Print this Article


ඇද නැති ජීවිතය ශක්තිමත් ය

තෙවළා බුදු වදන් අතරින් 08:

ඇද නැති ජීවිතය ශක්තිමත් ය

" ඇද නැති ජීවිතය යනුවෙන් මෙහි දී බුදුරදුන් අදහස් කර ඇත්තේ කායික, වාචසික හා මානසික වශයෙන් වර්ගීකරණය කරනු ලබන, දසවිධ දුශ්චරිතයන්ගෙන් තොර ජීවිතය යි. නැතහොත් සදාචාර සම්පන්න ජීවිතයයි. සදාචාර ප්‍රතිපත්ති තුළ දිගුකලක් ශික්ෂණය වූ තැනැත්තා මනා පෞරුෂයකින් හෙබි අයෙකි."

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන්වහන්සේලා අමතා අතීත පුවතක් හා බැඳුණු මෙම සූත්‍රය දේශනාකොට වදාළහ. එය අංගුත්තර නිකායේ තික නිපාතයේ එන රථකාර වග්ගයේ පස්වන සූත්‍රයයි. සූත්‍රයේ මුල් කොටසින් අතීත පුවතක් උපමා කරගනිමින් කරුණු ඉදිරිපත් කෙරෙන අතර දෙවන කොටසින් සදාචාර සම්පන්න පුද්ගලයා සසුන් පිළිවෙතෙහි ස්ථාවරත්වයට පත්වන අයුරු පැහැදැලි කරයි.

අතීතයේ බරණැස් නුවර පචේතන නම් රජ කෙනෙක් වාසය කළේය. එක් දිනක් රාජකීය රථ සාදන්නා කැඳ වූ රජු මාස හයකින් පසු යුද්ධයක් ඇතිවෙන හෙයින් එම යුද්ධයේදී භාවිත කිරීමට සුදුසු ශක්තිමත් රෝද දෙකක් සකස්කර දිය හැකිදැයි විමසී ය. රජුගේ ඉල්ලීම ඉටුකළ හැකියැයි පැවසූ රාජකීය වඩුවාට සමසක් ගතවීමට රාත්‍රී සයක් තිබිය දී එක් රෝදයක් පමණක් නිමකිරීමට හැකිවිය. නැවත වරක් රාජකීය වඩුවා කැඳ වූ රජු, මෙයින් දින හයක් ගියතැන යුද්ධය සිදුවන බැවින් රෝද දෙක නිමකර තිබේදැයි විමසී ය. එයට පිළිතුරු දුන් රාජකීය වඩුවා මාස හයකට රාත්‍රී හයක් තිබිය දී එක් රෝදයක් පමණක් සාදවා නිමකළ හැකි වූ බව දැනුම් දුන්නේ ය. ඉක්බිති අවසේස දින හය තුළ අනෙක් රෝදයත් නිමකළ හැකිදැයි විමසූ අතර එය එසේ නිම කළ හැකියැයි රාජකීය වඩුවා ප්‍රකාශ කළේ ය.

දින සයකින් දෙවන රෝදය ද නිමකළ රාජකීය රථ වඩුවා රෝද යුගල රැගෙන පචේතන රජු වෙත ගොස් ඒ බව දැන්වී ය. රෝද දෙක දුටු රජු “යහළු රාජකීය රථ වඩුවාණෙනි, සය මසකට දින හයක් තිබිය දී නිමකළ රිය සකෙහිත්, දින සයකින් නිමකළ රියසකෙහිත් වෙනස කවරේද? මම මෙහි කිසිදු වෙනසක් නොදකිමියි පැවසී ය. එයට පිළිවදන් දුන් රාජකීය රථ වඩුවා රෝද දෙකෙහි වෙනසක් ඇති බව දන්වා අනතුරුව ඒවායෙහි ඇති වෙනස්කම් රජුට පෙනීමට සැළස්වී ය. ඒ අනුව රියකරු පළමුව තමා විසින් දින සයකින් නිමකළ රියසක රජු ඉදිරියේ පෙරළා හැරියේය.

එම රිය සක, පෙරළා හැරීමේ වේගය තිබෙන තාක් ගොස් අනතුරුව කැරකි කැරකී බිම ඇද වැටුණේ ය. අනතුරුව රාත්‍රී සයක් අඩු මාස හයකින් නිමකළ රියසක පෙරළා හැරියේ ය. එය පෙරළා හැරීමේ වේගය ඇතිතාක් ගොස් ඉද්ද ගැසූවාක් මෙන් භූමියෙහි නො පෙරළී පිහිටා සිටියේ ය. මෙය දුටු රජු විශ්මයට පත්ව ඊට හේතු කවරේදැයි විමසී ය. රජුට පිළිතුරු දුන් රාජකීය රථ කරු, “දේවයන් වහන්ස දින සයකින් නිමකළ රිය සකෙහි නිම් වළල්ල ඇදය. වැරැදි සහිතය. පලුදු සහිත ය. එහෙයින් පෙරළා හරින ලද කල්හි පෙරලා හැරීමේ වේගය ඇතිතාක් ගොස් කැරකී කැරකී බිම වැටුණේ ය. දේවයන් වහන්ස, දින සයක් අඩු සය මසකින් නිමකළ රියසකෙහි නිම්වළල්ල ඇද නැත. වැරැදි නැත. පලුදු නැත. ගරාදිද නැබද ඇද නැත. වැරැදි නැත. පලුදු නැත.

