සරණාගමනයෙහි සැබෑ අරුත
මහනුවර අස්ගිරි මහා විහාරිය කාරක සංඝසභික,
මහෝපාධ්‍යාය,
මහාචාර්ය,
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නා හිමි
" තෙරුවන් සරණ ගිය පුද්ගලයාට කිසිවිටෙක භයක්, ලොමුදැහැගැන්මක්, තැතිගැන්මක් ඇති
නොවන බව ධජග්ග සූත්‍රයේ දී අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව දේශනා කරනවා. ඒ අන්
කිසිදු අදෘෂ්‍යමාන බලවේගයක් නිසා නොව බුද්ධාදි රත්නත්‍රය පිළිබඳ ඇති වීතරාග,වීතදෝෂ
හා වීතමෝහ ගුණය නිසා ය.
"
ලෝකයේ ජීවත් වන සෑම සත්වයෙක් ම නිතර ම ජීවත් වන්නේ කිසියම් භයකින්. ඒ භය
මනුෂ්‍යයන්ට වගේ ම, තිරිසන් සතුන්ට ත් එක විදිහට බලපානවා. “සබ්බේ තසන්ති දණ්ඩස්ස –
සබ්බේසං ජීවිතං පියං” හැම කෙනෙක් ම ජීවිතයට පි‍්‍රය කරනවා. ආශා කරනවා.
මිනිසාට ඇති වන කවර ආකාරයේ හෝ බියක්, තැති ගැන්මක්, චකිතයක් ඇති වන අවස්ථාවක එය
නැති කර ගත යුත්තේ බාහිර බලවේගයකට නතුව කටයුතු කිරීමෙන් නොව ස්වකීය අධ්‍යාත්මයේ ඇති
කර ගන්නා සංවර්ධනයක් තුළිනි. ඒ අනුව මිනිසා පිළිබඳ පරම වූ බලය මිනිසා විසින් ම ගොඩ
නඟා ගැනීමෙන්, ඕනෑම කරුණක දී නිර්භය ලෙස ඉදිරිපත් වීමේ ශක්තිය ඇති කරගන්නට පුළුවනි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ මාර්ගයේ ගමන් කරන අය අවසාන වශයෙන් තමන්
විසින් ම ඇති කර ගන්නා චිත්තපාරිශූද්ධිය තුළින්
නික්ලේශී තත්වයට පත්වෙනවා.
උන්වහන්සේ ආශාව, තරහ, මුළාව කියන මේ අකුසල් සිතිවිලි සපුරා ඉවත් කළ උත්තමයන් වහන්සේ
කෙනෙක්. ඒ නිසා ම, උන්වහන්සේට අකුතෝභය නාමය ද භාවිත කරනවා. අකුතෝභය යන මේ පාලි
වචනයේ අර්ථය වන්නේ කිසිම ආකාරයක භයකින් තොර බවයි. උන්වහන්සේ කෙලෙස් සිඳ දැමු
උත්තමයෙක්. කිසි ම අරමුණක එනම් ලෝභ, දෝෂ, මෝහ කියන මේ කෙලෙස් සිතිවිලි සම්බන්ධ
අරමුණක සිත යෙදෙන්නේ නැහැ. එහෙම නම් භයක් උපදින්නේ නැහැ. පුහුදුන් මනුෂ්‍යයා
කෙලෙස්වලින් බරයි. ඒ නිසා ජීවත් වීමේ ආශාවෙන්, ඒ සඳහා අවශ්‍ය කරන දේ තමයි කරන්නේ.
