Print this Article


ජීවත්වීමට සුදුසු පරිසරයක් තෝරාගන්නේ කෙසේද?

ජීවත්වීමට සුදුසු පරිසරයක් තෝරාගන්නේ කෙසේද?

යම් කිසි කෙනෙක් ජීවත්වනවා නම්, ඒ සඳහා සුදුසු ප්‍රදේශයක් තෝරා ගැනීම දියුණුවට මග යැ යි බණ දහමේ වුණත් උගන්වා තියෙනවා. තමන් ජීවත්වන පරිසරය ජීවත් වීමට නුසුදුසු නම්,එම ප්‍රදේශය සුදුසු තැනක් බවට පත් කරගැනීම එක කරුණක්. එම ස්ථානය අතහැර දමා වෙනත් ප්‍රදේශයක පදිංචිය දරමින් අලුතින් ජීවිතය ඇරඹීම තවත් එකක් .අද පවතින ආර්ථික තත්ත්වය අනුව සමාජය හදන්න කියලා ඉන්න හිටින තැන විකුණා තැන් තැන්වල පදිංචියට යන එක හරිද? නුවණැති කෙනෙකුන් විසින් කළ යුතු කාර්යයක් ද? යන වග දෙතුන් වතාවක් හිතන්න අවශ්‍යය යි.

ලෝකය තමන්ට අවශ්‍ය විදියට හදන්න යන අයත් ඉන්නවා. ලෝකයට හා සමාජයට අවශ්‍ය ආකාරයට තම ගති සිරිත් වෙනස් කරලා හැදෙන අයත් ඉන්නවා. සමාජ ගති සිරිත් උකහා ගෙන තමන්ගේ ස්වභාවයත් සමග ගලපලා වඩාත් අර්ථවත් ලෙස සකස් කර ගෙන ජීවත් වෙන අයත් ඕනෑතරම් සිටින බව පෙනෙනවා. තෙවැනි ගණයට අනුව ජීවිතය සකස් කරගෙන අර්ථවත් ව ජීවත් වන අය සමාජයේ අඩු වුණත් ඔවුන් සැහැල්ලුවෙන් ජීවත්වන බව නම් පැහැදිලි යි. ඔබ මෙයින් කෙබඳු වර්ගයේ කෙනෙක්දැයි සිතා කල්පනා කර බැලුවොත් නරක ද? ජීවත් විය යුත්තේ කොහොම ද? කියන බව වුවත් පැහැදිලි වන්නේ එවිට යි.

ප්‍රධාන මාර්ග අසල තුන්මං හන්දි සහ හතරමං හන්දි සහිත ස්ථානවල පදිංචියට සුදුසු නිවහන හදාගන්නට එපා යැ යි කියන අදහසක් ද හුඹස් සහිත ස්ථානවල නිවෙස් ඉදිකරන්න ට සුදුසු නැතැය යි ද ඡ්‍යොතිෂයෙන් උගන්වා තිබෙනවා. හේතු සහිතවයි එසේ කියා තිබෙන්නේ. දහම අනුව බලනවා නම්, හැම උපදේශයකට ම සාධාරණවූත් , නිවැරැදිවූත් හේතුවක් තිබෙනවා. බුදු දහම හේතුඵල දහමක් යැ යි කියන්නේ ඒ නිසා. හේතුවක් නැති ව ඒ කියන්නේ අහේතුක ව යම් යම් දේවල් හට නොගන්නා බව ඉගැන් වූ අහේතුක අප්‍රත්‍යවාදී දර්ශන බුද්ධ කාලයේත් තිබුණා. බුදුදහම සහේතුක ව ඒ සියල්ල බැහැර කර දමා තිබෙනවා.

තුන්මං හන්දි සහ ඒ වගේ ජනාකීර්ණ ප්‍රදේශවල නිවෙස් ඉදිකරන්න සුදුසු නැතැ යි කියා තිබෙන්නේ එම පරිසරය සොර සතුරන්ගෙන් ් ගහන විය හැකි නිසාත් කලබලකාරී පරිසරයේ ජීවත් වන විට එබඳු ගතිසිරිත් තමන්ගේ ජීවිතය හා ක්‍රියාවට බලපාන නිසාත් තුඹස් සහිත ඉඩම්වල නිවෙස් ඉදිකරන්නට එපා යැ යි. කියන්නේ සර්ප භය විසින් ජීවිත හානි සිදු කරන නිසා ඒ හැර වෙනත් අහේතුක ව හටගන්නා අපලයක් හෝ දෝෂයක් නිසා නොවෙන බව කල්පනා කළ යුතුයි.

අපේ සමාජයේ බොහෝ අය යමක් කී විට එහි හේතුව කුමක් දැයි සොයා බලන්නේ නැති ව බියට හා ත්‍රාසයට පත්වෙන්න කැමැතියි. බොහෝ ඇදහිලි හා විශ්වාස ගොඩනැගෙන්නේත් බිය හා ත්‍රාසය මුල්කොට ගෙන බව අමතක කළ යුතු නැහැ.බිය හටගන්නේ නොදැනීම හා අනවබෝධය නිසා යි ඔබගේ ජීවිතයේ බිය දැනුණු අවස්ථාවක් සිහියට රැගෙන බලන්න. එය සිදු වී ඇත්තේ ඔබගේ අනවබෝධය නිසා. බහුල වශයෙන් ම එය සමාජය තුළ දක්නට ලැබෙන්නක් .

සුදුසු ප්‍රදේශයක වාසය කිරීම තමයි වඩා ත් වැදගත් වන්නේ. මෙහි සුදුසු යන වචනය ඉතා පුළුල් අර්ථයකින් යෙදී තිබෙන නිසා ඒ පිළිබඳ අවධානයෙන් කල්පනා කළ යුතුයි. තමන් ජීවත් වන ප්‍රදේශය සුදුසු නැතැයි ද වෙනත් ප්‍රදේශ වඩා හොඳ යැයි යනුවෙන් කල්පනාවට ආවත් එකවර එබඳු අදහස් තීන්දුවක් ලෙස ගැනීම පිළිබඳව තෙවරක් සිතා බැලිය යුතුයි. තමා ජීවත්වන ප්‍රදේශයෙන් තමාට ලැබුණු හා ලැබෙන දේ වීමට ඉඩ සැලසේ. විමට ගැන සිතා බැලූ විට වඩාත් හොඳින් කරුණු කාරණා අවබෝධ වේවි.