Print this Article


පැරැණි බණකතා 11 : ලෝභකමින් වැනසුණේ ය

පැරැණි බණකතා 11 : ලෝභකමින් වැනසුණේ ය

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයේ එක් ගමක එක්තරා බමුණෙක් වේදබ්භ නම් මන්ත්‍රයක් දැන සිටියේ ය.

එය ඉතා ම අගනේ ය. නැකත් යුගය ඇති කල්හි ඒ මන්ත්‍රය මතුරා ,අහස දෙස බැලූ කල්හි සත්රුවන් වැසි වසින්නේ ය. එකල මහා බෝධි සත්ත්වයෝ එම බමුණා ළඟ ශිල්ප උගනිති. දිනක් බමුණා බෝසතුන් හා චේතිය රටට ගියේ ය. අතරමග එක් වනයක පන්සියයක් පමණ මග යන්නන් අල්ලාගෙන ඔවුන්ගෙන් එකෙකු ගමට යවා ධනය ගෙන්වාගෙන පසුව ඒ අල්ලාගත් අය මුදා හරින හොරු රංචුව බෝසත් බමුණා ද අල්ලා ගත්හ.

මේ සොරුන් ගේ සිරිත නම්, දෙදෙනෙකු අල්ලාගත් විට එක් අයෙකු ධනය ගෙනෙන්නට යවා අනෙකා රඳවා ගැනීම යි. ඔවුහු එ කල බමුණා අල්ලාගෙන, බෝසතුන් යැවුහ. බෝසතාණෝ ගුරුන් වැඳ

”මම කීප දවසකින් එමි. තව ද එකක් කියමි. මා කියනා දේ කළ මැනවි. අද සත් රුවන් වැසි වසින්නා වූ නැකැත් යෝග දිනය යි. සත්රුවන් වැසි නො වැස්සුව මැනවි. ඉතින් ඔබ වහන්සේ සත් රුවන් වැසි වැස්සුව සේක් වී නම්, එයින් නුඹ වහන්සේගේ විනාශය පැමිණෙන්නේ ය. මේ සොරුන් ද, විනාශයට පත්වෙති ' යි ගුරුන්ට අවවාද කොට වස්තුව ගෙනෙන්නට ගියේ ය.

සොරු රෑ බෝ වී එනවිට බමුණා බැඳ දැමූහ. රාත්‍රියේ පූර්ණ චන්ද්‍රයා නැග ආයේ ය. බමුණා නැකත් යෝගය බලා මේ දුක් විඳීමේ තේරුම කිම? සිතා සොරුන්ට කතා කොට තොපට ධනයෙන් ප්‍රයෝජන ඇත්නම් වහාම මා මුදවා නහවා නව සළුපිළි අන්ඳවා සුවඳ ගල්වා, මල් පලඳවනු” යි කී හ. සොරු ද එසේ කළහ.

බමුණා තරු යෝගය බලා මන්ත්‍රය කියා අහස බැලී ය. එවිට ම රුවන් වැසි වැස්සෙ ්ය. සොරු ඒ ධනය පොදි බැඳගෙන නික්ම ගියහ. බමුණාත් ඔවුන් පසු පස්සේ ගියේ ය. ඒ සොරුන්ව අන්‍ය සොරුන් පන්සියයක් විසින් අල්ලා ගත්හ. එවිට ඔවුහු ”ඉදින් තොපට ධනයෙන් ප්‍රයෝජනයක් ඇත්නම්, මේ බමුණා අල්ලා ගනිව්” කී ය. සොරු අල්ලා ගත් සොරුන් පන්සියය මුදවා බමුණා අල්ලාගෙන ධනය ඉල්ලූහ. බමුණා

”මම තොපට වස්තුව දෙමි. එහෙත් සත්රුවන් වැසි වස්වන්නා වූ නක්ෂත්‍ර යෝගය ඇත්තේ මින් අවුරුද්දක් මත්තෙහි ය. ඉදින් තොපට වස්තුවෙන් ප්‍රයෝජන ඇත්නම් කලක් ඉවසව”යි කීවේ ය. එයින් කිපුණු සොරු බමුණාගේ හිස ගසා මරා, මග දමා සොරුන් හඹා ගියෝ ය. ඔවුන් මුණ ගැසී සටන් කොට උන් මරා ධනය ගත්හ. සොරුන් ද, දෙ කොටසකට බෙදී සටන් කොට දෙසිය පනහක් ඝාතනය කොට දෙසිය පනහක් ඉතිරි විය. ඔවුන් දෙ කොටසකට බෙදී නැවත සටන් කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි වූ එකසිය විසිපහ නැවත දෙකට බෙදී සටන් කළෝ ය. මෙසේ ක්‍රමයෙන් බෙදි බෙදී මියයාමෙන් අවසානයේ දෙදෙනෙක් ඉතිරි වූ හ.

ඒ දෙදෙනා සියලුම ධනය රැගෙන ගොස් එක් ගමක් ළඟ කැලයක සඟවා එකෙක් කඩුවක් රැගෙන වස්තුව රකිමින් ම සිටියේ ය. අනෙකා බත් පිසින්නට ගමට ගියේ ය. ධනය රකිමින් සිටි සොරා බලවත් තණ්හාවෙන් 'ඔහු මරා මුළු වස්තුව ම මම අයත් කර ගනිමියි' සිතා කඩුව ඔසවා ගෙන ගමට ගිය අය එන මග බලා උන්නේ ය. ගමට ගිය සොරා ද එසේ ම සිතා ඔහු බත් කා ඉතිරි බත් කොටසට විෂ ලා එය ගෙන ගියේ ය. ධනය රැක සිටි ඔහු කඩුවෙන් කොටා ඔහු මරුවේ ය. පසුව මැරුම් කෑ අය ගෙනා බත් මුල ඔහු කෑවේ ය. එම විෂ බත් කා ඔහු ද මිය ගියේ ය.

මහා බෝධි සත්ත්වයෝ කීප දිනයකින් ධනය රැගෙන අවුත් එතැන ගුරුන් නො දැක විසිර තිබු වස්තුව දැක සියලු දෙනා විසින් විනාශයට පැමිණි යැයි සිතා මහ මගට බැස්සේ ය. එසේ යනවිට ආචාර්යයන්ගේ මළ සිරුර හමුවිය.”මා කී දේ නො අසා මරණයට පත් වී යැයි” සිතූ බෝධි සත්ත්වයෝ ආචාරීන්ගේ සිරුර සොහොන් කොට වන මලින් පුදා ඉදිරියට යන්නේ සොර කණ්ඩායම්වල උන් අයගේ මළ සිරුර ද, ධන රාශියද දැක සියල්ල තත් වූ පරිද්දෙන් වටහා ගත්තේ ය. ආචාරීන් තමාගේ අකීකරුකම් නිසා නැසුණේ ය. අනුන් ද නැසී ය” යැයි සිතූහ.

මෙම ජාතක කතාව භාග්‍යවතුන් වහන්සේ එ සමයෙහි දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන එක්තරා අකීකරු භික්ෂුවක් උදෙසා වදාළ සේක. එ සමයෙහි වේදබ්භ බමුණා නම් මේ අකීකරු තෙරුන් ය. ඒ බමුණා ළඟ ශිල්ප උගත්තේ තමන් වහන්සේ බව වේදබ්භ ජාතක කතාව නිමවා වදාළ සේක.