Print this Article


පූජාච පූජනියනං

වලස්ගල පුණ්ණජි මයුරවංශ නා හිමි

රෝහණ පුරවරයේ ඉපැරැණි විහාරස්ථානයක් වන මාතර, වල්පල සිරිමංගල පිරිවෙන් මහා විහාරයේ සිරිලක සුප්‍රසිද්ධ බෞද්ධ ග්‍රන්ථ රචක මහා තෙරනමක් වූ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ කම්මට්ඨානාචාර්ය වලස්ගල පුණ්ණජි මයුරවංශ නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2018 ඔක්තෝබර් 10 දිනට පුරා වසරක් සපිරිණි.

මාතර දිසාවේ දික්වැල්ලට නුදුරු වලස්ගල නම් ගම්පියසේ 1918 අගෝස්තු 20 වන දින මෙලොව උපත ලැබූ හිමිපාණෝ සිටිනාමළුව ගුරුගේ සයිමන් නොහොත් සෝමදාස නම් විය. තම පවුලේ තුන්වැන්නා වූ සෝමදාසගේ පියා සිටිනාමළුව ගුරුගේ හෙන්ද්‍රික් මහතා වන අතර, මව තල්පෙ කංකානම්ගේ ජොසිහාමි නම් විය.

කුඩා කල දික්වැල්ල මොග්ගලී පුත්තතිස්ස බෞද්ධ මිශ්‍ර පාසලේ හයවන පෙළ දක්වා මූලික අධ්‍යාපනය ලබමින් සිටින අවධියේ මොහුට මහණදම් පිරීමේ විශාල ආශාවක් ඇතිවිය. මව්පිය කැමැත්ත මත 1931 දී මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරය වෙත පැමිණ, මාතර ශ්‍රී ධර්මවංශ පණ්ඩිත හිමිපාණන් වහන්සේගේ හා මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල පරිවේණාධිපති හිමිපාණන් වහන්සේගේ ගුරු උපදේශකත්වය ලබමින් ගිහි ශිෂ්‍යයෙකු ලෙසින් ධර්මවිනය කරුණු, පිරිත් දේශනා, පාලි භාෂාව ආදිය හදාරන්නට විය.

පසුව නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත්ව එහිදී සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු නිමාකර 1932 දී මාතර ශ්‍රී ධර්මවංශ පණ්ඩිත නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරයේ දී වලස්ගල මයුරවංශ නමින් සසුන් බිමට ඇතුළත් විය.

1940 දී උපසම්පදා දිවියට ඇතුළත් වූ මයුරවංශ හිමිපාණෝ මඩිහ ගම්පියසේ කුඩා බෞද්ධ දරු දැරියන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මඩිහ ශ්‍රී ධර්මවංශිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් දහම් පාසලක් ආරම්භ කළ අතර, අනතුරුව උන්වහන්සේ පැවිදි බිමට පත් වූ වල්පල සිරිමංගල පිරිවෙන් මහාවිහාරයේ ද දහම් පාසලක් ආරම්භ කිරීමට ද උන්වහන්සේ සමත් විය. එය අද මාතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ දීප්තිමත් දහම් පාසලක් බවට පත්ව ඇත.

තරුණ මයුරවංශ පොඩි හාමුදුරුවන්ගේ දස්කම් වටහාගත් එකල අමරපුර මහා සංඝ සභාවේ සභාපතිව වැඩ විසූ මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණෝ, මයුරවංශ හිමිපාණන්ට මහරගම භික්ෂු මධ්‍යස්ථානයේ ආචාර්ය හිමිවරයෙකු වශයෙන් සේවය කිරීමට කළ ආරාධනාව පිළිගත් හිමිපාණෝ එම වකවානුව තුළ දී මහරගම පිළිකා රෝහලේ ගිලනුන් හට ගිලානෝපස්ථාන වැඩසටහනක් ද ආරම්භ කළහ. එම කටයුත්ත අතරතුරදී ප්‍රදේශයේ දානපතියන් කිහිපදෙනෙකු ද සම්බන්ධ කර ගනිමින් රෝහල තුළ ඉතා දර්ශනීය බුදු මැදුරක් ද තනවා නේවාසික රෝගීන්හට වැඳුම් පිදුම් කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

ඉතා කෙටි කාලයකදී සුවිශාල වූ සමාජ මෙහෙවරක් ඉටුකළ නා හිමිපාණෝ අගනුවර ප්‍රදේශයේ සිට නැවත මාතර තම විහාරස්ථානයට වැඩමකර 1960 දශකයේ මාතර හෙළ හවුල, මාතර දිසා බෞද්ධ ගුරු දෙගුරු සංගමය, බෞද්ධාචාර්ය සංවිධානය, මාතර අමද්‍යප සේවා සංගමය හා මාතර අක්ෂිදාන සංගමය වැනි සමාජ සේවා රැසක් ආරම්භ කිරීමට සමත් වූහ.

