Print this Article


නිවැරැදි ගෞරවය අවබෝධයේ ප්‍රතිඵලයකි

නිවැරැදි ගෞරවය අවබෝධයේ ප්‍රතිඵලයකි

" මියුරු අඹ ඵල අපේක්ෂා කරන යමෙකු අඹ ගසේ අතු ඉති කපන්නේ නම්, මුල් සිඳින්නේ නම්, ඔහුගේ එම අපේක්ෂාව කිසි කලෙක ඉටු නොවනු ඇත. අඹගස පෝෂණය කොට, රැකවරණය සලසා කටයුතු කළහොත් එම අඹ ගසෙන් සරුඵල ලැබෙනු ඇත. "

තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ ‘ගරු කිරීම’ ඉතාම ඉහළින් අගය කර ඇති ධර්මයකි. මංගල සූත්‍රයෙහි උතුම් මංගල කරුණක් ලෙස ද ගරු කිරීම හඳුන්වා දී ඇත.

‘ගාරවොච නිවාතොච’ යන ගාථා ධර්මයෙහි ‘ගාරවොච’ යන පදයෙන් ගරු කිරීම අර්ථවත් වේ. නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට පුහුණුවන ශ්‍රාවකයා ශාස්තෘ ගෞරවය ඇතිකර ගත යුතුම ය. ධර්මය පිළිබඳ ව ගෞරවය ඇති කරගත යුතු ම ය. සංඝයා වහන්සේ පිළිබඳ හා සීලය පිළිබඳ ව ගෞරවය ඇතිකරගත යුතු ම ය. එය නිවන් මඟ පුහුණුවන ශ්‍රාවකයා විසින් තම සන්තානය තුළ ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙළ දහමෙහි මෙන් ම අට්ඨ කතාවන් හි අවධාරිත ය. එහෙත් එම ‘ගෞරවය’ යනු බිය මත පදනම් වූ භක්තියක් හෝ ඇදහීමක් නොවන බව මෙහි දී අවධාරණය කළ යුතුම ය. ආලවක සූත්‍රය වෙත අවධානය යොමු කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ සහ ආලවක යක්ෂයා හමු වූ අවස්ථාවෙහි පළමුවෙන් ම ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හෝ උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මය කෙරෙහි හෝ කිසිදු ගෞරවයක් දක්වා ඇති බවක් නො පෙනේ. නමුත් තථාගතයන් වහන්සේ වෙත යොමු කළ මොහුගේ සිතෙහි පැවති ප්‍රශ්න කිහිපයක් පිළිබඳ ව තථාගතයන් වහන්සේ විසින් නිරවුල් පිළිතුරු ලබා දෙමින් කරන දේශනාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවත්, ධර්මය පිළිබඳවත්, ශ්‍රාවක සංඝයා පිළිබඳවත් ආලවක සිත තුළ ඇති වූ ගැඹුරු පැහැදීම, ගෞරවය ඔහු විසින් ම ප්‍රකාශ කරන ආකාරය දැක ගත හැකි ය.

‘භවං ගෝතමං සරණං ගච්ඡාමි
ධම්මං ච භික්ඛු සංඝං ච’

යනාදී වශයෙන් පළමු ව ආලවක යක්ෂයා මෙන් ම, බුදුරදුන් පිළිබඳ ව කිසිදු ගරු සරුවක් නැතිව කටයුතු කළ බොහෝ පිරිස් තථාගතයන් වහන්සේගේ දේශනාව අවබෝධ කර ගැනීමෙන් පසුව බොහෝ සූත්‍රවල අවසානයෙහි ඉහත ප්‍රකාශනය සිදු කර ඇත. මේ තුළ අපට සනාථ වන කරුණක් වන්නේ නිවැරැදි ගෞරවයක් උපදින්නේ අවබෝධයේ ප්‍රතිඵලයක් ලෙස බවයි. ගැඹුරු ධර්ම සංවාද වෙත අවධානය යොමු කරන විට එකී සංවාද තුළින් ලැබෙන අවබෝධය නිසාවෙන් ම බොහෝ ශ්‍රාවකයින්ට තථාගතයන් වහන්සේ කෙරෙහිත්, සද්ධර්මය කෙරෙහිත්, සංඝයා වහන්සේ කෙරෙහිත්, ශික්ෂාව කෙරෙහිත් ගෞරවයක් ලැබුණු අතර සමහර කෙනෙකු ගිහි ගෙදර අතහැර පැවිදි භූමියට පත් ව ධර්ම මාර්ගය පුහුණු කිරීමට පෙළඹීමට තරම් එම ගෞරවය ප්‍රබල එකක් විය.

