Print this Article


බෝසත් දරුවන්ට : ඉවසීම පාරමිතාවකි

බෝසත් දරුවන්ට : ඉවසීම පාරමිතාවකි

පින්වත් දරුවනේ, අද අපි කතා කරන්නේ අප ළඟ අඩුවෙන් ම තිබෙන ගුණ ධර්මයක් ගැන. දරුවන් ළඟ විතරක් නො වෙයි, වැඩිහිටි සමාජයෙත් අඩුවෙන් ම තිබෙන ගුණ ධර්මයක් එය. ඒ තමයි ඉවසීම. දරුවනේ, ඉවසීම නැති තැන මතු වෙන්නේ තරහව , ක්‍රෝධය, වෛරය, පළිගැනීම වගේ නපුරු සිතිවිලි. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ ඉවසීම පිළිබඳ ව බොහො ම අගය කළා.

තරහව කියන්නේ නරක සිතිවිල්ලක්. සිතට තරහ එන හැම මොහොතක ම සිත අපිරිසුදු වෙනවා. සිත අපිරිසුදු වන විට ශරීරයේ ලේ ධාතුව අපිරිසුදු වෙනවා. අපිරිසුදු රුධිරය සිරුර පුරා ගමන් කරන විට අප විරූපී වෙනවා. හොඳයි. හිතන්න, දුවලා පුතාලගේ නිවෙස්වල වැඩිපුර ම තරහ ගන්නේ කවුද? සමහර වෙලාවට දරුවො කරන වැඩ නිසා අම්මට හරියට තරහා එනවා. ඇතැම් වෙලාවට තාත්තා තරහ ගන්නවා. එහෙම නැතිනම් පුංචි ඔබ. මේ කවුරුවුණත් දරුවනේ තරහ පැමිණි විට හරිම විරූපියි.

ඉවසීම ඇතිකර ගන්නේ කොහොම ද? ඉවසීම ඇති කර ගන්නට නම්,තරහ ඇති වෙන්නේ ඇයි කියලා හොඳට දැන ගන්න ඕනෑ. අපේ බුදුහාමුදුරුවෝ ඒ ගැන හරි ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ‘අඝාත පටිවිනය සූත්‍රයේ දි තරහ ඇතිවන අවස්ථා දහයක් ගැන පැහැදිලි කරනවා. මොනවද ඒ අවස්ථා.

උදාහරණයක් ලෙස මෙසේ සිතමු. අපට කවුරු හෝ ගහනවා. බණිනවා. ඉතින් මේ පුද්ගලයා මට කලිනුත් ගැහුවා. බැණ වැදුණා කියලා කේන්ති ගන්නවා.

ඊළඟට මොහු මට කලින් බැණ වැදුණා. දැනුත් බණිනවා ඇති කියලා දෙවැනි වතාවටත් තරහ ගන්නවා. හැබැයි ඒ හිතේ ඇතිවුණ සැකයෙන්,තුන්වැනි අවස්ථාවේ දී මොහු මට කලිනුත් බැණ වැදුණා. දැනුත් බණිනවා. එහෙනම් හෙටත් මට බණියි කියා සිතමින් කේන්ති ගන්නවා. බලන්න දරුවනේ, එක වතාවක් කලින් බැණ වැදීම ගැන සිතමින් දෙ වතාවක් ම තරහ ගන්නවා. ඒ ගැන සිතනවිට ලජ්ජා සිතෙනවා නේද? එහෙනම් තරහ ගැනීම ලජ්ජාවට කරුණක් බව මතක තබා ගන්නට ඕනෑ.

ඊළඟට තරහ ගන්නේ යහළුවා වෙනුවෙන්. මොහු මගේ යාළුවාට බැනවැදී තිබෙනවා යැයි සිතමින් තරහ ගන්නවා. ඉන්පසුව මොහු මගේ යහළුවාට මීට කලිනුන් බැන වැදුණා නම්, දැනුත් බණිනවා ඇති’යි සිතමින් තරහ ගන්නවා. කලිනුත් බැණ වැදුණා නම්, දැනුත් බණිනවා නම්, ඉදිරියේදී ත් බණීවි යැයි කේන්ති ගන්නවා. ඊළඟට දරුවනේ, හත්වන අවස්ථාව තමයි මට විරුද්ධ අයත් සමඟ එක් වී මොහු මට මීට පෙර බැණ වැදී තිබෙනවා’යි සිතමින් තරහ ගැනීම. ඊළඟට , මොහු මගේ විරුද්ධවාදීන් සමඟ එක් වී කලින් බැණ වැදී තිබෙනවා නම්, දැනුත් බණිනවා ඇති කියා හිතෙනවා. හිතමින් තරහ ගන්නවා. නව වැනි අවස්ථාවේ දි මොහු මගේ විරුද්ධ අය සමඟ එක්වී මට කලින් බැණ වැදුණා නම්, දැනුත් බණිනවා නම්, අනාගතයේත් මට බණියි කියා සිතමින් කේන්ති ගන්නවා. සැකය නිසා කේන්ති ගැනීම කිසිම කමකට , වැඩකට නැති බව පෙනෙවා නේද?