අනතුරුව මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මහතා හා තවත් සුවිශේෂී වූ සමාජ සේවක පිරිසක් ද සම්බන්ධ කර ගනිමින් 1962 දී මාතර ආරෝග්‍ය සේවා සමිතිය ආරම්භ කරන ලදී. එහිදී මාතර රෝහල මුල්කර ගනිමින් එහි නේවාසික රෝගීන්හට ගිලානෝපස්ථානය ආරම්භ කරන ලද අතර එය මේ වන විට වසර 55 ක් මුළුල්ලේ සිදුකරගෙන යයි. කුඩා දරුවා පටන් මහල්ලා දක්වා සමාජය සංවර්ධනය කළ යුතු පෙරවදන ඔස්සේ කටයුතු කරමින් මව්පියන් අත්හළ දරුවන් සඳහා කීර්ති කුමාර නිවාසයත්, රැකවරණයක් නැති ජීවිතයේ සැඳෑ සමය ගත කරන වැඩිහිටියන් වෙනුවෙන් ‘සුවසෙවණ’ වැඩිහිටි නිවාසයත්, ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මාතර යෝගාශ්‍රමයත් ආරම්භ කිරීමට උන්වහන්සේ සමත් වූහ. මෙමඟින් දහස්’ සංඛ්‍යාත පිරිසකට මානසික සුවය සලසාලන්නට මාතර පුරවරයට අත්කරදුන් ප්‍රථම යෝගාශ්‍රමය වීම සුවිශේෂ කරුණකි.

චරිත සංවර්ධනයට හා මානසික සංවර්ධනයට උපකාර වන ධර්මග්‍රන්ථ රැසක් ලියා මුද්‍රණය කර ඇති මයුරවංශ හිමිපාණෝ විසුද්ධි මග 1 – 11 දක්වා, සීල, භාවනා විධි, අමා දහර 1 සිට 06 කාණ්ඩය දක්වා, ධර්මචින්තා 1 සිට 13 කාණ්ඩය දක්වා, ලොව මවන්නා, නිවනට මඟ ආදී බෞද්ධ ග්‍රන්ථ රැසක් මේ අතර වේ. මේ අතර උන්වහන්සේ විසින් රචිත ‘මා දුටු ලෝකය’ නමැති ග්‍රන්ථය සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ග්‍රන්ථයකි. මෙයට අමතරව ‘සිත් සුව සේවය’ නමින් උන්වහන්සේ විසින් ලියා මාසිකව මුද්‍රණය කර බෙදාහරිනු ලබන ධර්ම පත්‍රිකාව කාගේත් ප්‍රසාදයට පත්ව ඇත.

මාතර ප්‍රදේශයේ සුප්‍රකට ධර්ම දේශකයන් වහන්සේනමක වන රාහුල මහා විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය මාතර කඩවත් සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සී/ස මාතර ආරෝග්‍ය සේවා සමිතියේ කළමණාකාර අධ්‍යක්ෂක ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණෝ හා මාතර ශාරිපුත්ත මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමිපාණෝ මයුරවංශ හිමිපාණන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේලාවූහ.

සුපටිපන්න ගුණයෙන් සපිරි මයුරවංශ හිමිපාණෝ උජුපටිපන්න ගුණයෙන් පිරිපුන් ය. සිල් ගුණයෙන් හා තපෝ ගුණයෙන් අනූන ය. පරිසරයට මෙන් ම සතා සිව්පාවුන්ට අපරිමිත කරුණාවක් දැක්වීය. එමෙන්ම නිහඬ අල්පේච්ඡ ජීවිතයක් ගතකළ වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණෝ තම ජීවිතයේ සියවැනි වියේ දී එනම් 2017 ඔක්තෝබර් 10 දින අපවත් වන්නට යෙදුනි. උන්වහන්සේ ජීවත්ව සිටිය දී උන්වහන්සේගේ ම අකුරෙන් ලියා තිබූ අවසන් ඉල්ලීම පරිදි දේහයේ අවසන් කටයුතු එදින ම සවස් භාගයේ මාතර පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී ආදාහනය කරන ලදී.

අපවත්වී වදාළ වලස්ගල පුණ්ණජි මයුරවංශ ලොකු හාමුදුරුවන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම් මාලාව, 2018 ඔක්තෝබර් මස 09 හා 10 දෙදින මාතර, වල්පල, සිරිමංගල පිරිවෙන් මහා විහාරස්ථානයේ දී වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

****

මීරියබැද්ද උපනන්ද මහා නා හිමි

ඌව අමරපුර නිකායේ මහානායක මීරියබැද්ද උපනන්දාභිධාන මහානා හිමියන් අපවත් වී ඔක්තෝබර් 12 වන දිනට වර්ෂයක් සපිරිණි.

