Print this Article


අසූවැනි ජන්ම සමරුවට උපහාර ලබන අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමි

අසූවැනි ජන්ම සමරුවට උපහාර ලබන අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමි

ආදර්ශ සම්පන්න සේවයක්

බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කරන්න යයි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ආරම්භයේ දී ම අනුශාසනා කළ හ. මේ අවවාදය මුළුමනින් ම අර්ථවත් ව ශාස්ත්‍රවේදී අත්තුඩාවේ පියරතන නා හිමියෝ ක්‍රියාත්මක කළහ. සැදැහැවතුන් තමන් වෙත පුදන පිරිකර ඇතුළු ද්‍රව්‍ය එකතු කොට තම මව්පියන් මෙන් ම පැවිදි බිමට පත් කළ ගෞරවණීය ගුරු හිමිවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වසරකට කිහිප විටක් සංඝගත දක්ෂිණා පවත්වා පූජා කළ හ.

පන්තිස් වසරක් අඛණ්ඩ ව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය ද තෙවිසි වසරක් දක්ෂතම ආචාර්යවරයෙකු වශයෙන් ද, තිස් වසරකට අධික කාලයක් රත්මලාන විහාරාධිපති සංගමයේ ලේකම් වශයෙන් ද පත්ව ආදර්ශ සම්පන්න සුවිශේෂ සේවයක් සිදු කළහ. කවියෙකු මෙන් ම, ධර්ම දේශකයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අත්තුඩාවේ නාහිමියෝ ග්‍රන්ථ කිහිපයක් ම සම්පාදනය කළ හ. වේලාවට වැඩ කිරීම, නිවැරැදිව වැඩ කිරීම, ආදර්ශ සම්පන්නව කටයුතු කිරීම, සැම විටම අගය කරමින් කටයුතු කළ උන්වහන්සේ කිසිදු භේදයකින් තොරව ගිහි පැවිදි බොහෝ දෙනා හිතවත් ව ඇසුරු කළ හ. ගුණවත් හා උගත් තම පැවිදි ආචාර්යයන් වහන්සේලාගෙන් මෙන් ම යහපත් බෞද්ධ මවුපියන්ගෙන් ලැබුණු ගුණ ධර්ම නමැති දායාද තවදුරටත් තම ජීවිතයට එකතු කොට ගෙන කළ සේවය අගය කළ මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් ‘ප්‍රවචන කීර්ති ශ්‍රී විනයාචාර්ය’ නමැති ගරු නාමය සහිත ‘බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක’ ධූරය පිරිනැමූ අතර සංස්කෘතික අමාත්‍යාංශය මගින් ‘කාව්‍ය කලා භූෂණ’ ගෞරව නාමය ප්‍රදානය කොට ඇත. පැවිද්දෙන් සැට වසරකට වැඩි කාලයක් මුළුල්ලේ උදාර සේවයක් සලසමින් වැඩ සිටින ශාස්ත්‍රවේදී අත්තුඩාවේ පියරතන නාහිමිපාණන්ට තවදුරටත් මහඟු සේවයක් සිදු කිරීමට නිරෝගී සැප හා චිර ජීවනය ලැබේවා යි අපි ආශිර්වාද කරමු.


ගුණ නැණ බෙලෙන් පිරිපුන් යතිවරයාණෝ

රත්මලානේ ශ්‍රී විමලාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ප්‍රවචන කීර්ති ශ්‍රී විනයාචාර්ය, ශාස්ත්‍රවේදී පණ්ඩිත අත්තුඩාවේ ශ්‍රී පියරතන නායක ස්වාමීන් වහන්සේගේ අසූවැනි ජන්ම දිනය වෙනුවෙන් පළමුව බැති සිතින් උන්වහන්සේ වෙත සුබ පැතුම් එක්කර සිටිමි.

