Print this Article


බොදුදනට කරුණාවෙනි : ආවත් හිස් අතින් යායුතු ය පින් සිතින්

ආවත් හිස් අතින් යායුතු ය පින් සිතින්

යම් කෙනෙක් සීලය අවශ්‍ය නැහැ කියන තැනක පිහිටා සිටියොත් හොඳ නරක අවබෝධ කර ගන්න බැරි වයසේ පසුවෙන දරුවන්ට කුමක් සිදුවේ ද? ඔබ ම සිතා බලන්න.

අපි අපගේ ජීවිත දෙස විමසා බලමු. අපේ මව්පිය, වැඩිහිටියන් ආච්චි, සීයා සද්පුරුෂ ඇත්තන් ලෙස අපට කුඩා කාලයේ සිට පැවසුවේ කුමක් ද? මේ ලෝකයට පැමිණෙන විට අතට රැගෙන ආ කිසිවක් නොවේ. මේ ලෝකයෙන් යන විට ද අත මිට මොළවා රැගෙන යන කිසිවක් නොවේ. කළ හොඳ නරක පමණක් රැගෙන යන්නෙමු. මේ සරල අදහසකි. එහෙත්, ගැඹුරින් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනාව ම මෙහි පැහැදිලි කරන බව ඉතා පැහැදිලියි.

කුඩා කාලයේ අපේ මව්පියෝ අපට ඉගැන්වූයේ කුමක් ද? ප්‍රාණඝාත කරන්න එපා. කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න එපා. තමන්ට අයිති නැති දේ ගන්න එපා. ඒක සොරකමක් බවට පත්වෙනවා. ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් වරදවා පිහිටුවන්නට එපා. දැන දැන බොරු කියන්නට එපා. කුඩා රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හිස් කළයක් උපමාකොට පෙන්වාදුන් උපමා නැවත නැවතත් සිහිපත් කරමින් මව්පියෝ අපට අවවාද කළා. පැන් පිරී තිබෙන භාජනයක වතුර ඉවත්කොට යටිකුරු කොට තැබූ විට හිස් කළයක් හා යටිකුරු කළ කළයක් පෙනෙනවා වගේ බොරු කියන පුද්ගලයා හිස් පුද්ගලයෙක් වගේ ම යටිකුරු කළ ජීවිතයක් ඇති පුද්ගලයෙක් හැටියට ධර්මයේ පෙන්වා දුන්නා. බොරු කියන පුද්ගලයන් බොරුකාරයන් හැටියටත්, යම් තැනක සත්‍යයක් ප්‍රකාශ කළත් එයත් පිළි නොගන්නා තත්ත්වයට ඒ පුද්ගලයන් පත්වෙන ආකාරයත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව පැවිදි උතුමෝ වැඩිහිටි දෙමව්පියෝ, ගුරු උතුමෝ පෙන්වා දුන්නා. කුඩා කල පටන් මේ මාර්ගය අනුගමනය කර හැදුණු වැඩුණු දරුවන්, ඒ වගේ ම සැදැහැවත් උපාසක උපාසිකාවන්, සද්පුරුෂ ඇත්තෝ කොපමණ දැයි ඔබ ම සිතා බලන්න. වර්තමාන පරිසරය තුළ දියුණු වී යමින් පවතින මේ තාක්ෂණය සමඟ හැදියාව, සිරිත් විරිත් එපා යැයි පැවසීම හෝ ඒවාට ප්‍රධානත්වයක් නොදී කටයුතු කරන්නට යෑමෙන් සිදුවන විනාශය යහපතට වඩා අයහපතක් ම බව නුවණින් පැහැදිලිකොට ගන්න. සීලයට ප්‍රධානත්වයක් ඕනෙ කියන පිරිසත් එසේ පවසන්න, ඥානයක් දැනුමක් ඇති කර ගත්තේ ඔවුනොවුන්ගේ කුඩා කාලය තුළ මව්පියන් විසින් මනාව හැදූ වැඩූ නිසා ය. එසේ නොවන්නට ඔවුන් දුරාචාරයන්ට පුරුදු වූ පුද්ගලයන් බවට පත්වී, දැනට ලබා තිබෙන ඉගෙනීමක් ඇතිකර ගන්නට නොයා සමහර විටෙක හිරේ විලංගුවේ වැටෙන්නට පවා ඉඩ තිබුණා. මේ නිසා අප යම් තැනකට පැමිණ තිබේනම්, ඉනිමඟට පයින් ගසා දමන්නා සේ කටයුතු නොකොට ‘අනුපුබ්බසික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බ පටිපදා ලෙස ධර්ම මාර්ගයේ පෙන්නා දෙන අනුපූර්ව ක්‍රමයෙන් ශික්ෂා මාර්ගය, ක්‍රියා මාර්ගය, පිළිවෙත් මාර්ගය, ප්‍රතිපදා මාර්ගය අනුගමනය කළ යුතුම යි.

