Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 05 : මිහින්තලේ මිහිඳු සෑය

මිහින්තලේ මිහිඳු සෑය

මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු හිමියන් ලෙසින් ද අප රටේ ලියැවුණු පුරාණ ග්‍රන්ථවල සඳහන් වන කරුණකි. බුදුරජාණන් වහන්සේට පමණක් එලෙස දෙවැනි වූ නාමය සදාකල්හි ම බෞද්ධ ජන හදවත් තුළ ස්ථාපිත වී ඇත.

දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනි (මහා වංස අට්ඨ කතාව) ඇතුළු ග්‍රන්ථ රාශියක ම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය නිසා අපගේ පැවති පැරැණි ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයක් වන බව විවිධ අන්දමින් සඳහන් කර තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ එම ධර්මදූත ගමන මහින්දාගමනය ලෙසින් ද එදා සිටම ජනහදවත් තුළ රැඳී ඇත. ඒ සිදුවීමට මේ වසර වන විට වසර 2325 ක් ගත වී ඇති බව ද (පසුගිය පොසොන් පුර පසළොස්වක දිනය වන විට) ඉතා ප්‍රකට කරුණකි. මේ වසරේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2278 සපිරීම වෙනුවෙන් සුවිශාල පින්කම් රැසක් ද සිදු කිරීමට නියමිතව ඇත.

මහාවංසයේ 20 වැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වී ඇත. ‘ඒ රජහු ඇවෑමෙන් (දේවානම්පියතිස්ස රජතුමාට පසුව) උහුමල් උත්තියයි ප්‍රසිද්ධ වූ රජකුමර අපුත්‍රක ව රාජ්‍යය මොනවට කරවි. ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර වනාහි පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන උතුම් බුදු සස්න මොනවට ලක්දිව්හි බබුළුවා ලංකාවට ප්‍රදීපයක් බඳු වූයේ, මහා සමූහ ඇත්තේ ලක්දිව බුදුන් වැනි වූයේ බොහෝ ලෝ වැඩ කොට ඒ උත්තිය රජුගේ රාජභිෂේකයෙන් අටවැනි ජය වර්ෂයෙහි වස්සාන සමයන් හි සෑගිරියෙහි (විසූ සේක) වෙසෙමින් වප්මස ශුක්ල පක්ෂයෙහි අටවක් දවස් ද්වීපවර්ධනයට හේතු වූ මහේන්ද්‍ර ස්ථවිර තෙමේ පිරිනිවන් පෑ සේක. අටවක් දවස්හි මහේන්ද්‍ර ස්ථවිර තෙමේ පිරිනිවි කරුණෙන් දවසද අටවක් පොහෝදා යි සම්මත වී ඒ අසා උත්තිය රජතෙමේ සෝක නමැති හුලින් පහර ලදුයේ සෑගිරි ගොස් තෙරුවන් වැඳ නොයෙක් වර නොයෙක් පරිද්දෙන් හඬා සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මහාස්ථවිර දේහය බහා මොනවට වසන ලද ඒ දෙණ අලංකෘත රන් කුළු ගෙයක් හි තබ්බවා කුළු ගෙය ගෙන්වා ගෙන සාධු ක්‍රීඩා කෙළවමින් ඒ ඒ දිගින් ආ මහත් ජන සමූහයා හා කැටිව මහත් වූ භට සමූහයා ලවා පූජා විධාන කරවමින් සැර හූ මඟින් නොයෙක් අලංකාරයෙන් සරහන ලද නුවරට ගෙනවුත් නුවර රාජ වීථීන්හි හසුරුවා මහවෙහෙරට ගෙනවුත් මෙහි පැණඹ මළුවෙහි කුළුගෙය තබ්බවා සත් දිනක් මිහිපල් තෙමේ තොරණ කොඩිමාලා හා ගණ්ධපූර්ණ ඝටයෙන්ද විහාරයන් අවට තුන්යොදුනකුත් රජහුගේ ආනුභාවයෙන් සරහන ලදුයේ විය. එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරහන ලද්දේ විය. ඒ මිහිපල් තෙමේ සත් දවසක් මුළුල්ලෙහි නානාප්‍රකාර පූජා සත්කාර කරවා පූර්ව දිසා භාගයෙහි තෙරුන්ගේ බද්ධමාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා මහසෑය ප්‍රදක්ෂිණා කෙරෙමින් මනරම් කුළුගෙය එහි පමුණුවා දරසෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කෙළේ ය. ධාතූන් ගෙන්වා මෙහි සෑයක් ද කරවි. ක්ෂත්‍රීය තෙමේ (රජු) ධාතුභාගයක් ගන්වා සෑගිරි වෙහෙරෙහි ද සියලු විහාරයන්හි ද සෑ බඳ වී ඒ සෘෂිහුගේ ශරීරය බැහූ තැන අවකාශයද බුහුමනින් ඉසිභූමංගන නමැයි කියන ලදී. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයෙහි කලුරිය කළ ආර්යන්ගේ ශරීරගෙන ඒ පෙදෙස්හි දී දවනු ලැබේ. (මහාවංසය, සිංහල පරිවර්තන, අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා 20 වැනි පරිච්ඡේදය පිටු. 29 සිට 49 – 1912)

සෑගිරිය යනුවෙන් සඳහන් වන්නේ මිහින්තලයයි. මෙහි දී අපගේ විශේෂ අවධානය යොමුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගෙන් හරි අඩක් ම මිහින්තලේ දාගැබක නිධන් කළ බැව් මහාවංසයේ සඳහන් වන කරුණු පිළිබඳව ය. මේ පිළිබඳ ව විමසන විට ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ පාලන වාර්තාවක (1951) සඳහන් කර ඇති පහත සඳහන් කර ඇති කරුණු වැදගත් වේ. (රජගල තැන්න - සිරිසමන් විජේතුංග පි. 14 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - 2005)