පළමුවෙන් ම අපට භය ඇතිවන්නේ තමන්ගෙන් ම යි. එනම් අපි තම ආත්මය දැඩිව ගෙනයි ජීවත්
වන්නේ. මේ ‘මම ය මගේ ය” කියන අදහස දැඩිව අල්ලා ගෙනයි ජීවත් වන්නේ. එපමණ ට ම අප
භයෙන් ජීවත් වෙනවා. මෙය අත්තානුවාදභය යි, කාම වශයෙන් , විවිධ දෘෂ්ටි වශයෙන්, ඒ වගේ
ම විවිධ ආගම්, මතවාද පිටුපස දුවමින් ක්‍රියා කිරීම හෙවත් ආත්මවාදී ක්‍රියා කිරීම
නිසා ම අප තුළින් ම හටගත් භයෙන් තැවෙනවා. තම කයෙන්, වචනයෙන් මෙන් ම මනසිනුත් වැරැදි
විදියට ක්‍රියා කරනවා. හැසිරෙනවා. ඉතින් තමන් දන්නවා මේ කරන කියනදේ වැරැදි බව. ඒ
නිසා තමන්ට තම හෘදය සාක්ෂිය දොස් නඟනවා. වරද පටවනවා. මේ නිසා තමන් තම ඇතුළාන්තයෙන්
හටගත් භයට පත් වෙනවා. මේවා තමන්ගේ ම සන්තානයෙන් හට ගන්නා විවිධ භය යි. තව භයක්
තියෙනවා පරානුවාද භය කියලා. ඒ කියන්නේ තමන්ගේ වැරැදි සහගත කිසියම් හැසිරීමක්,
ක්‍රියාවක් නිසා බාහිර සමාජයෙන් තමන්ට ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ භයෙනුත්
පුහුදුන් මිනිසා පෙළෙනවා. තුන්වැනි බය වන්නේ මරණ භය යි. තමන්ගේ මරණය කෙසේ සිදු වෙයි
ද? කොතන මැරෙයි ද? සිහියෙන් මැරෙයි ද? අසිහියෙන් මැරෙයි ද? මැරිලා ගිහින් කොහේ
උපදියි ද? මේ ආදි වශයෙන් අප හැම කෙනෙක් ම මේ භයෙන් ජීවත් වෙනවා. අනිත් භය තමා
මරණින් පසු නරකය, තිරිසන්, පේ‍්‍රත හා අසුර යන කොයි යම් දුගතියකට ලක් වෙයි ද කියන
දුග්ගති භය . ඉතින් මේ කියන කුමන හෝ භයකට පත්වන පුද්ගලයා ඒ හැමවිට ම කුමන හෝ සරණක්
අපේක්ෂා කරනවා. ඉතින් මේ සතර ආකාර භය නිසා බෞද්ධයා මෙහි දී සරණ යන්නේ බුද්ධා දී
රත්නත්‍රය යි.
බෞද්ධ ඉගැන්වීමට අනුව සැබැවින් ම මුළු හිතින් ම තෙරුවන් සරණ ගිය පුද්ගලයා තමා සැබෑ
බෞද්ධයා වෙන්නේ. ඉතින් බුද්ධ, ධම්ම,සංඝ යන මේ ත්‍රිවිධ රත්නය සරණ යනවා කියන්නේ ඒ
තෙරුවන් පිහිට කොට ගෙන තම ජීවිතය පවත්වනවා කියන එකයි. “නත්ථිමෙ සරණං අඤ්ඤං බුද්ධො
මෙ සරණං වරං” කියන්නේ ඒ අදහස යි. මේ විදියට ම ධර්මය හා සංඝරත්නය පිළිබඳවත් සිතා
ක්‍රියා කරනවා. මෙය සද්ධාමූලික ශ්‍රද්ධාවක්. ගස්, ගල්, පර්වත ආදිය සරණ ගොස් කිසි
දිනෙක නම් පිහිටක් නැහැ. එය උතුම් සරණක් වන්නේ නැහැ. එවැන්නෙහි ගුණ වශයෙන් සැලකිය
යුතු යමක් නැහැ. පැමිණෙන දුක් කම්කටොලුවල කෙළවරක් දකින්නට ද පුළුවන්කමකුත් නැහැ.
එහෙත් බුද්ධාදි රත්නත්‍රයෙන් සූවිසි මහ ගුණයන්ගෙන් තාවකාලික සුවයක් නොව සදාකාලික
සැනසීමක් අපේක්ෂා කරන්නාට අවශ්‍ය මාර්ගය කියාපායි. තෙරුවන් සරණ යන පුද්ගලයාගේ අවසාන
ඉලක්කය තමා සියලු දුක් නසාලන නිවන අබබෝධ කර ගැනීම ‘සැබැවින්ම තෙරුවන් සරණ යන්නේ
සද්ධාමූලික සම්මා දිට්ඨිය ඇති කර ගත් තැනැත්තා යි. එනම්, බුදුරජාණන් වහන්සේ පිළිබඳ
සැබෑ අර්ථයෙන් ම ශ්‍රද්ධාව, විශ්වාසය ඇති කරගත යුතු වෙනවා. මේ ශ්‍රද්ධාව ඇති විය
යුත්තේ කිසිදු බලපෑමකින් නොව, තෙරුවන් පිළිබඳ තම සිතේ ඇතිවන අචල පිවිතුරු ප්‍රසාදය
අනුව යි.