තථාගත බුදුරජාණන් වහන්සේ රහතුන් වහන්සේලාට නිරෝධ සමාපත්තියෙන් සමවැඳී නිවන් සම්පත්තිය ලබන ආකාරය දේශනා කළා. ඒ වගේ ම අරහත් බෝධියට පත් නොවී, තවමත් ඒ මාර්ගය තුළ ගමන් කරන ඇත්තන්ට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පෙන්වා දුන්නා. මාර්ගඵලාවබෝධයට පත් නොවූ ඇත්තන් කළයුතු ක්‍රියා මාර්ගය පෙන්වා දුන්නා. කුඩා දරුවන්ට, කුඩා දරුවන් ලෙස කළයුතු ක්‍රියාමාර්ග භාග්‍යවතුන් වහන්සේ පෙන්නා දුන්නා. ඒවගේ ම අප්‍රමාණ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට පත් වූ අයට පළවෙනි අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ කෙසේ ආමන්ත්‍රණය කළේ දැයි පටාචාරා, කිසා ගෝතමී, අක්කෝසභාරද්වාජ ආදී චරිත කතා ගෙන බලන විට ඔබට විමසා බැලිය හැකියි. ඒ වගේ ම අසංවර වූ භික්ෂූන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ කෙසේ පැවසිය යුතු දැයි දේශනා කළ දහම් පෙළත් නුවණින් සිහිපත්කොට බලන්න.

ඒ නිසා පළවෙනි පියවර නම්, මේ ශාසනයේ අවබෝධයෙන් යුක්ත ව සමාධිය මුල් කොටගෙන ම සම්‍යග් ප්‍රඥාව සිහියට පවත්වාගෙන සීලයේ පිහිටා සිටීමයි. සෝණදණ්ඩ සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කරන්නේ “යත්ථ සීලං තත්ථ පඤ්ඤා

යත්ථ පඤ්ඤා තත්ථ සීලං
සීල පරිධෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා

පඤ්ඤා පරිධෝතාහි බ්‍රාහ්මණ සීලං” යම් තැනක සීලය පවතිනවා ද? එතැන සම්‍යග් ප්‍රඥාව ඇතිකරගත හැකියි. යම් තැනක සම්‍යග් ප්‍රඥාව ඇති වූයේ ද ස්වභාවයෙන් ම එහි සීලය පවතින්නේ ය. සීලයෙන් සම්‍යග් ප්‍රඥාව පිරිසුදුවන බවත් ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වන බවත් එහි ම දක්වා තිබේ.

සීලය හා ප්‍රඥාව ලෝකයේ උතුම් ම කරුණු දෙකක් හැටියට සලකා ඉහළින් ම පිහිටා සිටින හැටියට භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනාකොට තිබෙනවා. ඒ නිසා මේ ශාසනය තුළ පළමුවැනි දේ ම හැටියට අපි පිළිගත යුතු වන්නේ අවබෝධයෙන් යුක්තව ම කායික වාචසික සංවරය නම් වූ සීලයේ පිහිටා සිටිය යුතු බවයි.

