විමාන වත්ථු කතා:
දාසී විමානය
කේ.කේ. සුගතපාල
ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම්,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
(බුද්ධශාසන අමාත්‍යංශය)
ආයුෂ්මත් මුගලන් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ අවසරයෙන් දිව්‍ය ලෝක චාරිකාවෙහි
සැරිසරන්නේ තව්තිසා දෙව්ලොව චිත්තලතා වනයෙහි මහත් දෙවඟනන් පිරිවරා සිටි එක් විශේෂ
දෙවඟනක් දැක.
“පින්වත් දෙව්දුව, ඕසධී තාරකාව මෙන් සියලු දිසා බබුළුවමින් ද, මනා සිරුරු පැහැයෙන්
හා සමෘද්ධි වූ සම්පත්වලින් ද යුතු ව මෙහි වෙසෙන ඔබ මිනිස් ලොව සිටිය දී කවර පිනක්
කොට මේ සම්පත් ලැබුවේ දැ’යි ඇසු සේක. ‘ස්වාමීනි, මම පෙර මිනිස් දුවක් වූයෙමි.
අනුන්ගේ ගෙදරක සේවය කළ දාසියක් වීමි. එමෙන් ම පසැස් හා යසස් ඇති ගෞතම බුදුරජාණන්
වහන්සේ සරණ ගිය උපාසිකාවක් ද වීමි. ඒ හේතුවෙන් තථාගතයන් වහන්සේගෙන් හා ශ්‍රාවකයන්
වහන්සේලාගෙන් නිතර ධර්මය ඇසීමෙන් සසර දුකින් මිදෙන යහපත් වීර්යයක් ඇත්තියක් වී
බුද්ධාදි උතුමන් විසින් වදාරන ලද උතුම් ආර්ය මාර්ගයක් වේ ද, යම් ආර්ය ඵලයක් වේ ද,
එයට ද පැමිණියෙමි. ස්වාමීනි, මෙසේ වූ මම මනු ලොවින් චුත ව මේ විපාක ලද බව කියමි.
දැන් මා සක්දෙව් රජුගේ ඉතා ලෙන්ගතු පරිවාර බිරිඳක් හෙයින් සක්දෙව්ගේ දේව සභාව ද
ඇමතිය හැකි ස්වභාවයක් මට ඇත. එනිසා ම සැට දහසක් තූර්ය භාණ්ඩයෝ මගේ පී‍්‍රතිය
පුබුදුවාල යි. ආලම්භ, ගග්ගර, භීම, සාධු ආදී..... දිව්‍ය පුත්‍රයෝ ද, දිව්‍ය දූන් හා
අප්සරාවෝ ද පැමිණ මා සතුටු කරවති. ස්වාමීනි, මා විසින් ලද මේ දිව්‍ය සම්පත් පින්
කළවුන්ට විනා නො කළ වුන්ට නො ලැබේ. සෝක නැති තව්තිසා දෙව් වැසි දෙවියන්ගේ රම්‍ය වූ
නන්දන මහා වනය පින් කළවුන්ටම ලැබේ. පින් කළවුන්ටම මෙලොව හා පරලොව සැප ලැබෙන්නේ ම ය.
පින් නො කළවුන්ට මෙලොව පරලොව සැපයක් නැත. පින් ඇත්තෝ දිව්‍ය ලෝකයන් හි ඉපිද භෝග
සම්පත් ඇති ව සතුටු වෙති.
මේ දේව විමානය හා බැඳි අටුවා කතාව කෙටියෙන් මෙසේ ය.
භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන එක්
සමයෙක සැවැත් නුවර ම වැසි එක් පින්වත් උපාසකයකු (බුදු දහමේ උපාසක, උපාසිකා යනු
අතිමහත් ගෞරව නාමයකි) තවත් බොහෝ වූ උපාසක පිරිස් සමග සවස් කාලයෙහි විහාරයට ගොස් බණ
අසන්නේ, දිනක් අනෙක් අය නැගිට ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ, ‘ස්වාමීනි, මම
හෙට දින සිට මහා සංඝයාට නිතිබත් සලාක දාන සතරක් දීමට කැමැත්තෙමි’යි දන්වා සිටියහ.
මෙහි දී බුදුරජාණන් වහන්සේ ඕ හට දහම් කථාවක් දේශනා කොට එම කටයුත්තෙහි යහපත් බව
පෙන්වා දුන් සේක. උපාසක තෙමේ විහාරයේ දන් ආරාධනා මෙහෙයවන (භත්තුද්දේශක) භික්ෂූන්
වහන්සේ ද දැනුවත් කර හෙට දවස පටන් සළාක දිනයන් හි භික්ෂූන් වහන්සේලා තම නිවසට එවන
ලෙස දන්වා ගෙදර ගොස් තම දාසිය ව ද දැනුවත් කොට ඇයට ප්‍රමාද නො වී දාන කටයුතු
පිළියෙළ කරන ලෙසට උපදෙස් දුනි.
