Print this Article


 නිම් නැති ගුණ ඇති අම්මා -04 : දිවිය එළිය කළ මිණි පහන ඔබයි මගේ - අම්මාකොත්මලේ ධම්මප්‍රිය හිමි

දිවිය එළිය කළ මිණි පහන ඔබයි මගේ අම්මා - කොත්මලේ ධම්මප්‍රිය හිමි

කොත්මලේ ධම්මප්‍රිය ස්වාමීන් වහන්සේ පොල්පිතිගම පල්ලේකැලේ ශ්‍රී තුසිතාරාම විහාරාධිපති හිමියන් ය. හීරළුගම යටකන්ද පුරාණ විහාරාධිපති හිමියන් ය. ගුවන්විදුලි, රූපවාහිනී ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස දෙස් විදෙස් බොදු දනෝ උන්වහන්සේ වෙසෙසින් හඳුනති.

බුද්ධ ශාසන අමාත්‍යංශය මඟින් සංවිධානය කරන සාරධර්ම සුරැකීමේ මනුසත් දීපනී වැඩසටහනෙහි ද ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස කටයුතු කරන ධම්මප්‍රිය ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා මෙත්සුව සේවා පදනමේ සභාපති හිමියෝ ද වෙති. සෑම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයන් මුල් කර ගනිමින් ශ්‍රී පාදස්ථාන පුණ්‍ය භූමියේ සාම චෛත්‍ය අසල දී සත් දිනක් පුරා පැවැත්වෙන දිවා රාත්‍රී දන්සල, ශ්‍රී පාද සමයෙහි පින්බිම පුරා එකතුවන පොලිතින් ආදී කැළි කසළ එක් රැස් කිරීමේ පුණ්‍යවන්ත වැඩසටහන, දුෂ්කර ගම්මානවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් උපකාර කිරීම ඇතුළු ආගමික හා සමාජයීය සේවාවන් රැසක් මෙත්සුව සේවා පදනමෙන් ක්‍රියාත්මක වේ. සතර අපාය පිළිබඳව නිර්මාණය කළ සිනමා රූප පෙළහරක් අවසන ධර්ම දේශනා මාලාවක් රටපුරා පැවැත්වීමෙන් පවට බිය සමාජයක් නිර්මාණය කරනු වස් සංවිධානය කෙරුණු සුවිසෙස් ධර්මදේශනා මාලාවේ අනුශාසකයන් වහන්සේ ද උන්වහන්සේ ය.

උතුම් පැවිදි දිවියේ අරමුණු සාක්ෂාත් කර ගැන්ම උදෙසා යන ගමනේ ආගමික සාමාජයීය සේවාවන් සිදු කරමින් අපමණ බොදු දනන් සිත සුව සදන්නට ගන්නා මේ උත්සාහය තුළ තමන් වහන්සේගේ මෑණියන්ගේ උතුම් ගුණකඳ සිහිපත් කරන්නට උන්වහන්සේ අමතක නොකරති. මේ කොත්මලේ ධම්මප්‍රිය ස්වාමීන් වහන්සේ අම්මා ගැන කී කතාව ය.

මගේ අම්මා එම්. පී. කරුණාවතී මෑණියන්. දැන් අම්මාගේ වයස අවුරුදු හැත්තෑ දෙකක්. කොත්මලේ, තිස්පනේ හුණුගල්ඔය ප්‍රදේශයේ ඇය ජීවත් වෙනවා. අවුරුදු තිහක් පුරා මම හැදී වැඩුණේ අම්මාගේ සෙවණෙයි. අපමණ වූ සෙනෙහස විඳිමින්. අත් පොත් තැබූ දා ඉඳන් අම්මා මා උගතෙක් කරන්න බොහෝ වෙහෙස වුණා. ඉගෙනීමේ වටිනාකම කියා දෙමින් හැම මොහොතකම උනන්දු කළා. මේ හැමදේටම වඩා අම්මා ජීවිතය ගැන කියා දුන් පාඩම් මට යහපත් ජීවිතයක් ගත කරන අපූරු මාවතක් පෙන්වා දුන්නා. මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්න මට අවස්ථාව ලැබුණේ ඒ මඟ පෙන්වීම තුළ යි.

