Print this Article


ගැරහුමට ලක්වනු එපා

ගැරහුමට ලක්වනු එපා

“දීඝං පස්ස මාරස්සං”

දුර දිග බලා කටයුතු කරන්නැ’යි ද, කෙටි දුර නොබලා කටයුතු කරන්නැ’යි ද සම්බුද්ධ දේශනාවේ සඳහන් ය. අප විසින් සිදු කරනු ලබන සෑම ක්‍රියාවක ම අරමුණ විය යුත්තේ කෙටි කාලීන ප්‍රතිඵලදායක බව නොවේ දිගු කාලීන බව ය.

එහෙත්, වත්මන්හි ජන සමාජය තුළ බොහෝ ක්‍රියාකාරකම් විමසීමේ දී ඒ මොහොතේ ලැබෙන ප්‍රතිඵලය මත පමණක් පිහිටා කටයුතු කරනු පෙනේ. එය බොහෝවිට ප්‍රදර්ශනය වන්නේ අයිතිවාසිකම්, ඉල්ලීම් දිනා ගැනීම සඳහා අනුගමනය කරන ඇතැම් ක්‍රියාවන්හි දී ය. ඒ අතරින් බොහෝ අවස්ථා අදූරදර්ශී ය. අනර්ථකාරී ය. බලය, ශක්තිය, පිරිස් බලය, තාරුණ්‍යයේ ජවය ඇතැම්විට භාවිත කෙරෙන්නේ පරමාදර්ශී අරමුණු වෙනුවෙන් නොව තාවකාලික වින්දනය සඳහා බව පැහැදිලි ය.

“ධමේ ධමේ නාති ධමේ අති ධන්තෙන විනාසනං”

මේ බෙරපද වයන ශිල්පියෙකුට දුන් අවවාදයකි. ගහන්න, ගහන්න එහෙත්, වැඩි පද නොගහන්න යන අර්ථ දෙන්නේ ය. අපේ සමාජයේ ඇතැම් ප්‍රශ්න දුරදිග යන්නේ ද, අවුල් වියවුල් වන්නේ ද වැඩි පද ගසන්නට යාම නිසා ය. අයිතිවාසිකම් හිමි නොවනවා යැයි හැඟෙන තැන ඉල්ලීම් මඟින් හෝ ඒවා ලබා ගන්නට අපේක්ෂා කිරීම සාමාන්‍ය සමාජ ඒකකයන් හි ස්වරූපයයි. ඒ ඉල්ලීම් ක්‍රමවේදය තුළ එක, දෙක, තුන, හතර,පහ ආදී අනුපිළිවෙළ අනුගමනී ය ප්‍රතිපදාවක් අත්‍යවශ්‍ය වුව ද, බොහෝ විට එවැන්නක් පෙනෙන්නට නැත. අනුපුබ්බගාමී, අනුපුබ්බ පටිපදා කියන ධර්ම විග්‍රහයට අනුව සෑම දෙයක ම අනුපිළිවෙළක් තිබීම අත්‍යවශ්‍ය ය. පළමු පියවරට නොයා සිව්වැන්නට, එක්කෝ පස්වැන්නට යනවා නම්, ඒ ගමන අසාර්ථක ය. පස්වැනි පියවරට නොයා දස වැන්නට යනවා නම් ඒ ගමන අසාර්ථක ය.

වත්මන් සමාජයේ, විශේෂයෙන් ඇතැම් තරුණ තරුණියන් සේ ම, ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේ පෙරදැරි කරගත් විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර පෙනෙන්නට ඇත. එහෙත් ඒවායෙහි අනුපිළිවෙළක් පෙනෙන්නට නැත. අවසන කළ යුතු දේ මුලින් කරන්නට යාම තුළ බොහෝ ගැටලු උද්ගතවන අයුරු අපි දකිමු. විවිධ අවශ්‍යතා මුල් කරගනිමින් උද්ඝෝෂණ සඳහා මහ මඟට බසින අවස්ථා බොහෝ ය. එහෙත් ඒවායෙහි අප දකින අවසානය කලකෝලාහල ය. ශාරීරික අංග හානි ය. ව්‍යසනකාරී තත්ත්වයන් ය. සියල්ල අවසන මහා කළකිරීම් ය.