ධම්මික උපාසක, චිත්ත ගෘහපති වැනි ගිහි පිරිස්, ලැබුණු අවබෝධයෙන් ඇති කරගත් ගෞරවය මත පදනම් ව සුදුවත් අඳිමින් බ්‍රහ්මචාරී ව හෝ ගෘහස්ථ ව ජීවත් වෙමින් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගොස් ජීවිත ගෙවූ අයුරු ත්‍රිපිටක සාහිත්‍යය පෙන්වා දෙයි.

නූතන ශ්‍රාවක පිරිස වන අප ද, නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, සද්පුරුෂයින්, කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කළ යුතු ය. ඔවුන් වෙතින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතු ය. ශ්‍රවණය කළ ශ්‍රී සද්ධර්මය සිහි නුවණින් මෙනෙහි කළ යුතු ය.

එවිට අප තුළ ද පියවරෙන් පියවර ධර්මාවබෝධය වැඩිදියුණු වීම සිදුවේ. අවබෝධය වැඩිදියුණු වන විට ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව මෙන් ම, ඉහත සඳහන් කළ සෙසු අංග පිළිබඳව ද නිවැරැදි ශ්‍රද්ධාවක්, ගෞරවයක් උපදවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. පවුලක් ලෙස ලෞකික ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ද අත්‍යවශ්‍ය අංගයක් ලෙස ගරු කිරීම පෙන්වා දිය හැකි ය. සිඟාලෝවාද සූත්‍රයෙහි සැමියෙකුගෙන් බිරිඳකට ඉටුවිය යුතු යුතුකම් අතර ප්‍රධාන යුතුකමක් ලෙස තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ ගරු කිරීම සහ අවමන් නො කිරීමයි. සැබැවින් ම තථාගත ධර්මයට අනුවත්, ලෝක සම්මතයට අනුවත් බිරිඳ අවමානයට, අගෞරවයට පාත්‍ර වීම වළකාලිය යුතුම ය. ප්‍රජාව බෝ කරන්නිය ඇයයි. මියුරු අඹ ඵල අපේක්ෂා කරන යමෙකු අඹ ගසේ අතු ඉති කපන්නේ නම්, මුල් සිඳින්නේ නම්, ඔහුගේ එම අපේක්ෂාව කිසි කලෙක ඉටු නොවනු ඇත. අඹගස පෝෂණය කොට, රැකවරණය සලසා කටයුතු කළහොත් එම අඹ ගසෙන් සරුඵල ලැබෙනු ඇත. දරුවන් බිහිකරන කාන්තාව ද ගෞරවය, ආදරය, භුක්ති විඳින්නියක වුවහොත් පී‍්‍රතිමත් මනසකින්, සොම්නසකින් ජීවත්වන ඇයගේ ගුණයත්, නුවණත් දෙකම දියුණු වී ඉහළ මානසික සෞඛ්‍යයක් ගොඩනැඟෙනු ඇත. එවැනි මානසික සෞඛ්‍ය සහිත බිරිඳකගේ ජීවිතය ඇසුරින් උපදින දරුවෝ ද උතුම් ගති ඇත්තවුන් වීම අනිවාර්යයෙන් සිදුවනු ඇත.

බිරිඳ මෙන් ම, ස්වාමි පුරුෂයා ද, දරුවන් ද, ගෞරවයට ලක්විය යුතුම ය. කුමක් නිසා ද යත්, කෙනෙකු ගෞරවය ලබනවා යනු ඔහුට ඔහු ගැන, ඇයට ඇය ගැන ගෞරවයක් ඉපදීමට හේතු කාරණ, සැකසීමකි. බාහිරින් ලැබෙන ගෞරවය, තමාට තමා ගැන ගෞරවයක් ඇතිවීමට උපකාර ධර්මයකි.

තමන්ට තමන් ගරු කරන විට එවැනි අය අනුන්ට අගෞරව කිරීමට පෙළඹෙන තරම් දුර්වල මනස් ඇත්තවුන් බවට පත් නොවෙති. සමාජයක ප්‍රගමනය සඳහා අනිවාර්යයෙන් ම සෑම කෙනෙකුම ගෞරවය අත්විඳිය යුතුම ය.

