Print this Article


පූජාච පූජනියනං

රන්දොඹේ ධම්මිස්සර තිස්ස නා හිමි

බලපිටිය රන්දොඹේ ගම් පියසේ ඩී.එම්. ඩ්ර්දියෙල් ද සිල්වා හා එස්. දිසෙල් නෝනා ද සිල්වා දම්පතින්ගේ කනිටු පුතණුවන් ලෙසින් 1940 මැයි 19 දින උපන් කුමරු සුමනසේන නම් විය.

රන්දොඹේ බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය ලද සුමනසේන ද සිල්වා දොළොස්වන වියේ දී කන්දේගොඩ නාග පුෂ්පාරාමාධිපති උදම්මිට සිරි ධම්මරක්ඛිත තිස්ස මහා නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ධම්මිස්සර තිස්ස නමින් පැවිදි බව ලද්දේ ය.

අවශ්‍ය මූලික බණ දහම් ගුරුදේව නා හිමියන් ඇසුරෙන් ලබමින් රන්දොඹේ මහාචේතිය පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය ලදහ. අනතුරුව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ධම්මිස්සර තිස්ස හිමි ශාස්ත්‍රාචාර්ය උපාධිය ලදහ.

නිසි වයස් හා අවශ්‍ය බණ දහම් සපුරාලූ ධම්මිස්සරතිස්ස සාමණේරයෝ වර්ෂ 1963 ජූනි 01 දින උපසම්පත්තිය ලදහ. කන්දේගොඩ නාගහ පන්සල යයි ප්‍රසිද්ධ ශ්‍රී නාග පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව තම පැවිදි සහෝදර රන්දොඹේ වජිරඤාණ නාහිමියන්ගේ අපවත්වීමෙන් 1975 පෙබරවාරි 03 දින උන්වහන්සේ වෙත පැමිණ විහාරස්ථානයේ දායක කාරකාදීන්ට, ගමට, ප්‍රදේශයට විය යුතු සියලු කාර්යයන් මනාව හඳුනා ගනිමින් ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කිරීමේ මහා වගකීම උන්වහන්සේ නිතැතින් ම ඉටු කළහ. සියලු විහාරාරාංගයන්ගෙන් නාග පුෂ්පාරාමය සම්පූර්ණ කළහ.

විවිධ සමිති සමාගම්හි අනුශාසක ලෙසින් මහත් සේවාවක් කළහ. දේව ප්‍රතිරාජ ළමා සමිතිය පිහිටුවා දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කළ උන්වහන්සේ විහාරස්ථ කුලඟන සමිතිය, වීරමාතා ගෞරව සමිතිය, වජිරඤාණ දහම් පාසල සහ තවත් නොයෙක් තන්හි අනුශාසකත්වය දරමින් දියුණුවට කැප වූහ. කන්දේගොඩ දුම්රියපොළ, බුදුමැදුර, අම්බලන්ගොඩ සිට කන්දේගොඩ හරහා බලපිටියට බස් රථයක් ලබා ගැනීම ආදී නොයෙක් කටයුතුවල පුරෝගාමී වූ ධම්මිස්සර නා හිමියෝ ප්‍රදේශයේ පෙරහර, උත්සව ආදී නොයෙකුත් ආගමික කාර්යයන්හි පුදුමාකාර සංවිධාන ශක්තියක් පෙන්වන්නේ ය.

අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ අධිකරණ සංඝනායක රන්දොඹේ ධම්මිස්සර තිස්ස හිමියන් අපවත් වී වදාළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති මහා නාහිමියන්ගේගේ සම්බන්ධීකරණ ලේකම් ලෙසින් ද කටයුතු කරමින් නිකායාභිවෘද්ධිය පිණිස උදාර මෙහෙයක් කළහ.

