Print this Article


බෝසත් දරුවන්ට: ගත සරසන්න නිති සිල් රකින්න

ගත සරසන්න නිති සිල් රකින්න

පින්වත් දරුවනේ, අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කියන්නේ මිනිස් ආත්ම භවයක් ලැබෙන්නේ පින්වන්ත පිරිසකට පමණයි. බුදුරජාණන් වහන්සේ “දුල්ලභංච මනුස්සත්තං” කියලා දේශනා කළේ ඒ නිසයි.

ඉතින්, මේ දරුවන්ට මනුෂ්‍ය ආත්ම භවයක් ලැබී තිබෙන්නේ පින් කළ නිසා. මේ භවයේ දී පින් කළොත් තමයි නිවන් දකින්න බැරි වුණොත්, නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ. එහෙම මිනිස් ආත්මයක ඉපදුණා ම නැවත පින් කරලා නිවන් දකින්න පුළුවන්. දිවි මඟ සරු කරගන්නට පුංචි කාලෙ ඉඳලම පින් කිරීමේ වටිනාකම තේරෙනවා නේද?

මේ දිනවල අපි කතා කරන්නේ දස පුණ්‍ය ක්‍රියා ගැනයි. අද සීලය ගැන කතා කරමු. දරුවනේ, දන් දෙන්න පුළුවන් සිතකට පමණයි සිල් රකින්න පුළුවන්. පරිත්‍යාග සිතක් නැති කෙනෙකු තමන් මොනතරම් සිල් රකිනවා කීවත්, එය කළ නො හැකියි.

බුදු දහම කියන්නේ අනුපිළිවෙළට පවතින ක්‍රියාදාමයක්. ඒ දහම් මඟ යන අයත් ඒ පිළිවෙළට කටයුතු කරන්න ඕනෑ.

“අනුපුබ්බ සික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනාහොති”

අනුපූර්ව ශික්ෂණයකින්, අනුපූර්ව ක්‍රියාපිළිවෙතකින්, අනුපූර්ව ප්‍රතිපදාවකින් පමණයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ.

සීලයතිවා උපධාරේතී’ති සීලං’

යමක් කරණකොටගෙන තමන්ගේ කතාවයි, ක්‍රියාවයි නොමඟ යන්න නොදී හරියට ම සිත පිහිටුවා ගන්නවා නම්, ඊට සීලය කියනවා. යම් කුසලයක් කිරීමේ දී නිවැරැදි ව සිත, කය පිහිටුවා ගන්නවා නම් එයට සීලය කියනවා. කෙටියෙන් කියනවා නම්, කතාවේත්, ක්‍රියාවේත්, තැම්පත් බවට, හික්මීමට සීලය කියනවා. ටිකක් ගැඹුරින් බැලුවොත්, ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් බැලුවොත් පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අෂ්ටමක සිල් පුරන අය තුළ සිතින්, කයින්, වචනයෙන් වන දුෂ්චරිතයන්ගෙන් වැළකී, මිච්ඡා ජීවිතවලින් වැළකී කටයුතු කරන අය තුළ සාමණේර, උපසම්පදා වශයෙන් සිල් පුරන උත්තමයන් තුළ ඒ ඒ තැන්වල දී හටගන්නා චේතනාවට අපි ‘සිල්’ කියා කියනවා.

කාය කම්මා වචී කම්මා
සාවජ්ජා වීරති හි යා
මිච්ඡා ජීවාච තං සීලං
ඉතිවුත්තං මහේසිනා

මෙහි තේරුම කවියකින් ඉගෙන ගනිමු.

කයින් තෙපළින් වන
පවිනුත් යළි නපුරුවන
පසක් වෙළඳාමෙන
සකා වළකිනු සිලයි දැනගෙන

දරුවනේ, අපේ කය, වචනය දෙකම සංවර වන්නේ සීලයෙන්. කය සංවර කර ගන්නවා කියන්නේ කයින් සිදුවන අකුසල කර්ම තුනකින් වළකිනවා කියන එකයි. ඒ කියන්නේ, ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාම මිත්‍යාචාරයෙන් වැළකීමයි.

මේ සමාජයේ දී අපට බොහෝ අය හමුවනවා. ඒ අතර සමහර අය හරිම ප්‍රිය මනාපයි. සමහර අය අවලස්සනයි. ඒ වුණාට මේ දරුවො නම් හරිම ලස්සනයි. කයින් සිදුවන අකුසල් දුරු කළොත් ලස්සන ශරීරයක් ලැබෙනවා. දිව්‍යලෝකයන් හි, ප්‍රේත ලෝකයන් හි ලස්සන දෙවිවරු, ප්‍රේතයන් ඉන්නවා. සමහර වෙලාවට කුසල් කරලා දිව්‍ය ලෝකයට ගියා ම අනික් දෙවිවරුන්ට වඩා බබළන රූපයක් ලැබෙනවා. වෙනත් අකුසල් කර්ම නිසා ප්‍රේත ලෝකයේ ගියත්, කයින්වන වැරැදි කරලා නැති නිසා, ලස්සන ශරීරයක් ඇති ව උපදිනවා. අපේ සමහර අය ලස්සන වෙන්න මොන තරම් උත්සාහ කරනවා ද? ඒත් ඒ ලස්සන ඒ වෙලාවට විතරයි. හැමදාම ලස්සනට ඉන්න නම්, සිල්වත් ව ඉන්නට ඕනෑ.