එමෙන්ම ගරු කිරීමේ දී බොහෝ විට භය මත පදනම් ව එය ඇති කිරීම සමාජයේ දැකිය හැකි පොදු ස්වභාවයකි. භයට හෝ ගරු කරනවා යැයි, කෙනෙක් පටු ලෙස තෘප්තිමත් වීම බුදුදහමට අනුව අගය කළ නොහැකි ය. භය යනු දුර්වලකමේ, අනුවණකමේ ප්‍රතිඵලයකි. කෙනෙකුගේ දුර්වලකම් යනු සදාකාලික තත්ත්වයක් නොවේ. දුර්වලකම් මත පදනම් ව කරන ගරු කිරීම් ද, දුර්වලකම් මෙන් ම තාවකාලික දේ බව අප විසින් අවබෝධ කරගත යුතුම ය. සැබෑ ගෞරවනීය බවක් ආයතනයක එකිනෙකා පිළිබඳ ව ගොඩනැගීමට හෝ සමාජයේ, එකිනෙකා පිළිබඳව ගොඩනැඟීමට හෝ නුසුදුසු ම ක්‍රමය වන්නේ කුමක්දැයි ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ තැති ගැන්වීම, බිය වැද්දීම නුසුදුසු ම ක්‍රමය බවයි. ඕනෑම ස්ථානයක සැබෑ ගෞරවයක් ගොඩනැඟීමට සුදුසු ම ක්‍රමය ලෙස තරාතිරම නොබලා අවමන් නොකිරීම, ගෞරවය පිළිබඳ ව නිවැරැදි දැනුම ආකල්ප සංවර්ධනය කිරීම යෝජනා කළ හැකි ය. සමාජය තුළ දැකිය හැකි තවත් කරුණක් ලෙස දුර්වලයා විසින් බලවතාට ගරු කිරීම දැක්විය හැක. බොහෝවිට දුර්වලයෙකු බලවතාට ගරු කරන්නේ බිය මත පදනම්ව ම ය. නමුත් සැබෑ ගරු කිරීම ආරම්භ කළ යුත්තේ භෞතිකව ද, ඔබ බලවත් ව සිටින මොහොතක ම ය. භෞතික අංගයන්ගෙන් බලවත් කෙනෙකු සාපේක්ෂව එකී අංගයන්ගෙන් දුර්වල කෙනෙකුට ගරු කොට, අවමන් කොට කතා කරන්නේ නම්, ක්‍රියා කරන්නේ නම්, සැබැවින් ම එය එම පුද්ගලයා විසින් ලැබූ භෞතික ජයග්‍රහණවලටත් වඩා ඉහළ අධ්‍යාත්මික ජයග්‍රහණයකි. අප වීර්ය කළ යුත්තේ ද අප සිත දිනන්නට ය. අප සිත අනුන්ට අවමන් කරන්නේ අප බලවත් විට ය. අපගේ හැකියාවන් ඉහළ අගයක පවතින විට ය. සිත දිනන්නට සිතන කෙනෙකු නම් සිතේ පවතින ඉහත දක්වන ලද ස්වභාවයට හසු නොවී මානය යටපත් කර ගනිමින් ගරු කිරීම, අවමන් නොකිරීම පුහුණු කළ යුතුම ය.

ලෝකයේ දියුණුරටවල සියල්ලෝ සියල්ලන්ට ගරු කරති. ආගමික ශාස්තෘවරුන්ට, කාන්තාවන්ට දරුවන්ට විශේෂයෙන් ගරු කරති. මන්දයත් භෞතික බලයෙන්, දුර්වලයකුට අවමන් කිරීම, අගෞරව කිරීම බුද්ධිමතුන්ගේ ක්‍රමය නොවන බැවිනි. අගෞරවය වර්ධනය වීම වළකිනු වස් ලොව බොහෝ රටවල නීති පවා සම්පාදනය වී ඇත. බුදු දහමට අනුව නීතියෙන් බිය වැදී, දඬුවමට භයෙන් සිදු කරන ගෞරවය කෙටි කාලීන ය. එහෙත්, අවබෝධයෙන්, නුවණින් තම ජීවිතය පෝෂණය කර ගන්නා තැනැත්තා තුළ කෙනෙකු පිළිබඳ ව ඇතිවන ගෞරවය ඔහුගේ ජීවිතය පුරා පවතිනු ඇත. තුනුරුවන් කෙරෙහි ඇති කරගත් ගෞරවයෙන් ධර්ම පුහුණුව සිදු කරන්නා මේ භවයතුළ දී ම උතුම් නිර්වාණ ධර්මය ද අවබෝධ කරගනු ඒකාන්ත ය.