2018 ජූනි 17 දින ධම්මිස්සර තිස්ස නා හිමියෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත්වීමෙන් තෙමස් ගුණ සමරු පුණ්‍යොත්සවය කන්දේගොඩ නාග පුෂ්පාරාම විහාරස්ථානයේ දී ශාස්ත්‍රපති රන්දොඹේ ඤාණිස්සර තිස්ස හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉකුත් 22 දින සිදු කෙරිණි. ධම්මිස්සරතිස්ස නාහිමියනට නිවන් සුව අත්වේවා,

ආචාර්ය
සිරිපාල මාදුවගේ


ගොමිල කෝලිත නා හිමි

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ත්‍රිංශද් වර්ගික විධායක කාරක මහා සංඝ සභාවේ තීරණයෙන් මාතර මහ දිසාවේ කන්ද බඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය මාකඳුර, බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති ,විශ්‍රාමලත් පරිවේණාධිපති, ප්‍රවීනාචාර්ය ගොමිල කෝලිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා ඇත.

දක්ෂිණ ලංකාවේ මාතර දිසාවේ මාවරල, ගොමිල ග්‍රාමයේදී 1951 ඔක්තෝබර් මස 10 වන දින එච්.කේ. පොඩිහාමි මාතාව හා ජයවීර ගමගේ දියෝනිස් දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපන් කුමරු ජයවීර ආරච්චිගේ ආරියරත්න නම් විය. මාපිය දයාව ඇතිව , ඇහැළකන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙන තත් විහාරාධිපති රන්සෑගොඩ ශ්‍රී නන්දසාර මාහිමි, රන්සෑගොඩ පාලිත මාහිමි, වැලිහේනේ සෝරත මාහිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1964 නොවැම්බර් මස 04 වන දින ගොමිල කෝලිත නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

ඌරාපොළ ශ්‍රී රතනජෝති විද්‍යායතන පිරිවෙන, සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙන, කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන යන විද්‍යාස්ථාන තුළින් අධ්‍යාපනය ලබාගත් අතර රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව ලබා ගත්හ. 1973 ජුනි මස 04 වන දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදාවට පත් නා හිමියෝ මොරටුව ජනානන්ද පිරිවෙනින් ගුරු සේවය ආරම්භ කළ අතර කළුතර ධර්ම විජය පිරිවෙන එගොඩ උයන මෙත්තෙන්ද යන පිරිවෙන්වල ගුරුවරයෙකු මෙන්ම පරිවේණාධිපතිවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළහ .2011 වසරේ විශ්‍රාම ලැබු නා හිමියෝ සිය ගුරුදේව වැලිහේනේ සෝරත මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 2011 ජුනි මස 06 වන දින විහාරාධිපති ධුරයට පත් විය.

විහාරස්ථ ඉපැරැණි විහාරාංග නවීකරණය කරමින් නව විහාරාංග ඉදිකරමින් ප්‍රදේශයේ ගිහි පැවිදි හැමදෙනාගේ ම ප්‍රසාදය ලත් නා හිමියෝ මූලටියන එක්සත් විහාරාධිපති සංගමයේ ලේකම්ධුරය ද දරමින් කටයුතු කළ අතර ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා කාරක සභික ධුරයෙන් ද පිදුම් ලැබූහ.

ජාතික, ආගමික ,ශාසනික අධ්‍යාපනික වශයෙන් සුවිශාල මෙහෙවරක නිරත වන නාහිමියෝ අනාගත සසුනඹර ආලෝකමත් කිරීමට සමත් වටිනා ශිෂ්‍ය පිරිසක් දායා ද කළහ. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කෙහෙල්වල විපස්සි හිමි, ප්‍රාචීන පණ්ඩිත උපාධි අපේක්ෂක ත්‍රිපිටකාචාර්ය බැරගම රාහුල හිමි, ඌරාපොළ ශී‍්‍ර වනරතන පිරිවෙනේ ශිෂ්‍ය මිද්දෙණියේ සමිත හිමි. කැටපලකන්දේ සිරිධම්ම හිමි, මාතර සිද්ධාර්ථෝදය පිරිවෙනේ ශිෂ්‍ය හීන්බුන්නේ සිරි සුජාත හිමි ප්‍රධාන වෙති.

