මඟ දැන ගිය
මඝ මානවක
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, එකල පැන් නො
පෙරා වැළඳු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා මෙම ජාතක කතාව වදාළ සේක.
සැවැත් නුවර දී මිත්‍ර වූ තරුණ භික්ෂූන් දෙ නමක් කොසොල් ජනපදයේ වැඩ වාසය කොට, එක්
දිනයක බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණිය හ. ඒ දෙනමට තිබුණේ එක පෙරහංකඩයකි.
උන්වහන්සේ දෙන ම අතරමඟ දී විරසක වී පෙරහංකඩ ඇති තෙරුන් වහන්සේ අනෙක් තෙරුන් වහන්සේට
පෙරහංකඩ නො දී, තමන් වහන්සේ පැන් පෙරාගෙන වැළඳුහ. අනෙක් භික්ෂුව පෙරහංකඩය නො ලබා
,පිපාසය ඉවසා ගත නො හැකි ව නො පෙරා පැන් වැළඳූ හ. ඒ දෙදෙනා ම ක්‍රමයෙන් ජේතවනයට
පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන් හ. සර්වඥයන් වහන්සේ සුව දුක් විමසූහ.
”ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපි කොසොල් දනව්වෙහි සිට ඔබවහන්සේ දකිනු පිණිස
පැමිණියෙමු”
”ඔබ දෙදෙනා සමගියෙන් පැමිණියෙ හි ද?”
”ස්වාමිනි, මේ තෙරුන් අතරමග දී මා හා වාද කොට පෙරහංකඩ නො දුන්නේ යැයි” කී හ.
”එවිට බුදුරජාණන් වහන්සේ පෙර පණ්ඩිතයෝ ප්‍රාණ ඝාතයට බියෙන් මහත් වූ කුසල් කළ ආකාරය
ගැන කතාවක් ගෙනහැර වදාළ සේක.
යටගිය දවස මගධ රට රජගහ නුවර මගධ නම් රජු රාජ්‍යය කරන සමයේ අප මහා බෝසතාණෝ මචල නම්
ගමේ වංශවත් කුලයක ඉපිද මඝ යන නමින් ප්‍රසිද්ධ වූ හ. ඔහු තරුණ වියට පත් වෙත් ම ඉතා
රූමත් විය. නිසි වයසේ දී විවාපත් වූ මඝ, අඹු දරුවන් පෝෂණය කරමින් වාසය කළේ ය. ඔහු
පන්සිල් රැක්කේ ය. එසේ ම දානපතියෙක් ද විය.
. මඝ කුමාරයා තමන් සිටි තැන වැලි ඉවත් කොට, කසළ පිස දමා ඒ ප්‍රදේශය පිරිසුදු කළේ ය.
එවිට වෙන අයෙක් අවුත් එතැන පදිංචි විය. මඝ මානවකයෝ වෙන තැනක වැලි පීරා කසළ ඉවත් කොට
රමණීය කළේ ය. තව අයෙක් අවුත් එතැන ද පදිංචි විය. මානවකයා තවත් ස්ථානයක් පිරිසුදු කළ
ද, සියලු ම තැන් ඔහුට අහිමි විය. මොහු එක් ස්ථානයක් පිරිසුදු කොට මඩුවක් කරවී ය.
මඩුව ද කඩා, ශාලාවක් කරවා, බංකු තබා පැන් හලක් ඉදි කළේ ය. මචල නම් ගමේ නිවාස තිහක්
විය. මේ නිවාස තිහේ ම මිනිස්සු එකතු වී ගම මැද කර්මාන්තයක් ඉදි කළහ.
ගම් වැසියෝ තිස් දෙනෙක් මඝ මානවක කරන කටයුතුවලට පැහැදී ඔහු හා එක් වූ හ. හේ ඔවුන්
පංචශීලයෙහි පිහිටා එතැන් පටන් ඔවුන් හා පින්කම් කරමින් හැසිරෙති. ඔවුහු උදෑසන ම වෑ
පොරෝ, උදලු ආදිය ගෙන ගොස් මං සන්ධි ආදියෙහි ගල් පෙරළති. ගස් කපති. විසම තැන් සම
කරති. ඒ දඬු දමති. පොකුණු හාරති. ශාලා කරවති. දන් දෙති. සිල් රකිති.
