඳටම සතුටු වුණා. තමන්ගේ කුඹුර නිදහසේ කරගෙන යාම ට අවස්ථාව ලැබෙන බවට සිතුවා මිස, ඔහු සිදුකළ අකුසලය පිළිබඳ ව එතරම් සිතුවේ නැහැ. ගොවියා සිතූ පරිදි ම පසේබුදුරජාණන් වහන්සේ එම ස්ථානයෙහි වැඩවාසය නො කිරීමෙන් මිනිසුන් ගොවියාගේ කුඹුර උඩින් යන ගමනත් නතර වුණා. ගොවියා හරිම සතුටෙන් කුඹුරේ කටයුතු සිදුකළා. අස්වැන්න නෙළමින් වී ගොඩවල් පිරෙව්වා.

බොහොම ධනවත් පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වුණත්, ජීවිතයේ අවසන් කාලයේ අපමණ දුක්වින්ඳා . තමන් කළ අකුසල කර්මය නිසා මරණින් පසු අමුතු ශරීර ස්වභාවයක් ඇති ප්‍රේතයකු ව උප්පත්තිය ලබා අප්‍රමාණ දුක් වින්ඳා. තමන්ට නඩත්තු කරගෙන යාමට නො හැකිවන තරමට ගව් සිය ගණනක් දිග්වූ විශාල සිරුරක් පැවතුණා. සිරුර ප්‍රමාණයට වඩා වැඩිය නෙරා එන්නේ පෙර අකුසල කර්ම නිසා බවට බණ පොතේ සඳහන් වෙනවා.

එම ප්‍රේතයාගේ ශරීරය ගව් සිය ගණනක් දිග නිසාත්, මුහුණ නාගයකුමෙන් පෙනෙන නිසාත්, ප්‍රේතයා දකින විටත් බයක් දැනෙනවා. ප්‍රේතයාගේ හිස බැලූ බැල්මට ගින්දර ගොඩක් වගේ. ගිනිදැල් පත්තුවෙමින් නිතර ම දැවුණා. ගිනිදැල් වලිගය දක්වා ම පැතිරෙමින් ෙවිදනාවෙන් සිරුර පිච්චෙන නිසා ප්‍රේතයාට විශාල වේදනාවක්. ඒවගේම වලිගයෙන් දැල්වෙන ගිනිදැල් හිස දක්වාම ගමන් කරනවා. ජීවිතය පුරා ගින්නෙන් පිච්චෙමින් දැවි දැවී ෙවිදනා වින්දත් මරණයට පත්වන්නේ නැහැ. අකුසලය නිසා වේදනාව විඳිනවා පමණයි. මේ ආකාරයට එම ප්‍රේතයා අපමණ දුක් වින්දා.

මනුෂ්‍යයකු ලෙස ඉපදිලා ගොවියකු ලෙස කටයුතු කරන කාලයේ සිතට පැමිණුන අයහපත් දුර්ජන සිතිවිලි නිසා ප්‍රේතයකු වුණා. තමාට සිදුවන පුද්ගලික පාඩුව පිළිබඳ ව පමණක් සිතමින් පසේබුදුරජාණන් වහන්සේ වැනි උතුමකුගේ ගුණ පිළිබඳ ව නො සිතා ඒ බුදුරදුන් වැඩ වාසය කළ විහාරස්ථානය ගින්නෙන් පිළිස්සුවා. විහාරස්ථානය පිළිස්සීමේ අකුසලයට ප්‍රතිවිපාක ලෙස මේ ප්‍රේතයාගේ ජීවිතය ගින්නෙන් දැවුණා. ගින්නෙන් කෙතරම් දැවුණත් මරණයට පත්වන්නේත් නැහැ. දැවෙමින් විපාක විඳිනවා පමණයි. ගව් සිය ගණනක් දිගට පිහිටි එම ශරීරයත් විශාල දුකක්. එවැනි සිරුරක් නඩත්තු කිරීමත් විශාල දුකක්. තමාගේ ශරීරය පෝෂණය කිරීමත් දුකක්.

මුගලන් මහරහතන් වහන්සේ වඩින අවස්ථාවක එම ප්‍රේතයා විඳින්නාවූ දුක උන්වහන්සේට දකින්නට ලැබුණා. පේ‍්‍රත ආත්මයක් ලබා මේ තරම් දුක්විඳිීමට හේතුව පිළිබඳව මුගලන් මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසුවා. තමා පෙර සංසාරයේ කළ කර්ම ප්‍රේතයා විසින් ම මුගලන් මහරහතන් වහන්සේ ට පැහැදිලි කළා. තමන් මනුෂ්‍යයකු ලෙස සමාජයට අයහපත් සිතිවිලි සිතුවහොත් එහි විපාක තමන්ට ලැබෙනවා. අයහපත් වචන , අයහපත් ක්‍රියා අනෙකා වෙනුවෙන් පාවිච්චි කරනවා නම්, එම ආකාරයට ම ඵල විපාක විඳින්න ලැබෙනවා. කිරි දෙවූ විගස මිදෙන්නේ නැහැ. එසේ වුව ත් කාලයත් සමඟ මිදෙනවා. අකුසලයත් එම කිරි මිදෙන ස්වභාවය වගෙයි. අකුසලය සිදුකළ විගස ම එහි විපාක නො ලැබෙන අවස්ථා තිබෙනවා. ඇතැම් අයට තමා සිදුකළ අකුසලවල විපාක ය මේ ලෝකයේ දී ම ලැබෙනවා. ඒවා දිටිඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනවා. තමා කළ අකුසල කර්මවල විපාක මේ භවයේදී නො ලැබුණත් පසු ආත්මභාවයක දී හෝ ලැබෙයි. තමන් සිදුකළ වරදට විපාකය තමන්ට විඳීමට සිදුවීම ස්ථිරයි. මේ ගොවියා වුණත් තමන්ට මනසින්් විඳීමට සිදුවන අයහපත් සිතිවිල්ල කායික ක්‍රියාවක් බවට පත් කරගත් නිසා සංසාරය පුරා කෙතරම් දුක්විඳින අයෙකු බවට පත්වුණා ද?