Print this Article


පිරිත් දේශනාව 25 : මහා සමය සූත්‍රය

මහා සමය සූත්‍රය

03 කොටස

බුදුරදුන් තමා සමීපයේ සිට සක්වල අන්තය තෙක් බලද් දී අකනිට්ඨකා බඹලොව දක්වා දෙවියන් රැස් ව සිටිනු දැක මෙසේ සිතූ හ. මෙය මහා දේව සභාවකි. භික්ෂූහු මෙය මහා දේව සමාගමක් බව නො දනිති.

ඔවුන්ට එය පහදා දෙන්නෙමි යැයි භික්ෂූන් ඇමතූහ.

ඒ අතරතුර දෙවිවරු මෙසේ සිතූහ. බුදුරදුන් දේව සමාගමේ මහේශාක්‍ය දෙවියන්ගේ නම්ගොත් පමණක් කියත් ද, අල්පේශාක්‍ය දෙවියන් ගැනත් කියත් ද, එම අවස්ථාවේ ම බුදුරදුන් දෙවියන් සිතන්නේ කුමක් දැයි විමසිලිමත් වූ හ. අල්පේශාක්‍ය දෙවියන්ගේ නාම ලේඛනය ද බුදුරදුන් ඉදිරිපත් කරන්නේදැයි ඔවුන් විමසන බව දුටහ. එහි රැස්ව සිටි දෙවියන් කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන් බව ද බුදුරදුන් දුටහ. එනම් භව්‍ය දෙවියන් හා අභව්‍ය දෙවියන් ලෙස ය. අභව්‍ය දෙවියන් ලෙස සලකන ලද්දේ ධර්මය දේශනා කළ ද, අතීත අකුසල කර්ම ශක්තීන් හේතුකොටගෙන (කම්මාවරණ) සත්‍යාවබෝධය කරගැනීමට නොහැකි දෙවිවරුන් ය. සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි දෙවියන් භව්‍ය දෙවියන් ලෙස පිළිගත් හ. මෙසේ පිළිගෙන එහි රැස්ව සිටින දෙවියන් චරිත වශයෙන් කොටස් හයකට වෙන් කළහ. ඔවුන්ට සුදුසු දහමක් දෙසීමට අවධානය යොමුකර රාග චරිත ඇති දෙවියන්ට සම්මා පරිබ්‍රාජනීය සූත්‍රය ද, දෝෂ චරිත ඇති දෙවියන්ට කලහ විවාද සූත්‍රය ද, මෝහ චරිත ඇති දෙවියන්ට මහා ව්‍යුහ සූත්‍රය ද, විතර්ක චරිත ඇති දෙවියන්ට චුල්ල ව්‍යුහ සූත්‍රය ද, සද්ධා චරිත ඇති දෙවියන්ට තුවටක ප්‍රතිපදාව ද, බුද්ධි චරිත ඇති දෙවියන්ට පුරාභේද සූත්‍රය ද දෙසන්නෙමියි අදහස් කොට මෙනෙහි කළහ.

මෙම දෙවිවරුන් අත්තජ්ඣාසයෙන් ( තමන් විසින් තම අදහස අනුව) දේශනා කිරීමෙන් පරජ්ඣාසයෙන් (අන්‍යයන්ගේ අදහස් අනුව) දේශනා කිරීමෙන් අට්ඨුප්පත්තික (තැනට එළඹෙන කරුණක් අනුව) දේශනා කිරීමෙන්, පුච්ඡාවසික ලෙස දේශනා කිරීමෙන් (ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන්) අවබෝධ කරගන්නේ දැයි විමසා එහි රැස් ව සිටින කිසිම භික්ෂූන් වහන්සේ නමකට පුච්ඡාවසික ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නොහැකි බව දැන අසූ මහා ශ්‍රාවකයින්ට අගසව්වන් දෙදෙනා වහන්සේට, පසේ බුදුවරයෙකුට හෝ ශක්‍රයා ආදි අන් කිසිවෙකුට ද ප්‍රශ්න විමසීමට හැකි සමත්කම නොමැති බව දැන තමන් හා සමාන බුදුන් වහන්සේ නමකට ම එසේ කළ හැකි බව දැන අනන්ත විශ්වයෙහි වෙනත් බුදුවරයෙකු නොමැති නිසා තමන් හා සමාන බුදුන් වහන්සේ නමක් නිර්මාණය කළහ. දිව්‍ය සමූහයා මේ දර්ශනය දැක තවත් බුදුන් වහන්සේ නමක් බුදුන් වහන්සේ විසින් ඍද්ධියෙන් නිර්මාණය කර ඇති බව දැන සාධුකාර දුන්හ. පෘථග්ජන දෙවියන් එක් බුදුවරයෙකු සඳහා මෙතරම් දෙවිවරු ප්‍රමාණයක් රැස්වන්නේ නම් බුදුවරුන් දෙනමක් උදෙසා කොපමණ පිරිසක් රැස්වන්නේ දැයි විමසිලිමත් වූහ. දිව්‍ය සමූහයා බලා සිටිය දී ම නිර්මිත බුදුරදුන් ද බුදුරදුන් වෙත පැමිණ වැඳීම් ආදි කිසිවක් නොකොට සමව මවන ලද අසුනෙහි වැඩ සිටියහ. එ කල්හි බුදුවරුන් දෙදෙනාගේ ශරීරයෙන් පැන නැගුණු රශ්මි මාලා අකනිට්ඨකා භවාග්‍රය දක්වා විහිදෙන්නට විය.ඉන් අනතුරුව බුදුන් වහන්සේ හා නිර්මිත බුදුරදුන් විසින් එහි රැස්ව සිටින දිව්‍ය සමූහයා පිළිබඳව වෙන් වෙන් ව ප්‍රශ්න සහ උත්තර ලබාදීම කළහ.