උදාර පැවිදි දිවියේ හැටහත් වසර සපුරන ප්‍රවීණාචාර්ය ගොමිල ශ්‍රී කෝලිතාභිධාන මාතර මහ දිසාවේ කන්දබඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත විනය කීර්ති ශ්‍රී නන්දසාර යන ගෞරව නාමය සහිත එම නායක පදවිය පිරිනමා ඇත. ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය මෙම 14 වන දා ඌරාපොල සිරිරතන ජෝති පිරිවෙනේ දී පැවැත්වේ.


සිද්ධමුල්ලේ මංගල නා හිමි

උතුරු මධ්‍යම දිසාවේ අනුරාධපුර කහටගස්දිගිලියේ උපුල්දෙණිය තිහෝගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ව වැඩ වෙසෙමින් මහත් ආගමික හා සාමාජික මෙහෙවරක් ඉටු කරන සිද්ධමුල්ලේ මංගල හිමිපාණන් වහන්සේ වෙත මල්වතු මහා විහාර පාර්ශ්වයේ මධ්‍යම හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම මහත් සතුට දනවන කරුණකි.

වීරසිංහ ආරච්චිලාගේ සීලවතී හා අත්තිඩිය විදානෙලාගේ දොන් පේමසේන පස් දුන් කෝරලේ සිද්ධමුල්ලේ ඉපිද තම ළමා කාලයේ දී ම දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස පස්ගම්මන නන්දාභිධාන මීගමු පළාත් සහිත සිනාදී සිව් කෝරළේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි බිමට ඇතු ළත් විය. අනතුරුව මංගල සාමණේරයන් වහන්සේ මල්වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා වූහ.

නිරන්තරයෙන් ම ශාසනික සේවයට කැප වූ සිද්ධමුල්ලේ මංගල නා හිමියෝ ජාතික ආගමික සාමාජික මෙහෙවර තීව්‍ර කරමින් උතුරු මැද පළාතට වැඩම කළහ. තිහෝගම තිස්ස සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාර මන්දිරය ධර්ම ශාලාව, ඇතුළු නොයෙක් අංගයන්ගෙන් සමලංකෘත කොට ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ජීවිත සුවපත් කිරීමට කටයුතු කළ උන්වහන්සේ සිසු දරුවන් 16 නමක් පමණ පැවිදි කොට සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා වන සිය ක්‍රියාකාරීත්වය ප්‍රකට කළහ.

2000 වර්ෂයේ උතුරු පළාතට වැඩම කොට ශ්‍රී ලංකා යුද හමුදාවට ශක්තියක් වී ත්‍රස්තවාදී ප්‍රහාරවලට ද ලක් වෙමින් ත්‍රස්ත තර්ජිත ගම්මානවල ජනතාවගේ ජීවිත ආගමික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කිරීමට මංගල නා හිමියෝ කටයුතු කළහ.

රජරට ජනතාවගේ දූ දරුවන් වෙනුවෙන් සිද්ධමුල්ලේ මංගල නාහිමියන් ඉටු කරන මෙහෙවර ප්‍රශංසාර්හ වන්නේ ය. ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් පවත්වාගෙන යමින් දැනුමෙන් හා ගුණවත්කමින් ඔවුන් පෝෂණය කරන අතර ම ඔවුන් කෙරෙහි වන නිර්මාණාත්මක කුසලතා හඳුනා ගනිමින් ඒවා ඔප් නැංවීමට ද උන්වහන්සේ කටයුතු කරති.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් වනසිංහ ගල් විහාර සංඝ මූලස්ථානයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය ද හොබවමින් සිද්ධමුල්ලේ මංගල නා හිමිපාණෝ ප්‍රදේශයේ කැපී පෙනෙන නායකත්වයක් හොබවති. එසේ ම වෙහෙර විහාරවලට අනූපම සේවාවක් ඉටු කරති.

ආදර්ශමත් යතිවරයාණ කෙනෙකු වන සිද්ධමුල්ලේ මංගල හිමියන් වෙත පිරිනමන ලද උප ප්‍රධාන සංඝ නායක පදවිය සඳහා උන්වහන්සේ සාකල්‍යයෙන් ම සුදුසු වන්නා හ.