Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: කළ පින පිනවයි මන

යමක වග්ගය 18:

කළ පින පිනවයි මන

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතං ති නන්දති
භිය්‍යො නන්දති සුග්ගතිං ගතො

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ අනේපිඬු සිටාණන් ගේ බාල ම දියණිය වූ සුමනා දේවිය අරබයා මේ ගාථාව දේශනා කර වදාළ සේක.

සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුවරයාණන්ගේ මෙන්ම විශාඛා උපාසිකාවගේ ද නිවසෙහි දිනපතා පන්සියයක් නමකට දන් පිරි නැමිණි. අනේපිඬු සිටුතුමා විසින් මේ දෛනික මහා දානමය පුණ්‍ය කර්මයෙහි කාර්ය සංවිධානය කිරීමට ඔහුගේ වැඩිමහල් දියණිය වූ සුභද්‍රාවට පවරා තිබිණි. ඇය විවාහ වූ ස්වාමියාගේ නිවසෙහි වාසටය ගිය පසු ඒ කටයුතු චූල සුභද්‍රාවට පැවරුණි. ඕ ද කලෙක විවාහ වී ස්වාමියාගේ නිවසෙහි වාසය කළාය. දෙදෙනාම විවාහ වන විට සෝවාන් ඵලයට පත්ව සිටියහ.

ඉන්පසු මෙම දානමය පින්කම පැවරුණේ බාලම දියණිය වූ සුමනා දේවියට ය. ඇය ද බණ අසා සෝවාන් වූවා ය. විවාහය ප්‍රිය නො වූ ඇය අවිවාහකව සංඝ උපස්ථාන කටයුතු කරමින් පියාගේ නිවසෙහි වාසය කළාය. පින්කම් සංවිධානයෙහි නිරත වූ ඇය ඉතා සතුටින් සැහැල්ලුවෙන් කල් ගත කළාය.

මේ අතරතුර සුමනා දේවී හදිසියේ ම බරපතල ලෙස රෝගාතුර වූවා ය. එක් දිනක් හදිසියේ ම ඇය තම පියාණන් වූ අනාථ පිණ්ඩික සිටුතුමා කැඳවූවා ය. එහි දී වහා දිව ආ පියරජාණන් ‘දියණියනි, මා හදිසියේ ම කැඳවූයේ ඇයි? දැ’යි ප්‍රශ්න කළේ ය. එහි දී තම දියණිය වූ සුමනා දේවිය ‘මලණුවනි, යනුවෙන් ඇමතීම ගැන විමතියට පත් සිටුතුමා ‘දියණියෙනි, ඔබේ කතාව අමුතු ය. ඔබ ගේ සිහිය අවුල් වූ බවක් පෙනෙන බව පැවසුවේ ය. එහිදී සුමනා දේවි ‘නැත, බාල සොහොයුරාණෙනි, මම සිහි ඇතිව කතා කරමි’යි පිළිතුර දුන්නා ය. දියණියෙනි, ඔබට බයක් දැනෙනවාද? යනුවෙන් සිටුතුමා යළි විමසූ විට ‘නැත, මලණුවනි, මට කිසිදු බියක් නොදැනේ යැ’යි පවසා සදහටම දෙනෙත් පියා ගත්තා ය.

සෝවාන් ඵලයට පත් ව සිටි සිටුතුමාට ඉන් ඇති වූ ශෝකය විඳ දරා ගත නොහැකි විය. අවමංඟුල් චාරිත්‍ර නිම වූ වහා ම හැඬූ කඳුළෙන් ම සිටුතුමා බුදුරදුන් හමුවට ගියේ ය. ‘ස්වාමීනි, මගේ දියණිය සුමනා දේවි මිය ගියා, යැ’යි වැළපෙන්නට පටන් ගත්තේ ය. ඔහු අස්වසා ලූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ‘සිටුතුමනි, මරණය සියල්ලන්ට ම උරුම බව ඔබ නොදන්නේ දැ’යි විමසූහ. එහෙත් මට විඳ දරාගත නො හැක්කේ මෙතරම් නුවණැතිව, සංවරව සිටි මගේ දියණිය අවසන් මොහොතේ උමතුවෙන් දොඩවා මිය පරලොව යාම යි. ඔබගේ බාල දියණිය කුමක් දෙඩවූයේ දැ’යි භාග්‍යවතුන් වහන්සේ, සිටුතුමාගෙන් විමසා මෙලෙස වදාළහ. ‘සිටුවරය, ඔබගේ දියණිය මිය ගියේ සිහි විකල් ව නොවේ. ඔබ ඇයට ‘මලණු කෙනෙක්’ වූයේ, ඔබ ලබා ඇත්තේ සෝවාන් ඵලය පමණක් නිසා ය. සකෘදාගාමී ඵලයට පත් වූ ඇය ඔබට බාල සොහොයුරා යැ’යි ඇමැතීමට හේතුව වන්නේ එය යි. අනතුරුව තම දියණියගේ නව උපත ගැන විමසූ සිටු තුමාට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර වූයේ, ඇය දැන් තුසිත දෙව්ලොව උපත ලබා සිටින බව යි. ‘ස්වාමීනි, මගේ දුව මනුලොව සිටිය දී කාගේත් සිත් ගනිමින් ප්‍රසන්න පැවතුම් ඇතිව ප්‍රීතියෙන් සිටියා ය. දැන් ඕ මිය ගිය පසු පරලොව ද මහත් සොම්නසින් සිටින බවට උදම් ඇනූ සිටුතුමාට බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාව වදාළ සේක. පුණ්‍ය කර්ම කර ඇති තැනැත්තා ඒ හේතුවෙන් මේ ජන්මයේ දී මෙන් ම මතු ජන්මයේ දී ද ප්‍රීතියට පත් වෙයි. හෙතෙම දෙව්ලොව ම සතුටු වෙයි. කළ පින්කම ගැන සිතමින් ‘මම පින්කමක් කළෙමි’යි සිතමින් ප්‍රීති වෙයි. සුගතියෙහි උපන් විට වඩාත් ම සන්තෝෂයට පත් වෙයි.