මේ දාසිය මැනවින් ශ්‍රද්ධා ඇත්තියකි. පින් කැමැති ය. සිල්වත් ය, එහෙයින් මෙම දිනයන්
හි වෙනදාටත් වඩා කලින් නැගිට පිරිසුදු වී, ප්‍රණීත ලෙස වළඳන දෑ, පානය කරන දෑ
පිළියෙළ කොට, වැඩ හිඳිනා තැන් මනා ව අතු පතු ගා පිරිසුදු කොට, අසුන් පනවා, භික්ෂූන්
වහන්සේලා පැමිණි කල්හි වඩා හිඳුවා, වන්දනා මාන කොට, සුවඳ දුම් මල් ආදියෙන් පුදා,
හොඳින් වළඳවනු ලබයි. තුනුරුවන් කෙරෙහි නිති ගෞරවය තිබූ මේ දාසී උපාසිකා තොමෝ දිනක්
දන් වළඳා අවසන භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට පැමිණ වැඳ “ස්වාමීනි, මේ ජාති ආදී
දුකෙන් නිදහස් වීමක් කෙසේ සිදු වේ දැ යි? ප්‍රශ්නයක් විචාළා ය. මෙහි දී ඒ භික්ෂූන්
වහන්සේ පළමුව මැය සරණ සීලයෙහි (තිසරණ සහිත පඤ්ච ශීලයෙහි) පිහිටුවා කයෙහි ස්වභාවය
ප්‍රකාශ කොට, මේ කය පිළිකුල් වශයෙන් මෙනෙහි කරන අයුරු (පටික්කුල මනසිකාර) කියා දී
පසු ව ‘අනිච්චතා පටිසංයුත්ත’ (කය සැම කල්හි නො පවතින්නක්) ලෙසින් දහම් කතාවක් කළහ.
ඕ තොමෝ සතුටු සිතින් මෙසේ වසර 16 පමණ අඛණ්ඩ ව පිරිසුදු ව සිල් ආරක්ෂා කළේ දිනක්
තවත් ධර්ම දේශනාවක් අසා මනා සේ වටහාගෙන, නුවණ ද මෝරා ගියෙන් විදසුන් වඩා සෝවන් ඵලය
සාක්ෂාත් කළා ය. පසු කලෙක ඇය කළුරිය කොට ඉහත ගාථාවලින් විස්තර කළ පරිදි සක්දෙව්
රජුගේ ඉතා ලෙන්ගතු පි‍්‍රය පරිවාර භාර්යාවක් ලෙසින් තව්තිසා දෙව්ලොව පහළ වූවා ය.
මෙම දේවතා විමාන කතාවෙන් වර්තමානයේ ජීවත්වන අපට වුව ද මතුකර ගත හැකි ධර්මතා කවරේද
යි විමසමු.
මෝ තොමෝ අන් ගෙදරක දාසකම් කොට බුදු දහමේ උගන්වන උත්තර මනුෂ්‍ය දහමකට (සෝවන් ඵලයට)
හිමිකම් කීවේ දාසියක් ව සිටිය දී ම ය. මෙයින් බොහෝ ධර්ම කරුණු මතුකර ගත හැකි මුත්
විශේෂ කරුණු දෙකක් පමණක් සටහන් තබමි.
මෙහි දී මේ උපාසිකා තොමෝගෙන් සිදු ව ඇත්තේ තමන්ට පවරා තිබූ යම් යම් කටයුතු වේ ද,
ඒවා සෘජුව හා අවංක ව, වේලාව නොවරදවා තම ශ්‍රමය පමණක් වැය කොට සිදු කිරීම නොවේ ද?
දාන වස්තු (දානය වශයෙන් පිළිගැන්වූ සියල්ල) හා මේ සඳහා ප්‍රයෝජනයට ගත් පාරිභෝජ්‍ය
වස්තු වූ වළං, පිඟන්, ආසන, ඇතිරිලි හා හැන්ද කෝප්පය පවා අනුන්ගේ ය. එසේ වී මුත් ඇය
විසින් ඒවා මෙහෙයවා සිදු කරගත් ඒ පිනෙන් සසර දුකින් මුදවාලන ස්ථිර පදනම වූ සෝවන්
ඵලය පවා ලබා ගත්තා ය. ජීවත් ව සිටි ඉතිරි කාලයේ ද මො තොමෝ දාසියක් වුවත් දහමෙහි
හැසිරෙමින් සතුටින් සිටි බව පෙනේ. මරණින් මතු සුගති සම්පත් ද ලැබුවා ය. මේ සියලු
වචන බුද්ධ වචන නිසා බෞද්ධ අප කිසිසේත් සැක නො කළ යුතු ය. මෙහි දී සිදුවන්නට ඇත්තේ
කුමක් ද? තමා කළ සියලු ක්‍රියා යහපත් ගුණයෙන් ම ඉටු කිරීම නො වේ ද? උයන වළඳ, හැළිය,
බෙදන හැන්ද, බොන තේ කෝප්පය පවා හොඳින් පිරිසුදු කරගෙන, ආහාර පිළියෙළ කරන, ගෙබිම,
දන් පිළිගන්වන ශාලාව, වැඩ සිටින අසුන් හා ඇතිරිලි අතුරාලීමා දී මැයට පැවැරී තිබුණු
සියලු කටයුතු, තමා සිදු කරන කාර්යයන් හි උතුම් බව සලකා ගෙන සිදු කිරීම ය. ඇයට එයින්
ලැබී ඇති ආනිශංස කවරේ දැයි සලකතොත් අපට ගත හැකි ආදර්ශ දහසකටත් වඩා මතුකර ගත හැකි ය.
අපි දු මෙම ස්වභාවය සැලකිල්ලට ගන්නේ නම් සසර වසනා තෙක් සුගති සැප හා කෙළවර උත්තම
ලෝකෝත්තර සැප ලබන්නෝ නො වෙමු ද? එහෙයින් අවබෝධයෙන් යුතු ව වීර්යය වඩමු. |