මිහින්තලේ වටදාගෙයි පිහිටි දාගැබ ශිලාචේතිය බැව් පිළිගතහොත්, එය උත්තිය රාජ සමයෙහි මිහිඳු හිමියන්ගේ ධාතූන් කොටසක් නිධන් කිරීම පිණිස කළ ථූපය වන්නට නො පිළිවණ. එසේ නම්, ඒ ධාතූන් වහන්සේ අන්තර්ගත වූ දාගැබ කුමක්ද? මෙම පැනය විමසීමේ දී අපට ඉදිරිපත් කළ හැක්කේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නොබෝදා පෑදූ දාගැබයි. ආදිම බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් මෙම දාගැබෙහි යොදන ලද බැවින් එය ලංකාවේ පිහිටි පැරැණි දාගැබක් වෙයි. එහි මැද වූ මැටි කරඬුව කුඹල් කර්මාන්තය අතින් මේතාක් දිවයිනේ සොයාගෙන ඇති ඉතාම අගනා වූ ද, පැරැණි වූද නිදසුන ය. එහි තිබී හමු වූ කුඩා රන් කරඬුව ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ දැනට තිබෙන (1951) පැරැණි ථූපය වන සාංචි ස්තූපයෙහි ලක්ෂණයන් ගෙන් සමන්විත වෙයි. එහි කරඬුවේ නිධන් කරන ලද ධාතුන් වහන්සේලා (භෂ්මාවශේෂ) ද ආදාහනයකින් ලත් භෂ්මාවශේෂය.

මිහිඳු සෑය

මෙවැනි ස්තූපයක් ඇති බව පවා සියවස් ගණනාවක් මුළුල්ලේ අමතක වී ගොස් තිබුණි. 1951 මෙම ස්තූපයේ පදනමේ සුන්බුන් ඉවත් කර මුළුමනින් ම පාදාගනු ලැබී ය. පදනම පාදාගත් පසු මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය රතනජෝති අධිකරණ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව ස්තූපයේ ඇතුළත පරීක්ෂා කිරීමට තීරණය කෙරිණි. මේ සඳහා ස්තූපයේ මුදුණින් වළක් කැණීමටත්, එහි මහසෑයට මුහුණලා ඇති පැත්තෙන් කොටසක් කපා හැරීමටත් තීරණය විය. මෙය හාරා බැලීමට දැරූ පරිශ්‍රමයෙන් විපුල ඵල ලැබුණායැයි කිව හැක්කේ ඒ කාර්යය කරද්දී ඉතා වැදගත් දෙයක් සොයාගත හැකි වූ නිසයි.

ලංකාවේ, ඉන්දියාවේ හෝ මෙතෙක් කිසි විටෙක හෙළ වී නැති වර්ගයකට අයත් ඔප දැමූ කළු මැටියෙන් නිම වූ කරඬුවක් අපට හමු විය. එය ගී‍්‍රවාකාර කරඬුවකි. එහි උස අඟල් 5, 3/8 ද යට විෂ්කම්භය අඟල් 2, 7/8 ද වේ. එකිනෙකට හා වෙන කොටස් තුනකින් යුක්ත වූ එහි ඉහළම කොටස පියන ලෙසත්, අනික් කොටස් දෙක වෙනම හෙප්පු දෙකක් ලෙසත් භාවිත කර තිබිණි. මෙම කරඬුව ලංකාවේ මෙතෙක් සොයාගත හැකි වී ඇති ඉතාම වටිනා මැටි බඳුන වන්නේ ය. මතු පැහැදිලි කරන පරිදි එය ඉතාම පැරැණි බඳුණ ද වනු ඇත.

ධාතු කරඬුවෙන් නිරූපණය කර ඇත්තේ ඉන්දියාවේ ඇති පුරාණතම ස්තූපය වන සාංචි ස්තූපයේ නිර්මාණ ක්‍රමයයි. මෙහි තිබී සම්භ වූ භාණ්ඩ විහාරය සතු දේපෙළ වේ. ධාතූන් වහන්සේලා සොයා ගැනීම බෞද්ධ ජනයාගේ ඉමහත් සැලකිල්ලට හේතු විය. එසේ සොයා ගෙන දෙ මසකට පසු එනම් 1951 පොසොන් උත්සව සමයේ දී ධාතූන් වහන්සේලා මහජන වැඳුම් පිදුම් සඳහා ප්‍රදර්ශනය කළවිට රටපුරා නන් දෙසින් මිහින්තලයට පැමිණි ජන සංඛ්‍යාව අති විශාල ය. (පුරාවිදු පරියේෂණ, මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 84 – 86 – 2001 විසිදුණු ප්‍රකාශකයෝ)

රජගල මිහිඳු දාගැබ

මිහිඳු මහරහතන් වහන්සේගේ නම ද සඳහන් වන පර්වත ශිලා ලිපියක් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුදබිමෙන් හමුවී ඇත. එම රජගල පිහිටි ගලක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ගිරි ලිපිය මෙසේ ය. 'යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ‘ එහි අදහස මෙසේ ය. මෙම දිවයිනේ වාසනා මහිමය නිසා පැමිණි ඉට්ටිය හා මහින්ද තෙරුන්ගේ ස්තූපයයි. මෙම ස්තූපයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැම්පත් කර තිබුණි. ඒ ස්තූපය අද එහි නැත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙය සොයා ගෙන ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය. සිරිසමන් විජේතුංග පි. 83 – 2003 – දයාවංශ ජයකොඩි සමාගම)