දහවැන්න තමයි දරුවනේ අස්ථාන ක්‍රෝධය, ඒ කියන්නේ තරහ නො ගත යුතු තැන්වල දී තරහ ගැනීම. උදාහරණයක් ලෙස ගත්තොත් සමහර ළමයි උදේ පාන්දර නැඟිටින්න හරිම කම්මැළි යි. බුදුසරණ පුවත්පත කියවන දරුවෝ නම් එහෙම නොවන බව අප දන්නවා. ඉතින්, කම්මැළිකමින් නැගිටලා පාසලට දුවගෙන යනවා. මොකද වෙන්නේ? නිවෙසින් එළියට එන විට ම මිදුලේ තිබෙන මල් පෝච්චියක ගැටෙනවා. එතකොට රිදෙනවා. මොකද කරන්නේ. හොඳට ම කේන්ති අරගෙන බනිනවා. කාට ද? එහෙමත් නැතිනම් කුමකට ද? අර මල් පෝච්චියට.

තවත් උදාහරණයක් බලමු. සමහර අම්මලා, තාත්තාල අයියලා ,අක්කලා, මේ දුවලා පුතාලා බස් රථයක යන වෙලාවට යහළුවෝ සමඟ කතා කරමින්, සිනාවෙමින් යනවා. ඉන්නේ කොතැනද කියලා අවධානයක් නෑ. රියදුරු මාමා හදිසියේ ම බස්රියේ තිරිංග තද කරනවා. ඉතින් විසිවෙලා ගිහින් වැටෙනවා. බණින්නේ කාට ද? රියදුරු මාමට. දරුවනේ, ඔන්න ඔය වගේ තරහා ගත යුතු නැති තැන්වල තරහා ගන්නවා නම්, ඒකට කියනවා අස්ථාන ක්‍රෝධය කියලා.

තරහ ඇතිවන මේ කරුණු ගැන හොඳින් දැන ගත්තා ම දරුවනේ, අපට තරහ පාලනය කර ගන්න පුළුවන්. ඒකට කියන්නේ ඉවසීම කියලයි. ක්ෂාන්තිය කියලත් කියනවා. ‘ඛන්තී’ කියලා පාලියේ දී කියනවා. ‘ඛන්තී’ කියලා පාරමිතාවකුත් තිබෙනවා නේ.

ඉතාම හොඳින් ඉවසීම පුරුදු පුහුණු කරනවා නම්, මේ දරුවන්ට ක්ෂාන්ති පාරමිතාව පූරණය වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ විවිධ ආත්ම භවයන්හි මොනතරම් ඉවසා තිබෙනවා ද කියලා ජාතක කතා කියවීමෙන් ඉගෙන ගන්න පුළුවන්.

සමහරු කළ වරදකට බැණුම් අහනවා. නො කළ වරදටත් බැණුම් අහනවා .නො කළ වරදකට බැණුම් අහන විට තරහ ගැනීම සාධාරණයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෙ වැනි අවස්ථාවක ඉවසීම ඇති කරගන්නේ කොහොම ද? එකක් තමයි ඔබ කළ වරදකට බැණුම් අහනවා. එවැනි විටෙක දී හිතන්නට ඕනෑ ‘හරි,මම වරදක් කළානේ. එයට බැණුම් ඇහුවාට කමක් නෑ’ කියලා.

දෙවැනි කරුණ වරදක් නො කර බැණුම් ඇසීම. එවිට අප හිතන්නට ඕනෑ ‘අනේ’ මෙයාට වැරැදිලා. මම නො කළ වරදකට නේ බණින්නේ. කවදා හෝ එය තේරුම් ගනියි. ඒ නිසා මම තරහ ගන්න හොඳ නෑ”.මේ විදියට හිතන්නට හැකිනම් අපට පුළුවන් යම් තරමකට හෝ තරහව පාලනය කර ගන්නට.

කවුරු හෝ කෙනෙක් හොඳට ම බණිනවා නම් , ගහන්න එනවා නම් ඉවසීම ඇති කරගන්න තව ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි මම පෙර සංසාරයේ දී මීටත් වඩා මොහුට බණින්නට ඇති. ඒ නිසා තමයි අද මම නිකරුණේ බැණුම් අහන්නේ. මමත් මොහුට ආපසු බැණ වැදිලා තවත් වතාවක් වරදක් හදා ගන්න හොඳ නෑ. එහෙම වුණොත් මතු සංසාරෙත් මට ආයෙත් විපාක විඳින්නට වෙයි.

