Print this Article


ධම්මපදයෙන් ජීවිතයට : ධර්මය නුවණින් දකිමු

යමක වග්ගය 19

ධර්මය නුවණින් දකිමු

බහුම්පි චෙ සහිතං භාසමානො - න තක්කරො හොති නරො පමත්තො
ගොපො‘ ව ගාවො ගණයං පරෙසං - න භාගවා සාමඤ්ඤස්ස හොති

දෙසුවත් බණ වැඩි වැඩියෙන් - නො පිළිපදිති – ප්‍රමාදයෙන්
බලනා අන්සතු ගවයන් - නො ලබති ඵල ලෙස ගොපළුන්

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් මිතුරු දමින් වෙළී සිටි භික්ෂු දෙනමක් ඇරබ මේ ගාථාව වදාළ සේක.

සැවැත්නුවර ප්‍රභූ පවුල් දෙකක තරුණයෝ දෙදෙනෙක් දැඩි මිත්‍රත්වයෙන් වෙළී සිටිය හ. වරක් ඒ දෙදෙන විහාරස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනාවක් අසා දහමෙහි පැහැදී කම්සුව අත්හැර පැවිදි බිමට පත් වූ හ. වසර පහක් පමණ ආචාර්ය උපාධ්‍යයන් යටතේ මූලික ශික්ෂණය ලැබ ග්‍රන්ථධූරය හා විදර්ශනා ධූරය පිළිබඳ ව අසනන්ට ලැබී, බුදුරජාණන් වහන්සේ වෙතින් ඒ පිළිබඳ සියලු විස්තර අසා දැනගත් හ.

ඒ දෙනමගෙන් වැඩිමහලු හිමි නම “මම වැඩි මහලු ව පැවිදි වූ හෙයින් ග්‍රන්ථ ධුරයේ කටයුතු කර ගන්නට අසමත් වෙමි. එහෙත් මට විදර්ශනා ධූරයෙහි කටයුතු කර ගත හැකි ය”යි පවසා රහත් ඵලය ලබනතුරු අදාළ වන කර්මස්ථාන ලබා ගත්තේ ය. අනෙක් නම “මම ග්‍රන්ථ ධූරය පුරන්නට සමර්ථයෙමි” යි නගරයෙහි ම නැවතී ධර්ම විනය හදාරන්නට අධිෂ්ඨාන කර ගත්තේ ය. කර්මස්ථාන ලබා ගත් හිමිනම වනගත ව, බවුන්වඩා රහත් ඵලය ලබා ගත් අතර ග්‍රන්ථ ධූරය තෝරා ගත් හිමි නම මනාව ධර්ම විනය ප්‍රගුණ කර ගෙන ඉගැන්වීමේ කටයුතු කළේ ය. උන් වහන්සේ ගෙන් ධර්ම විනය හදාළ භික්ෂු පිරිස පන්සියයක් පමණ වූ අතර උන්වහන්සේ භික්ෂුන් අටළොස්සකගේ උපාධ්‍යයවරයා ද වූ හ.

මේ අතර තුර භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ලබා ගත් පන්සියය නමක් භික්ෂුහු විදර්ශනා ධුරය වඩන හිමි නම විසූ ආරණ්‍යයට ගොස් උන්වහන්සේගේ අවවාද ද ලබමින් භාවනා කර රහත් ඵලය ලැබූ හ. අනතුරු ව උන් වහන්සේට වැඳ නමස්කාර කළ ඒ පන්සිය නම තමන් භාග්‍යවතුන් වහන්සේ දක්නට යා යුතු බව පවසා සිටියහ. “යහපති. එසේනම් යන්න. ගොස් භාග්‍යවතුන් වහන්සේට හා අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා ට මා වෙනුවෙන් සිහිකර නමස්කාර කරන්න. එසේ ම මගේ සහෝදර නමට ද “අපේ ගුරු හිමියන් ඔබ සිහිපත් කළා” යි ද පවසන්න” යි පවසා සමු දුන් හ.

ඒ හිමිවරු එසේ ම බුදුරදුන් හා මහා ශ්‍රාවකයන් වහන්සේ වැඳ ආචාර්යයන් වහන්සේගේ මිතුරු හිමි නම ද බැහැ දැක “අප ගේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා” යි පැවසූහ. ඒ කවුද? යි උන්වහන්සේ ප්‍රශ්න කළහ. ඒ ඔබ වහන්සේ ගේ එකට පැවිදි වූ මිත්‍ර ස්වාමින් වහන්සේ යි”.

”ඔහුගෙන් ඔබ මොනවද ඉගෙන ගත්තේ? එයා ඉගෙන ගත්ත ධර්ම විනයක් නැහැ නේ. පාංශුකූල සිවුරක් අරගෙන කැලෑ වැදුණා මිසක් මොනවද ඉගෙන ගත්තේ? එම හිමි නම කවදා හෝ වනයේ සිට නගරයට පැමිණි දිනක මේ තරම් සිසුන් පිරිසක් පිරිවරා ගෙන ඉගැන්වූයේ කුමක්දැයි අසන්නට තීරණය කර ගත්තේ ය. උන්වහන්ගෙන් ධර්ම ප්‍රශ්න විමසන්නෙමි’යි සිතා ගත්තේ ය.

ටික කලකට පසු භාග්‍යවතුන් වහන්සේ දකින්නට පැමිණි වැඩිහිටි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සහ මහා ශ්‍රාවකයන් වහන්සේලාට හර සර දක්වා අනතුරු ව සිය මිත්‍ර ග්‍රන්ථධූරී හිමි නම දකින්නට ද ගියහ.. උන් වහන්සේ ද වනවාසී රහතන් වහන්සේට ගෞරවාචාර දක්වමින් පා සිවුරු පිළිගෙන “අද මම මුන් වහන්සේ ගෙන් හොඳ ප්‍රශ්න ටිකක් විමසමි” යි සිතමින් සංග්‍රහ කළ හ.

භාග්‍යවතුන් වහන්සේ ‘මේ භික්ෂුව ම පුතණුවන් ගෙන් ප්‍රශ්න අසා හිරිහැර කර අකුසල් කර ගතහොත් එය ඔහුට ම අලාභ පිණිස පවතී’ යැයි සිතා ඔවුන් දෙන ම වැඩ සිටි තැනට වැඩම කළ සේක. එසේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ග්‍රන්ථධූරය පිරූ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රථම ධ්‍යානය පිළිබඳ ව ප්‍රශ්නයක් විමසූ හ. එම භික්ෂුව ඊට නිවැරැදි පිළිතුර දුන්හ. අනතුරුව ද්විතීය ධ්‍යානය ගැන විමසූ හ. ඊට ද නිවැරදි පිළිතුර ලැබිණ.

අෂ්ට සමාපත්තීන් හා රූප ලෝක හා බ්‍රහ්ම ලෝක ගැන ද විමසූ සියලු ප්‍රශ්න වලට සාර්ථක ලෙස නිවැරදි පිළිතුරු දීමට භික්ෂූ නම සමත් විය. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ සෝතාපත්ති ඵලය පිළිබඳ ව ප්‍රශ්න නැඟු හ. ග්‍රන්ථ ධූරය පුරන හිමි නම ඊට පිළිතුරු දීමෙහි අසමත් විය.