සඟ සසුන බැබැළ වූ විශිෂ්ට ගණයේ සංඝ පීතෘන් වහන්සේලා නිසාම අප රටේ චිර ප්‍රසිද්ධියට පත් මාතර අත්තුඩාව නමැති පෞරාණික සුන්දර ගම්පියසේ දී 1938 ඔක්තෝබර් මස 05 වැනි දින ජන්ම ලාභය ලැබූ අප නාහිමියෝ 1954 දී උතුම් වූ පැවිදි භාවයට පත්ව ඇත. අප රටේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළින් ධර්ම විනය හා භාෂා ශාස්ත්‍රය මනාව හදාළ උන්වහන්සේ ස්වකීය දැනුම් සම්භාරය උපයෝගී කරගනිමින් සිදුකළ සේවාවන් අපමණ ය. රත්මලානේ ශ්‍රී විමලාරාමාධිපති ස්වාමීන් වහන්සේ ලෙස එකී විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ආගමික සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපන සේවාව මෙහි දී විශේෂයෙන් ම අගය කළ යුතු ය. පාසල් ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස ද ප්‍රදේශයට සිදුකළ සේවාවන් අපරිමිත ය.

උපතින් අසූවෙනි වියට සැපත් අත්තුඩාවේ ශ්‍රී පියරතන නායක ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් තවත් දිගු කලක් ලෝ සසුන් සේවාවන් සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.


පියරතන නායක හාමුදුරුවෝ

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අත්තුඩාව නමැති පෞරාණික සුන්දර ගම්පියස ලංකාවේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බුදු සසුන බැබළ වූ කීර්තිමත් යතිවරයන් වහන්සේලා කිහිපනමක් ම පහළ වූ ගම් ප්‍රදේශයක් වන හෙයිනි. එම ගමෙහි විසූ සැදැහැවත් පරදූව බාලමහත්මයා නමින් ප්‍රකටව සිටි අරුමප්පෙරුම කංකානම්ගේ දොන් ජුවානිස් අප්පුහාමි මහෝපාසක මහතා සහ වික්‍රමතන්තිරිගේ දෝනා ක්‍රිස්තිනා මහෝපාසිකා මාතාව යන දෙපළගේ පුත්‍ර රත්නයක් ලෙසින් 1938 ඔක්තෝබර් මස 05 වැනි දින අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමියෝ ජන්මලාභය ලැබූහ. අත්තුඩාවේ රජයේ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද මෙම කුමරු 1954 දී පැවිදි භාවයට පත් විය. උන්වහන්සේ පැවිදි කළේ පාලටුවේ බෞද්ධෝදය පරිවේණාධිපති ඇටැම්පල රතනපාල මහා ස්වාමීන් වහන්සේ ය. මූලික බණදහම් ප්‍රගුණ කළේ බඹරැන්දේ ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතිනි. උන්වහන්සේගේ සෙසු ආචාර්යවරුන් නම් මාලිම්බඩ ගුණරතන, මාතර විමලතිස්ස යන ස්වාමිපාදයන් වහන්සේලා ය.

පියරතන සාමණේර හිමියෝ 1960 මැයි මස 12 දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකර මහනාහිමි එම උපසම්පදා විනය කර්මයෙහි ප්‍රධානත්වය ඉසිලූ අතර උපාධ්‍යායන් වහන්සේ වූයේ අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මානන්දාභිධාන අනු නා හිමි ය. ඉක්බිති ව වැඩිදුර අධ්‍යාපනය සඳහා 1958 දී පියරතන හිමියෝ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූ හ. වර්ග පටිපාටියෙන් තත් පිරිවෙණෙන් අධ්‍යාපනය ලබා ප්‍රාචීන විභාග උසස් ලෙස සමත් වූ උන්වහන්සේ 1964 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හ. 1967 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා එම වසරේ ම කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙණේ ආචාර්යවරයෙකු වශයෙන් පත්වීම් ලැබූ හ.