අම්මා අපට ජීවිතය කියා දුන්නේ පරිසරයේ ඇසෙන පෙනෙන දෙයින්. අප අතර ජීවත් වන අනේකවිධ මිනිසුන්ගේ චර්යාවන්, ක්‍රියා කලාපයන් ඇසුරින් පමණක් නොවෙයි. සොබා දහමේ ගහ කොළ, ඇල දොළ, සතා සිව්පාවුන් ඇසුරිනුත් ඇය බොහෝ පාඩම් කියා දුන්නා. පුංචි කාලේ දඟකාරකම්වලට, වැරැදි වැඩවලට ඇය කිසිම දවසක කෝටු පාර නම් දුන්නේ නෑ. බැණ වැදුණෙත් නෑ. ඒත් හිතට දැනෙන්න අවවාද දුන්නා. වරදක් කළොත්, අකුසලයක් කළොත් විපාක නම් ලැබෙනවා ස්ථිරයි. ඇය උදාහරණ සමඟ ම අපට පවෙහි විපාක පෙන්වා දුන්නා. ඒ පිළිබඳ ව බියක්, තැති ගැන්මක් ඇති කළා. නැවත වරදක් නො කරන්නට ඒ මඟ පෙන්වීම ම ප්‍රමාණවත් වුණා. මිනිසුන්ට, ගහ කොළට, සතා සිව්පාවුන්ට ආදරය කරන්න, ගෞරවය කරන්න අපි ඉගෙන ගත්තේ අම්මාගෙන්.

අම්මා කවදාවත් මහා බලාපොරොත්තු පොදි බැන්ඳේ නෑ. දුක සතුට සම ව දරා ගත්තා. ඒ ආදර්ශය පුංචි කාලෙ ම අපට ලැබුණා. සරලකම, ලද දෙයින් සතුටුවීම ඉගෙන ගත්තේ අම්මාගෙන්. මේ ජීවන පුරුදු තරුණ වියේ දී මට පැවිදි දිවියට ඇතුළත් වෙන්න මූලික හේතු වෙන්නට ඇති කියා මට හිතෙනවා.

මම පැවිදි වුණේ වයස අවුරුදු තිහේ දී. රැකියාව කරන අතරතුර මට ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණා. රිසිකේස්වල දී මට අරන්කැලේ භාවනා මධ්‍යස්ථානයේ ධම්මවීර ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරන්නට ලැබුණා. පැවිදි දිවියේ සැහැල්ලු බව, උතුම් නිවන ලබා ගැනීමේ ඕනෑකම මට වඩාත් හොඳින් දැනුණා. ඉතින් මම පැවිදි දිවියට ඇතුළත් වුණා. මුල දී අම්මා බොහොම විරුද්ධ වුණා.

“පවුලේ වැඩිමල් දරුවා වෙලා, පැවිදි වුණා ම කොහොම ද පුතේ’ අම්මා ඇස්වල කඳුළු පුරවාගෙන ඇහුවා. ඒත් මම තීරණය වෙනස් කළේ නෑ. අම්මා තීරණය වෙනස් කළා. මට මුළු හදවතින් ම ආශිර්වාද කළා.

අදත් ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ හෝ ධර්ම දේශනාවක් ප්‍රචාරය වුණොත් මුලින් ම මට කතා කරලා ඒ ගැන කියන්නේ අම්මා. අඩුපාඩු පෙන්නලා දෙන්නේ අම්මා. හොඳ කියන්නෙත් අම්මා.

පැවිදිවෙන තීරණය තුළම කටයුතු කළත් පැවිදිවන දවසේ මට අම්මා ගැන වෙන කිසිම දිනෙක ඇති නොවුණු ආදරයක් සෙනෙහසක් ඇතිවුණා. ලොකු කම්පනයක් දැනුණා. අද වුණත් අම්මා, බුද්ධ පුත්‍රයෙක් ලෙස සලකමින් මට වඳින කොට මට ඒ කම්පනය ඇති වෙනවා මම පැවිදිවෙලා හිටියත්.