තෙරුවන් සරණ යාමේ එක් ක්‍රමයක් අත්තසන්නියාතන සරණාගමන ය යි. එනම්, තම ජීවිතය
බුදුරජාණන් වහන්සේ වෙත පූජා කොට ක්‍රියා කිරීම යි. මෙය භාවනා කිරීමට පෙර බොහෝ විට
යෝගාවචරයා විසින් සිදු කරන්නකි. එයින් තමන්ගේ කමටහන වැඩීමට බාධක ව ඇති සියලු ම
දෙයින් තමන් ආරක්ෂා කරනවා කියන විශ්වාසය ඇති වෙනවා. වැඩක් ආරම්භ කරන්නට පෙර, ගමනක්
යන්නට පෙර අපේ සැදැහැතියෝ මේ විදියට සිතනවා. ඒ ගමන බිමන සාර්ථක වීමට, කාර්යය වඩාත්
යහපත් ව නිමවීමට හේතු වෙනවා කියන විශ්වාසය ඇති වෙනවා. මෙය ශ්‍රද්ධාවෙන් ම සිදු
කරන්නට අවශ්‍ය යි. ඊළඟට තත්පරායන සරණාගමනය. එනම් හැමවිට ම තිසරණය පිහිට කොට ගෙන
ජීවත් වීම යි. “බුද්ධං සරණං, ධම්මං සරණං ,සංඝං සරණං ගච්ඡාමි” කියා නිතර නො කීවත්
තමන්ගේ සිතේ නිතර ම තමන් තෙරුවන් සරණ කොට ජීවත් වෙනවා කියන මේ සිතිවිල්ල බලපවත්වනවා
නම්, එය ම ප්‍රමාණවත් ය. එය තමන්ට හැමවිට ම තිබෙන විශාල බලගතු ශක්තියක්.
ශිෂ්‍යභාවොපගමන සරණාගමනය තෙවැන්න යි. එනම් තෙරුවන් හි ශිෂ්‍යභාවයට, අවනතභාවයට පැමිණ
හෙවත් තෙරුවන්ට අවනත කීකරු ,යටහත් පහත් ගති පැවතුම් ඇති අයෙකු බවට තම සන්තානයෙහි
ඇති කරගන්නා දැඩි තීරණය අනුව ජීවිතය පවත්වා ගැනීම යි. මෙයට හොඳ ම නිදර්ශනය අපේ මේ
ශාසනයේ වැඩ විසූ ධූතංගධාරි රහතන් වහන්සේ අතර අගතැන් පත් වු මහාකාශ්‍යප මහරහතන්
වහන්සේගේ කථාව යි. උන්වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දුටු පිප්පලී තාපසතුමා
උන්වහන්සේ වෙත නැමි නැමි ගොස් තෙවරක් ම වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ශාස්තෘවරයන්
වහන්සේ යි මම ඔබවහන්සේ ට ශ්‍රාවක වෙමි යි” කියූ විට බුදුරජාණන් වහන්සේ තාපසතුමාගේ
ශිෂ්‍යභාවය පිළිගෙන තාපසතුමාට දම් දෙසා වදාළා. එය ම උන්වහන්සේගේ මහණ උපසම්පදාව බවට
පත් වුණා. මෙය ශිෂ්‍යභාවොපගමන සරණාගමනය ලෙස ද පෙන්වා දිය හැකියි. සිව්වැන්න ලෙස
සලකන්නේ පනීපාත සරණාගමන යයි . මෙයින් අදහස් කරන්නේ වන්දනා කිරීමෙන් හෙවත්
අභිවාදනයෙන් සරණ යාම යි. තෙරුවන් සරණ යාමේ දි මේ පිළිවෙළට බුද්ධාදි රත්නත්‍රයට
වන්දනාමාන කිරීමෙන් ම සරණාගමනය සිදු වෙනවා. මෙයට බුද්ධ කාලයෙන් අපට ලැබෙන හොඳ ම
නිදසුන වන්නේ බ්‍රහ්මායු බමුණාගේ කථා පුවත යි. මෙහි දී තම ශ්‍රාවකයෙකු වූ උත්තර
මානවකයාගෙන් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රේෂ්ඨත්වය අසා දැනගත් බ්‍රහ්මායු බමුණා බුදුරජාණන් වහන්සේ වැඩවසන දිසාවට ඇඳිලි
බැඳගෙන තෙවරක් නමස්කාරය හඬ නගා කියා මම කවදා හරි ඒ උත්තම බුදුරජාණන් වහන්සේ හා එක්
වන්නේ නම්, උන්වහන්සේ සමඟ කථා සල්ලාපයක් පවත් වන්නේ නම්, මට කොතරම් යහපතක් ද? එය
එසේ ම වන්නේය යි පී‍්‍රතියෙන් නැවතත් ප්‍රකාශ කළා. මෙසේ මේ නමස්කාරය ප්‍රකාශ
කිරීමෙන් ම තෙරුවන් සරණයාමක් ලෙස සැලකෙනවා. තෙරුවන් සරණ ගිය පුද්ගලයාට කිසිවිටෙක
භයක්, ලොමුදැහැගැන්මක්, තැතිගැන්මක් ඇති නොවන බව ධජග්ග සූත්‍රයේ දී අපේ බුදුරජාණන්
වහන්සේ පැහැදිලි ව දේශනා කරනවා. ඒ අන් කිසිදු අදෘෂ්‍යමාන බලවේගයක් නිසා නොව
බුද්ධාදි රත්නත්‍රය පිළිබඳ ඇති වීතරාග,වීතදෝෂ හා වීතමෝහ ගුණය නිසා ය. |