මේ විදියට සිතමින් පුරුදු කර ගන්නට උත්සාහවත් වෙන්නට ඕනෑ. සමහර වෙලාවට,සමහර අය බොහෝ දේ හිතේ තද කරගෙන ඉන්නවා. දරුවනේ, ඒ වගේ අවස්ථාවල අපේ හිත තුළ ඇති වෙන්නේ ආවේගයක්. ආවේග, තරහව පිට නොකර, හිතේ තද කරගෙන ඉන්නා විට බොහෝ අනර්ථ සිදුවෙන්න පුළුවනි. සමහර වෙලාවට පුපුරා යන්නත් පුළුවන්. ආවේගයන් තරහ සිතිවිලි හිත තුළ තද කරගෙන නො සිට පිට කරන්නේ කොහොම ද? තරහ සිතිවිල්ල වෙනුවට වෙනත් සිතිවිල්ලක් ඇති කරගන්නට පුරුදු වීමෙනුයි.

මෙසේ සිතන්න. වටිනා ලෑල්ලකට පරණ ඇණයක් සවිකර තිබෙනවා. මේ ඇණය ගලවා ගන්න ඕනෑ. මිටියකුත් තිබෙනවා. එය කරන්නේ කොහොම ද? කෙනෙක් කියන්න පුළුවන්. මිටියෙන් ගහලා ඇණය ගලවනවා කියලා. තව කෙනෙක් ඇණයේ හිසින් ඇද ගලවා දමනවා කියයි. හොඳට මතක තබා ගන්න. මේ ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව තමයි ජීවිතයේ සෑම ප්‍රශ්නයක් දෙස ම බලන්නේ. සමහර කෙනෙක් කියන්නට පුළුවන් ලෑල්ල දෙකඩ කර ඇණය ඉවත් කරන බව. එතකොට ලෑල්ලෙන් ප්‍රයෝජනයක් නෑ. අපට ඕනෑ ලෑල්ල බේරා ගන්න. මෙය ඉතාම වැදගත්. සිතට එන නරක අදහස්, නරක සිතිවිලි හරියට පරණ ඇණයක් වගේ. නැති කරගන්නට නම් ලෑල්ලේ තිබෙන පරණ ඇණය ඉවත්කරන ආකාරය දැනගන්න ඕනෑ.

දරුවනේ, ඔය ඇණයට සමානව අලුත් ඇණයක් සොයා ගන්න. හොඳ වඩුවෙකුගේ උපදේශයක් අරගෙන පරණ ඇණය මත, අලුත් ඇණය තබා වැරෙන් පහරක් ගසන්න. එවිට පරණ ඇණය පහසුවෙන් ගැලවී ඉවත් වෙයි.

ඒ වගේ තරහ නමැති සිතිවිල්ල සිතට එන විගස ම මෛත්‍රය වැනි අලුත් සිතිවිලි ඇති කරගෙන තරහව සිතෙන් ගලවා දමන්නට ඕනෑ. දරුවෝ බය වුණ වෙලාවට ඉතිපිසෝ ගාථාව කියලා, බුදුගුණ සිහි කරන්න කියලා අම්මා, තාත්තා කියනවා නේද? ඒ බුදුගුණ මෙනෙහි කරන ප්‍රබල සිතිවිල්ල නිසා ‘බය කියන සිතිවිල්ල නැතිව යන නිස යි.

සිතට එන තරහව, ආවේග පිට කරන්නට තවත් ක්‍රමයක් තිබෙනවා. පිරිසුදු, ලස්සන ඇඳුමකින් සැරසිලා ගමනක් යන වෙලාවට කවුරු හෝ කෙනෙක් දුගඳ හමන ගැරැඬි කුණක් ගෙන බෙල්ලට දානවා. මොකද කරන්නේ. වහාම ඒ ගැරඬි කුණ ඉවත් කරනවා. තරහවත් ගැරඬි කුණක් වගේ. සිතට ආ සැණින් ම ඉවත් කරන්නට ඕනෑ.

අපි සිතමු, ගමනක් යන විට අකැමැති ම කෙනෙක් ඉදිරියට එනවා. මොකද කරන්නේ? ගමන නො ගිහින් ඉන්නවා ද? ගිහින් කතා කරනවාද? නෑ. වහා ම ඒ කෙනාගෙන් ඇස ඉවතට ගන්නවා. ඒ වගේ තරහ ආ විගස ම සිතින් අයින් කර ගන්න ඕනෑ. ඔය විදිහට හිතට තරහ ආ විට හිත හදා ගන්නා හැටි බොහොම ලස්සනට කියාදි තිබෙනවා.දරුවනේ, ඉවසීම කියන්නේ ප්‍රතිපදාවක් ඉවසන්නට ඕනෑ තරහ පුද්ගලයෙක් ගැන පමණක් නොවෙයි. සීතල, ඌෂ්ණ දැනෙන විට,මැසි මදුරු උවදුරු එනකොට, ලෙඩ හැදෙනවිට , ඉවසන්න ඕනෑ. ඉවසීම නැති වුණෙත් කෙලෙස් ඇති වෙනවා. මේවාට ඇබ්බැහි වුණෙත් ප්‍රාණඝාතාදී අකුසල් පවා කරන්නට වෙනවා. මෙවැනි දේ දරාගන්න ඉවසීම පුරුදු කරන්න ඕනෑ. ඊළඟ බුදුසරණ කලාපයේදීත් අපි ඉවසීම ගැන තව බොහෝ දේ දැන ගනිමු.