සමහර දවසට මම අම්මා බලන්න ගෙදර ගියා ම රාත්‍රියක් නතර වුණොත් අම්මා එදා රෑට ආහාර ගන්නේ නෑ. මම දානය වළඳන්නේ නැති නිසා ඇයත් කුසගින්නේ සිටින බව මම දන්නවා. ඒත් අම්මා ඒ බව කවදාවත් අඟවන්නේ නෑ. මගේ මෑණියන් සැර පරුෂ චරිතයක් නොවෙයි. හරිම අහිංසකයි. නිතර ම මුහුණේ සිනාවක් ඇඳී තිබෙනවා. දරුවන්ට, නැදෑ හිත හිත මිතුරන්ට වගේ ම අසල්වැසියන්ටත් කාරුණිකයි. ඒ නිසා හැමෝ ම අම්මාට ප්‍රියයි. අම්මා කවර හේතුවකටවත් තරහවක්, කෝපයක් ගන්නවා අපි දැකලා නෑ. අවුරුදු තිහක්, මම ගෙදර ජීවත්වුණු කාලය පුරා අම්මා එකම දවසක්වත් ගෙදර රණ්ඩු දබර කරලා නෑ. පියතුමන් සමඟ බොහොම සමඟියෙන් ජීවත් වෙනවා. ඒ ආදර්ශය නිසා ම මගේ සහෝදරියත්, සහෝදරයත් ගිහි ජීවිතය ඉතාම සතුටින් සාර්ථකව ගත කරනවා.

අම්මා, මවක් විදිහට වගේ ම ගෘහණියක් ලෙස, බිරිඳක් ලෙස අදටත් වගකීම් පැහැර හරින්නේ නෑ. මදක් රෝගාතුරව සිටින පියාණන්ගේ සෑම කටයුත්තක් ම ඉතා ඕනෑකමින් සොයා බලා ඉටු කරනවා. හැම පෝයකට ම පෙහෙවස් සමාදන් වීම අම්මාගේ පුරුද්දක්. ඒත් නැඟණිය ගෙදර නතර නො වුණොත් ඇය එදාට පෙහෙවස් සමාදන් වෙන්න යන්නේ නෑ. ඒ තාත්තාගේ ආහාර වේල, බෙහෙත් වේල වරදියි කියලා. ඒ තරමට ඇය ගුණ ගරුකයි.

අපේ අම්මා ඉතිරි කරගත්තේ භෞතික ධනය නොවෙයි. ලද දෙයින් සතුටු වුණු ඇය කාටවත් ඊර්ෂ්‍යා කළේ නෑ. නැදෑයෝ හැමෝගේ ම අඩුපාඩු සොයා බැලුවා. උදවූ උපකාර කළා. අදටත් එහෙමයි. ඒ කාලේ මමත්, මගේ නංගිත්, මල්ලිත් අතර සහෝදර බැඳීම කිසිම විදිහකින්වත් බිඳෙනවා දකින්න ඇය කැමැති වුණේ නෑ. සමගියේ අගය නිතරම කියා දුන්නා. ඒ නිසා පුංචි කාලෙවත් අපි සෙල්ලමට හෝ ගහ බැණ ගත්තේ නෑ. අදටත් අම්මා සහෝදරයන්ගේ තොරතුරු මට කියනවා. මගේ තොරතුරු ඒ අයට කියන බවත් මම දන්නවා. ඒ අපට අපි අමතක වෙයි කියලයි. ඒත් එහෙම වෙන්නේ නෑ. පැවිදි සීමාවේ සිට මගේ සහෝදරකම රැකෙනවා.

ගෙදරට මිණි පහන අම්මා කියලා කියනවා. ඒත් මට හිතෙන්නේ මගේ අම්මා මගේ ජීවිතයට මිණි පහනක් කියලයි. ඇයගේ ආදර්ශය, කරුණා දයා ගුණය නොවන්නට මට උතුම් පැවිදි දිවියේ සුවය විඳින්නට ලැබෙන්නේ නෑ. ධර්මඥානය ලබන්නට හැකි වන්නේ නෑ. ඒ නිසා මම අම්මාට ණය ගැතියි. මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් ම මගේ අම්මා වගේ වෙන්න කියලයි. එවිට හැම දරුවෙකුගේ ම ජීවිතය වඩාත් යහපත් වෙයි. එවැනි අම්මාවරු බොහෝ නැතිවා නොවෙයි. ඒත් මම ලෝකය දකින්නේ මගේ අම්මාගෙන්. ඒ මගේ අම්මා ප්‍රඥා ලෝකය ලබන්නට, දිවිමඟ ආලෝකවත් කරගන්නට මට මඟ පෙන්වූ මිණි පහනක් වූ නිසයි.