ඊළඟට වචනය සංවර කර ගැනීම. මුසාවාදා (බොරුකීම) පිසුණාවාචා (කේළාම් කීම) පරුෂාවාචා (නපුරුවචන කීම) සම්පප්ඵලාපා (හිස් වචන කීම) යන මේවායින් වැළකීම වාග් සංවරයයි. නැතිනම්, වචනය සංවර කර ගැනීමේ සීලයයි. සමහර අයට මිහිරි කටහඬක් තිබෙනවා. සමහර අය කතා කරන විට අහගෙන ඉන්න ප්‍රියයි. ඒ දරුවනේ, පෙර වචනයෙන් අකුසල් නොකළ අය. එහෙනම්, මිහිරි කටහඬ, ලස්සන වචන, හොඳ දේ අහන්න ලැබෙන්නේ සීලයේ ආනිශංස හැටියටයි.

මේ තරම් අනුසස් ලබන්න නම් සිල් රකින්නේ කොහොම ද?

‘කිකීව අණ්ඩං චමරීව වාලුධිං
පියංච පුත්තංනයනං ව රක්ඛං’

ඒ කියන්නේ දරුවනේ, ‘කිරලා’ කියන පක්ෂියා බිත්තර රකිනවා වගේ සිල් රැකිය යුතුයි. කිරලා බිත්තර රකින්නේ කොහොම ද? කකුල් දෙක ම අහස දෙසට සිටින ලෙසයි. ඇයි? අහස කඩාගෙන වැටිලා, බිත්තර කැඩිලා මගේ දරුවෝ මිය යයි කියලා කිරලා හිතනවා. තමන්ගේ පණ දෙවැනි කරලා තමන්ගේ දරුවන් රකිනවා. ඒ වගේ තම දිවි දෙවැනි කොට සිල් රකින්නට ඕනෑ.

ඊළඟට සෙමෙර මුවා වලිගය රකිනවා වගේ. සිල් රකින්න ඕනෑ. දරුවනේ, සෙමෙර මුවාගේ වලිගය හරිම ලස්සනයි. ඒ වගේ ම පූජනීයයි. අපිරිසුදු කරගන්නේ නෑ. යම් හෙයකින් දුවගෙන යන වෙලාවට වලිගය පැටලුණොත්, තමන්ගේ ජීවිතය නැති වුණත් වලිගය නම් අදින්නේ නෑ. පණ දෙවැනි කොට සෙමෙර මුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරනවා වගේ සීලය රකින්න ඕනෑ. දරුවො දන්නවා ද? චාමර හදන්නේ සෙමෙර මුවාගේ වලිගයේ කෙඳිවලින්. රජවරුන්ට පවන් සලන චාමර, දළදා වහන්සේට පවන් සලන චාමර හදලා තියෙන්නෙත් ඒවායින්. සෙමෙර මුවාගේ වලිගය ලබා ගන්න පුළුවන් වෙන්නෙ ඉතා ම කලාතුරකින්. ඒ වගේ ම ස්වභාවික ව මිය ගිය සෙමෙර මුවෙකුගෙන් ම පමණයි.

ඊළඟට දරුවනේ එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවා රකිනවා වගේ සීලය ආරක්ෂා කරන්න ඕනෑ. අම්මා, තාත්තා තමන්ගේ දරුවන්ට මොන තරම් ආදරේ ද? තමන් ගේ ප්‍රාණය හා සම ව ඔවුන් තම දරුවන් රකිනවා.

ඇස් දෙකක් තිබූ කෙනෙක් එක් ඇසක් අන්ධවුණාට පසුව පෙනෙන ඉතිරි ඇස රැකගන්නේ කොහොම ද? අන්න ඒ වගේ සිල් රකින්න ඕනෑ. මේ වගේ තව බොහෝ කරුණු තිබෙනවා. ඒ ගැන පොතපතින් කියවා දැන ගන්න ඕනෑ.

මෙලෙස සිල් රකින පුද්ගලයාට ලැබෙන අනුසස් බොහොමයි. ඔහු කිසිම අවස්ථාවක විපිළිසර වෙන්නේ නෑ. ඒ කියන්නේ කිසිම දෙයකට පසු තැවෙන්නේ නෑ. අධ්‍යාපනය ලබන දරුවන් සිල්වත් විය යුතුමයි. එවිට විභාග අසමත් වීම නිසා පසුතැවිලිවෙන්න සිදු වන්නේ නෑ. සිල්වත් පුද්ගලයාට ප්‍රමාද නොවී ක්‍රියා කරන්නට හැකි වෙනවා. බොහෝ බව බෝග සම්පත් ලැබෙනවා. කීර්ති, ප්‍රශංසා, ගරු නම්බුනාම ඉබේම ලැබෙනවා. උගත්, වැදගත්, ප්‍රභූ පිරිස් සිටින ඕනෑම තැනකට විශාරද ව පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. සිහි කල්පනාවෙන් වැඩ කළ හැකි වෙනවා. මරණින් පසුව සුගති ලෝකයන්හි ම උපදිනවා. ඒ වගේ ම නිවන් අවබෝධයට සීලය ප්‍රධාන වෙනවා.

එහෙනම් දරුවනේ, සිල් රැකීමේ අනුසස් ගැන දැනගත්තනේ. අද පෝය දවසේ සිල් සමාදන් වූ දරුවන්ට බොහොම සතුටු හිතෙනවා ඇති. ඊළඟ දවසේ තමන්ගේ යාළුවොත් සමඟ ම සිල් සමාදන් වෙන්න ඕනෑ. සිල්වත් දරු පරපුරක් බිහි වේවා කියලා අපි මේ වප් පුර පසළොස්වක පොහෝ දිනයේ ප්‍රාර්ථනා කරනවා.