එහෙයින් පෙරළා හරින ලද කල්හී පෙරළා හැරීමේ වේගය ඇතිතාක් ගොස් ඉද්ද ගැසුවා සේ තිරිංග නොසෙල්වී නැවතිණි” යනුවෙන් ප්‍රකාශ කළේ ය. මෙම පුරා කථාව ගෙනහැර දැක් වූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා, “මහණෙනි යම් කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ කාය කර්ම, වාග් කර්ම, මන ඞ කර්ම ඇද සහිත (වංක) නම්, දොස් සහිත (දෝස) නම්, පලුදු සහිත (කසාවො) නම්, දින සයකින් නිමකළ රියසක මෙන් ඔවුහු මේ සම්බුද්ධ ශාසනයෙන් පිරිහී, ගිලිහී ගියහු වෙති. යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ කාය වාග් මනයකර්ම ඇද නැතිනම්, නිදොස් නම්, පලුදු රහිත නම් ඔවුහු සය දිනක් අඩු සය මසකින් නිමකළ රියසක මෙන් මේ සස්නෙහි ස්ථිරව පිහිටියාහු වෙති” යනුවෙන් දේශනා කළහ.

භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවක පිරිස අමතා කළ මෙම දේශනය ඍජුවම ඔවුන්ට අදාළ වුවත් එයින් ගිහි සමාජයටද ගත හැකි ආදර්ශය ඉමහත් ය. උපමාව හා සම්බන්ධ අතීත පුවතින් පැහැදිලි වන්නේ දිගු කලක් ගත කොට නිමවන දෑ ශක්තිමත් ව කල් පවතින බවත්, කෙටි කලකින් නිමවන දෑ ශක්තියෙන් හීන බවත් ය. මෙම සූත්‍රයෙහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ කාය, වචී, මනෝ වංක නැති පරමාදර්ශී ගුරුවරයෙකි. උන්වහන්සේට සෙසු අයගේ වංක ගති මැනවින් අවබෝධ කර ගැනීමට හැකි ය.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ කුශලතාපිරි පරමාදර්ශී ගුරුවරයෙකු යැයි හඳුන්වාදෙති. හැමදේම ක්ෂණිකව ලබා ගැනීමට උනන්දුවන වර්තමාන සමාජයට මෙයින් සැපයෙන ආදර්ශය ඉමහත් ය. මෙම සූත්‍රයෙහි දැක්වෙන පරිදි එකම වඩුවා විසින් නිමවන ලද රියසක යුගල බැලූ බැල්මට එක හා සමානව පෙනුනත් එය භාවිතයට ගැනීමේ දී ශක්තිය හා නිමාව අතින් එකිනෙකට වෙනස් බව ප්‍රකට විය. දිගු කලක් ගත කොට නිම කළ රියසක සර්ව සම්පූර්ණ ය. එහෙත් දින සයක් ඇතුළත නිම කළ රිය සක අසම්පූර්ණ ය.

යම් පුද්ගලයෙකුගේ කායික වාචසික හා මානසික චර්යා වංක නම්, දොස් සහිත නම්, පලුදු සහිත නම් එම තැනැත්තාට අභියෝග හමුවේ නොසැලී සිටිය නොහැකි ය. ඇද පලුදු සහිත රෝදය මෙන් නිතර වැනෙන ස්වභාවයෙන් යුක්ත ය. තීන්දු තීරණ ගැනීමට අසමත් ය. එහෙත් කායික වාචසික හා මානසික චර්යා ඇද නැති, නිදොස් වූ පලුදු රහිත පුද්ගලයාගේ ජීවිතය ශක්තිමත් ය. එවැන්නා තීන්දු තීරණ ගැනීමේ ශක්තිමත් ය. ඍජු ගුණයෙන් යුක්ත ය. ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වන ස්වභාවයෙන් යුක්ත ය. දිගු කලකින් නිම වූ ශක්තිමත් පිරිපුන් රිය සක මෙන් කායික චර්යාවෙන් ද, වාචසික චර්යාවෙන් ද, ආකල්ප හා සිතිවිලි අතින් ද ඇද නැති ඔහුගේ ජීවිතය සර්ව සම්පූර්ණ ය. එවැනි භික්ෂුව සසුනෙහි ස්ථිරව පිහිටි අයෙකු බවට පත් වේ.

ඇද පලුදු නැති ගිහියාගේ පිළිවෙත ද, පැවත්ම ද ස්ථාවර ය. ශක්තිමත්ය. ඇද නැති ගුරුවරයා සිසුන් අභියස ශක්ති සම්පන්නයෙකි. ඇද නැති ආයතන ප්‍රධානියාට ආයතනික ප්‍රතිපත්ති මැනවින් ක්‍රියාත්මක කළ හැකි ය. කවර වෘත්තියක නියැලුණ ද තම ජීවිතයේ ඇද පලුදු නොමැති පුද්ගලයාට ඍජුව කටයුතු කළ හැකි ය. ඇද නැති ජීවිතය යනුවෙන් මෙහි දී බුදුරදුන් අදහස් කර ඇත්තේ කායික, වාචසික හා මානසික වශයෙන් වර්ගීකරණය කරනු ලබන, දසවිධ දුශ්චරිතයන්ගෙන් තොර ජීවිතය යි. නැතහොත් සදාචාර සම්පන්න ජීවිතයයි. සදාචාර ප්‍රතිපත්ති තුළ දිගුකලක් ශික්ෂණය වූ තැනැත්තා මනා පෞරුෂයකින් හෙබි අයෙකි. මාස හයක් තිස්සේ නිමකළ රෝදය මෙන් ශක්ති සම්පන්න ය. එබැවින් ඇද පලුදු, කඩතොලූ හා කැලැල් නැති ජීවිතයක් ගොඩනඟා ගත් විට අභියෝග හමුවේ නොසැළි සිටිය හැකි ය.