ලේඛකයෙකු වශයෙන් ද කුසලතාවන් රැසක් දැක් වූ පියරතන නා හිමියෝ බෝධිපූජාව, දේව පූජාව, චෛත්‍ය පූජාව, ධර්ම පූජාව යනාදී ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළහ. පුවත්පත්වලට සැපයූ ධර්ම ශාස්ත්‍රීය ලිපි විශාල සංඛ්‍යාවකි. 1976 දී රජයේ පාසල් සේවයට එක්ව ගල්කිස්ස හේන පාරේ ලලිත් ඇතුලත් මුදලි විදුහල ඇතුලු ව තවත් විදුහල් ගණනාවක ම ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් ලෙස ක්‍රියා කළහ. ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයට පත් ව වසර 35 ක් එහි වගකීම් සම්භාරය දැරූහ. දැනට එහි සභාපතිවරයා ලෙස ක්‍රියා කරති. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් ප්‍රවචන කීර්ති ශ්‍රී විනයාචාර්ය යන ගෞරවනාම සම්මුතිය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය උන්වහන්සේ වෙත පිරිනැමුයේ යථෝක්ත සේවාවන්ට දැක්විය හැකි ඉහළම ගෞරවයක් ලෙසයි.

ශ්‍රී පියරතන හිමියන්ගේ සහෝදර හා ශිෂ්‍ය හිමිවරුන් වනුයේ ප්‍රවීණාචාර්ය මාකඳුරේ සිරිරතන හිමි, ප්‍රවීණාචාර්ය, අධ්‍යාපනවේදී අත්තුඩාවේ හේමරතන හිමි, රාජකීය පණ්ඩිත දෑරංගල සිවරතන හිමි හා ප්‍රවීණාචාර්ය කලවැල්ගල ජිනරතන හිමියන් ය.

ශ්‍රී පියරතන නාහිමියන්ගේ අසූවන ජන්මදින සැමැරුම හා උපහාර පිදීමේ උළෙල මෙම මස 07 දින පස්වරු 02.30 ට රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත් වේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනාහිමියන් මුලසුන හොබවන එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වෙති. රත්මලාන විහාරාධිපති සංගමය, දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් උළෙල සංවිධානය කෙරේ.

සම්පාදනය
පි‍්‍රයන්ත සහ බන්දු


උදාර සංඝ පිතෘන්වහන්සේ නමක්

අප ප්‍රදේශයට මිණි පහනක් වැනි වූ ධර්ම විනයධර මහා යතිවරයන් වහන්සේ නමක් වන අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමියන් පිළිබඳ ලොකු කුඩා කා අතරත් පවත්නේ අතිශය ගෞරවාදරයකි. උන්වහන්සේ රත්මලාන ශ්‍රී විමලාරාමාධිපතීන් වහන්සේ සේ ම බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්වාමීන් වහන්සේ ද වෙති. අඛණ්ඩ ව වසර තිස්පහක් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස ක්‍රියා කළ උන්වහන්සේ සිදුකළ ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාවන් අප්‍රමාණ ය.

අප ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නංවාලීම සඳහා පියරතන නා හිමියන් සිදුකළ සේවාව ඉතා ඉහළ මට්ටමක පවතී. ප්‍රදේශයේ ඕනෑම කෙනෙකුගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට උන්වහන්සේ නොපැකිලි ව ඉදිරිපත් වෙති. එහි දී ස්වකීය සුවපහසුව ගැන පවා උන්වහන්සේ එතරම් සැලකිල්ලක් නො දක්වති. ලේඛකයෙකු හා කවියෙකු වශයෙන් ද අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමි දක්වා ඇත්තේ විශේෂ කුසලතාවයකි. ඒ වෙනුවෙන් රාජ්‍ය සම්මාන පවා හිමිකරගෙන තිබේ. අපේ නායක ස්වාමීන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන් සිදුකිරීමට දිගාසිරි ලැබේවා'යි පතමි.