ඉන් පසුවයි පරමාර්ථ ධර්මය හඳුන්වා දී තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් “ඉන්ද්‍රියේසු ගුත්ථධාරා වියරාහි” එනම් ඉන්ද්‍රියන් හි වැසූ දොරපියන් ඇති ව වාසය කළ යුතුයි. ඉන් අදහස් කරන්නේ සීලයෙහි පිහිටා, චිත්ත ඒකාග්‍රතාවයක් සමඟ කායික වාචසික මනා වූ සංවරයක් ඇති කරගත්තා වූ පිරිස විසින් දහම් ඇස පහළ කර ගන්නට උත්සාහ කළ යුතු බවයි. සීලයෙන් මනා වූ පසුබිමක් සකස් කොට තිබෙනවා. ඔබ ඵලයක් බලාපොරොත්තුවෙන් බීජයක් රෝපණය කරන්නේ නම්, එයට අවශ්‍ය පස, ජලය, ඒවගේ ම වල් පැළෑටි මේවා පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේ ම කෘමීන් වැනි සතුන් බෝ නොවන ආකාරයෙන් ගස ආරක්ෂා කළ යුතුයි. හිරු එළිය වැටෙන්නට අවශ්‍ය පරිදි සකසා ගත යුතුයි. සීලයත් එය ම නොවේ ද, යනුවෙන් කල්පනා කොට බලන්න. සීලයෙන් සම්පූර්ණ වූ හැකිතාක් දුරට මාර්ගය සකසාගත් අයෙකුට මේ වැසූ දොරපියන් ඇතුව වාසය කරන්න කියන අදහස ඉතා පැහැදිලි යි. ඇසෙන් රූපය දකින්න, කනෙන් ශබ්දය අහන්න, නාසයෙන් ආඝ්‍රහණය ලබන්න. දිවෙන් රස ලබන්න, කයෙන් ස්පර්ශ ලබන්න, මනසෙන් සිතිවිලි ඇතිකරගන්න. එහෙත් සීලයේ පිහිටා අස්සාදය හෙවත් සොම්නස ලබා එහි පවතින ආදීනවය නම් යමක් හේතූන් නිසා හටගන්නේ ද? ඒ හේතූන්ගේ නැතිවීමෙන් යමක් නම් වූ ඵලය ද නැතිව යන්නේ ය කියන අදහස දහම් ඇසින් විමසා බලන්න.