බුද්ධ දේශනාව අනුව අනුපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම්, මෙවැනි ගැටලු නිර්මාණය වන්නේ නැත. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ එන කතා පුවත මීට හොඳම නිදසුන ය. එක් අවස්ථාවක ජේතවනාරාමයට යාබද ඉඩමක අන්‍ය තීර්ථක ආයතනයක් ඉදි කරන්නට උත්සාහ ගැනුණි. භික්ෂූන් වහන්සේගෙන් මෙය දැන, එහි අනර්ථය සලකා බුදු හිමි ප්‍රායෝගික තීරණයක් ගත්හ. ආගමික මතවාද යනු බොහොම සංවේදී අවස්ථාවන් ය. අනවබෝධය ආගම අර්බුදකාරී තත්ත්වයට ඇදගෙන යයි. මේ දුටු බුදුරජාණන් වහන්සේ රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙය නවතා දමන ලෙස ඉල්ලා සිටියහ. පළමුවත්, දෙවනුවත් පණිවුඩ යැවූ හ. අසාර්ථක වූ තැන උන්වහන්සේ භික්ෂූන් වහන්සේ සමඟ කෙළින් ම රජු මුණ ගැසෙන්නට වැඩම කළහ. එහි අනර්ථකාරී බව පැහැදිලි කළහ. ඒ අනුව රජු සාධාරණ ව ක්‍රියාත්මක වීම නිසා සිදු වන්නට ගිය අනර්ථය මග හැරුණි. මේ වැදගත් ආදර්ශයකි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට උද්ඝෝෂණ පැවැත්වීමට, පෙළපාලි යන්නට, භීෂණකාරී ලෙස හැසිරෙන්නට උපදෙස් නොදුන්හ. බුදු දහමේ අනුපිළිවෙළ ප්‍රතිපදාව නිසා එවැනි තත්ත්වයන්ට ඒම ද අවශ්‍ය වූයේ නැත. ඒ පාලකයන්ට ද එබඳු අවස්ථා මඟ හැරිය නොහැකි විය. ඒ තුළ මහජන මතය මැනවින් ප්‍රදර්ශනය වූ නිසා ය. අදටත් එය එලෙස ම ය. ඕනෑම ධර්මානුකූල, නීත්‍යානුකූල ඉල්ලීමක් සාවධානව, ධර්මානුකූලව ඉදිරිපත් කරනවා නම්, එය ශක්තිමත් ක්‍රමවේදයක් බවට පත්වන්නේ ය. එය මෑත කාලීන ව ගත හැකි හොඳම උදාහරණයකි, 1973 වර්ෂයේ දී එවකට පැවැති රජයේ කැබිනට් මණ්ඩලය මඟින් සම්මත කර ගැනීමට සූදානම් වූ යෝජනාවක් වෙනස් කිරීමට වූ භික්ෂූන් වහන්සේලාගේ බුද්ධිමත් මැදිහත්වීම. එහි යෝජනා වූයේ භික්ෂූන් වහන්සේලාට රජයේ පාසල්වල ඉගැන්වීමේ අවස්ථාව නැතිකරලීම ය. මේ අවස්ථාවේ දී එවක ප්‍රධාන විශ්වවිද්‍යාල සතරේ ම සිටි ශිෂ්‍ය නායක භික්ෂූන් වහන්සේලා, අනෙකුත් වගකිව යුතු භික්ෂූන් වහන්සේලා සමඟ මේ ප්‍රශ්නය ගැන රජය සමඟ සුහද ව සාකච්ඡා කළ හ. එපමණක් නොවේ. ඒ අවස්ථාවේ මෑත ඉතිහාසයේ විශාලතම භික්ෂු පාගමන නිදහස් චතුරස්‍රයේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා සිදුවුණි. සහභාගි වූ භික්ෂූන් වහන්සේ දෙදහස් පන්සියනමකි. එසේ පා ගමනින් වැඩමකොට එදා රජය ආරම්භ කර තිබූ වගා සංග්‍රාමයට ආශිර්වාදය සහ සහයෝගය පළ කළහ. මේ ක්‍රියාවලියත් සමඟ ප්‍රසාදයටපත් රජයට වගකිව යුත්තන් සමඟ සාකච්ඡා කොට ඇතිවන්නට තිබුණු ප්‍රශ්නය සාමකාමී ව විසඳන්නට හැකිවුණි. එසේ නොවී භික්ෂූන් වහන්සේ කලහකාරී ලෙස හැසිරුණා නම්, ඒ ඉල්ලීම ඉටු නොවන්නට තිබුණි. ඉතා මෑතක ද එබඳු ආදර්ශමත් සිදුවීමක් අපි දුටුවෙමු. භික්ෂූන් වහන්සේලාගේ අධිකරණ කටයුතුවල බලය භික්ෂූන් වහන්සේලාටම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන් වහන්සේලා එකසිය විසි නමක් කොළඹ විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට කොළඹ ජනාධිපති නිල නිවස දක්වා පාගමනින් වැඩම කළහ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතාම සුහද ව භික්ෂූන් වහන්සේ පිළි අරගෙන අදාළ කරුණ සාකච්ඡා කළේ ය. ඒ අනුව උන්වහන්සේගේ ඉල්ලීම ධාර්මික වූවක් බව, ධර්මානුකූල බව පිළිගත් ජනාධිපතිතුමා අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඒ ඉල්ලීම ඉටු කිරීමට පියවරගෙන තිබේ.

මේ අවස්ථාවන්හි ලබාගත් ජයග්‍රහණයන්ට හේතු වූයේ භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ අනන්‍යතාව කෙලෙසා නොගෙන ක්‍රියා කිරීම නිසා ය. භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ ආයති සංවරය, සුසංයුත බව, ප්‍රසාදජනක බව විනාශ නොකර ගෙන කටයුතු කරන තාක් මහජනතාවගේ හෝ, රජයේ හෝ අදාළ අනුග්‍රහය ලබා ගැනීම අපහසු නොවන බව මේ කරුණුවලින් පැහැදිලි ය. භික්ෂූන් වහන්සේ අනුගමනය කළ ක්‍රියා මාර්ග ප්‍රායෝගික ලෙස ගෙන කටයුතු කරනතාක් භික්ෂූන් වහන්සේ සමාජයේ ගැරහුමට ලක් නොවේ. ඒ දුර දක්නා නුවණින් ක්‍රියා කරන්නට අප සැවොම අධිෂ්ඨාන කරගත යුතු ය.