1926 ජූනි මස 15 වන දින පස්සර මීරියබැද්ද ගම්පියසේ දී ජන්ම ලාභය ලද උන්වහන්සේ 1940 දී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත්ව 1946 දී උපසම්පදාව ලැබූහ. අනතුරුව කොළඹ විද්‍යෝදය පිරිවෙනින් ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍රය හදාරා පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගත්හ.

අනතුරුව මරදාන නාලන්දා විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස සේවය කරමින් ධර්ම ප්‍රචාරය සඳහා පුහුණුවක් ද ලබා ගන්නා ලදී.

එහෙත් දායකයන්ගේ ඉල්ලීම මත ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විදේශගතවීම නවතා නැවත ශ්‍රී සුරම්මාරාම විහාරස්ථානයට වැඩම කර ප්‍රදේශයේ ආගමික හා ආර්ථික සාමාජීය පුනර්ජීවනය ඇති කරලීම සඳහා සිය අප්‍රතිහත ධෛර්ය මෙහෙයවීය. 1992 වර්ෂයේ සිට ඌව අමරපුර නිකායේ අධිකරණ සංඝනායක. අනුනායක ධූරයේ කටයුතු කර සිටිමින් 2008 වර්ෂයේ සිට මහානායක ධූරයට පත්වන ලදී.

උන්වහන්සේ අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් මෙම 11 වන දින කාව්‍යමය ධර්ම දේශනයක් ද 12 වන දින ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිත ව තිබිණි.. 13 වන දින පනස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද වැඩිහිටියන් 30 දෙනෙකුට හා ගැබිනි මාතාවන් 25 දෙනෙකුට පාරිභෝගික ද්‍රව්‍ය ලබාදීම හා ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්තක් ද සිදු කෙරේ. මේ සඳහා උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ඌව අමරපුර නිකායේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී කණහෙල ධම්මික ස්වාමීන් වහන්සේ සමඟ සුචරිතාකාර දායක සභාව එක්ව කටයුතු කරනු ලබයි.

****

බුදුරාවේ සීලවංස හිමි

උඩරට අමරපුර මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මීගහකිවුල ශ්‍රී සරණපාල පරිවෙණාධිපති හා කෘත්‍යාධිකාරී, විහාරාත්‍රයාධිපතිව වැඩ විසූ කර්මවාගාචාර්ය, ශ්‍රී සුගතවංසාලංකාර ධම්මකිත්ති බුදුරාවේ සීලවංසාභිධාන නා හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙනි.

බදුල්ල මීගහකිවුල බුදුරාව ගම්මානයේ විසූ ඩී.එම්. පුංචිරාළ වෙද මහතා සහ ඩී.එම්. හීංමැණිකා මහෝපාසිකාවට දාව 1944 නොවැම්බර් මස 30 වන දින ඩී.එම්. මුතුබණ්ඩා කුමරුවා ජන්ම ලාභය ලැබීය. මොරහෙල ශ්‍රී කල්‍යාණාරාමාධිපතිව වැඩ විසූ ගලපිටකන්දේ සුගතවංස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1956 සැප්තැම්බර් මස 09 වන දින බුදුරාවේ සීලවංස යන නාමයෙන් පැවිදි බව ලබා නිසි වයසේදී උගතමනා බණ දහම් සම්පූර්ණ කර 1964 ජූලි මස 13 වන දින උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක මහා සංඝ සභාවෙන් උපසම්පදාව ලැබූහ.

බදුල්ල ගල උඩ ශ්‍රී ධර්මනිකේතන පිරිවෙන, බදුල්ල විදුරුපොල ශ්‍රී පියතිස්ස විද්‍යායතන පිරිවෙනින් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ලබා තම දැනුම ශිෂ්‍යයන්ට දායාද කළේ ය. උන්වහන්සේ ආචාර්යවරයෙක්, පරිවෙණාධිපති හා කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙසින් විශාල සේවාවක් සිදුකළහ. 1968 වර්ෂයේ බදුල්ල මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාමයට වැමඩකොට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර බදුල්ල මීගහකිවුල ශ්‍රී සරණපාල පිරිවෙන ආරම්භ කරන ලදී. එය ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබීමට තෝතැන්නක් විය. සිදුකළ ශාසනික සමාජ මෙහෙවර අගයමින් 2001 දෙසැම්බර් මස 25 වන දින උඩරට අමරපුර මහා නිකායෙන් ශ්‍රී සරණපාල සුගතවංසාලංකාර ධම්මකිත්ති යන ගෞරව නාමය සහිතව කාරක සංඝ සභික ධූරයෙන් පිදුම් ලැබූහ.