එනම්, අනිත්‍ය, දුක්ඛ, අනත්ථ, නම් වූ ත්‍රිලක්ඛනයට යටත් කොට දකින්න කියන මේ අදහසයි. ඉන්ද්‍රියන් හි වැසූ දොරපියන් ඇති ව සිටින්න යන අදහසින් පෙන්නුම් කළේ ඇස ඇර බලන විට සීලයේ පිහිටා සිටින සද්පුරුෂ මනුෂ්‍යයෝ ඔබට කල්‍යාණවන්ත ව දැකගත හැකියි. නිදසුනක් ලෙස ඔබේ අම්මා දෙස බලා සිටිය හැකියි. පියාණන් දෙස බලා සිටිය හැකියි. ඒ වගේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ස්වාමියා දෙස, බිරිඳ දෙස, දරුවන් දෙස, සද්පුරුෂ ලෝකයා දෙස බැලිය හැකියි. එහෙත් ඔබ විසින් මේ කිසිදු පුද්ගලයෙක් කෙරෙහි උපාධානයන් සිදු කරගන්නේ නැහැ. අම්මා, තාත්තා වුණත් මමයි, මගේයි, ස්ථිරයි, සදාකාලිකයි, මට අවශ්‍ය ආකාරයෙන් හැමදාම පවතිනවා කියන අදහසක් ඔබ ඇතිකරගන්නේ නැහැ. මම කියන මේ මගේ කයත් ධාතු හතරකි. ස්කන්ධ පහකි. ආයතන හයකි. පඨවි ආදී ධාතූන් ය. රූප, වේදනා ආදී ස්කන්ධයන් හි ඇස,කන ආදී ආයතනයන් ය. මේවායේ එකතුව නම් වූ මේ කය හටගත්තා වගේ ම නැති ව යන්නේ ය. අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ හා මුළු ලෝකයාට අවිඥානක වස්තූන් ද ඒ පඨවි ආදී ධාතූන්ගෙන් හැදී, ඒවා විසිර යන විට නැතිව යන්නේ ය. අස්සාදයෙන්, සොම්නසින් දැක පිහිට වන්නෙමි. කළයුතු දේ යුතුකම් ලෙස සිදු කරන්නෙමි. ධර්ම මාර්ගයට එකතු කර ගන්නෙමි. එහෙත් ස්ථිරයි, සදාකාලිකයි මා වසඟයේ පවතින්නේ යැයි සිතින් දැඩි ව නොගන්නෙමි. මෙයයි ඇස ආදී ඉන්ද්‍රියන් හි වැසූ දොර පියන් ඇතිව වාසය කරන්නට යැයි සඳහන් කළේ.

එසේ නොමැති ව ඇස් පියාගෙන හෝ, කනෙහි ඇඟිලි ගසාගෙන හෝ, නාසය මිරිකාගෙන ආඝ්‍රහණය එපා යැයි, ලබන්නට එපා යැයි පැවසීම නොවේ. මේ ආකාරයෙන් පරමාර්ථ ධර්මය දැක ගන්න අවස්ථාව සැලසෙන්නේ සංසුන් මනසක් ඇති කරගන්නට හේතු වූ කායික මානසික සංවරයෙන් ලද උපකාරය නිසා ම බව ඔබට නොවැටහේ ද?

වැඩි පිරිසකට වැටහෙන බව පැහැදිලියි. කලාතුරකින් තැනක හෝ විනයක්, සීලයක් ප්‍රධාන නොවේ හෝ අවශ්‍ය නොවේ කියන පිරිස එයින් බැහැර වී අප සියලු දෙනා ම පුද්ගලික මතවාද අදහස්වලට නොගැටී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම පෙළ වර්තමානයටත් වඩාත් ම ගළපාගෙන හැදියාවෙන් පිරිපුන්, විනයෙහි ශිෂ්ට සම්පන්න පිරිසක් හැටියට භාග්‍යවතුන් වහන්සේ නිතර රාහුල ස්වාමීන් වහන්සේත් මුල්කොට ලබාදුන් උපදෙස් ද ගලපාගෙන සීලයෙන් ම පිරිපුන් ව, සමාධිය ම, ප්‍රඥාව ම මුල්කරගෙන ජීවන මඟට බැසගත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වන්නට අධිෂ්ඨාන කර ගනිමු.

එවිට වර්තමාන පරිසරය තුළ තාක්ෂණයේ දියුණුව නිසා ඇතිවන අප්‍රමාණ ගැටලු, කම්කටොලු ඔස්සේ යම් වූ ද සහනයක්, සංසිඳීමක් ඇතිකරගෙන තාක්ෂණය විසින් අප පාලනය කරනවා වෙනුවට, දමනය වූ, සීලයෙන් රැකවරණයක් ලබාදුන් අපගේ ම මනසින් ඒ තාක්ෂණය පාලනය කරගෙන අපට ලෞකික ජීවිතයේ දියුණුවට අවශ්‍ය දේ පමණක් එයින් ලබාගෙන, දමනය වූ මනසින් සම්‍යග් ප්‍රඥාව ලබාගෙන සැනසෙන්නට බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවන් ලෙසින් අධිෂ්ඨාන කරගනිමු.