එකල් හි ඒ ගම්වැසියන්ගේ ගම්මුලාදෑනියා මෙසේ සිතී ය.
”පෙර මොවුන් රා බොන අවස්ථාවල දී ද, සතුන් මරන විට ද දඩ මුදල් වශයෙන් මම බොහෝ මුදල්
ලැබූවෙමි. දැන් ඒ කිසිවක් නැතැ”යි කිපී මගධ රජු වෙත ගොස්
”දේවයන් වහන්ස, සොර මුලක් ගම් පැහැරීම් ආදිය කරමින් හැසිරේ” යැයි කී හ. රජු ඔහුගේ
කීම අසා, ඔවුන් කළ වරද නො විමසා ම නිරපරාධ වූ මිනිසුන් ගෙන්වා “මොවුන් ඇතුන් ලවා
පාගව් යැයි” අණ කළේ ය. එවිට බෝධි සත්ත්වයෝ සිය පිරිසට,
”නුඹලා සිල් ආවර්ජනය කරමින්, ගම්මුලාදෑනියා කෙරෙහි ද, රජු කෙරෙහි ද, ඇතු කෙරෙහි ද,
තමා කෙරෙහි ද සමාන ව මෛත්‍රී වඩව්” කී හ. ඔවුහු එසේ කළහ. එවිට ඔවුන් පෑගීමට ගෙනා
ඇතා ඔවුන්ට ළං නො වී ය. නැවත වෙන ඇතෙකු ගෙනා හ. ඒ ඇතා ද පිරිසට ළං නො වී ය. රජු එය
දැක,
”මොවුන් අත කිසියම් ඖෂධයක් හෝ මන්ත්‍රයක් හෝ ඇතැයි සිතා පරීක්ෂා කර වී ය. රාජ
පුරුෂයෝ ඒ මිනිසුන් පරීක්ෂා කොට කිසිවක් නො දැක “නුඹලා කියන මන්ත්‍රයක් ඇද්දැ යි”
විමසී ය. එවිට බෝධි සත්ත්වයන් වහන්සේ,
”රජතුමනි, අප දන්නා වෙනත් මන්ත්‍රයක් නැත. අපි ප්‍රාණඝාත නො කරමු. සොරකම් නො කරමු.
කාමමිථ්‍යාචාරය නො කරමු. බොරු නො කියමු. මත්පැන් පානය නො කරමු. මෛත්‍රී කරන්නෙමු.
දන් දෙන්නෙමු. මං මාවත් සම කරන්නෙමු. පොකුණු කරන්නෙමු. ශාලා කරන්නෙමු. මේ අපගේ
මන්ත්‍රය හා පිරිත වන්නේ ය” කී හ.
රජු ඒ අසා ඉතාම සතුටට පත් ව, ගම්මුලාදෑනි තනතුර ඔහුට දුන්හ. එදා පටන් ඒ ගම්වැසියෝ
එතැන් පටන් කැමැති සේ වඩ වඩා පින් කරති. සතර මං සන්ධියක විශාල ශාලාවක් කරවා, එහි ඇඳ
පුටු තබා, පැන් කළ තබා, දුගී මගීන්ට කැඳ, බත්, කැවිලි ආදිය තැබූහ. එකල මඝ මානවකයා
මව්පියන් පෝෂණය කරමින්, කුල දෙටුවන් පුදමින්, මෘදු මොළොක් පි‍්‍රය වචන කතා කරමින්,
කේළාම් නො කියමින්, මසුරු මළ දුරු කරමින්, බොරු නො කියමින්, ක්‍රෝධ නො කරමින්, සිටි
මේ මානවකයා මෙම ව්‍රත පද හත දිවි හිමියෙන් සමාදන් වී පින්දහම් කොට මරණින් මතු
සක්දෙවිඳුවී දෙව්ලොව උපන්නාහ.
භාග්‍යවතුන් වහන්සේ ”මහණෙනි, පෙර නුවණැත්තෝ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කොට ප්‍රාණඝාතය
නො කළෝ ය. මේ භික්ෂුව නෛර්යාණික ශාසනයෙහි පැවිදි ව සිටිය දී ත්, ප්‍රාණීන් සහිත නො
පෙරූ පැන් පානය කර අකුසල් කර ගත්තේ” යැයි කුලාවක ජාතකය දේශනා කොට වදාළ සේක.
- නයනා නිල්මිණී |