Print this Article


තෙවළා බුදු වදන් අතරින් 07: මිහිරි වදන් පවසන්නා කවුද?

තෙවළා බුදු වදන් අතරින් 07:

මිහිරි වදන් පවසන්නා කවුද?

වචන භාවිතය හෙවත් කථාව අනුව ගූථභාණි, පුප්ඵභාණි හා මධුභාණි යනුවෙන් වර්ග කළ පුද්ගලයන් තිදෙනෙක් ගැන අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ අටවන සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා මෙම පුද්ගලයන් තිදෙනා පිළිබඳ කරුණු පැහැදිලි කොට වදාළහ.

මහණෙනි යම් පුද්ගලයෙක් සභාවකට, පිරිසක් මැදට, ඤාතීන් අතරට, විශේෂ පිරිසක් ඉදිරියට හෝ රාජ සභාවකට හෝ ගිය විටෙක ඔහුගෙන් දන්නා දෙය කියන්නැයි කී විට නොදන්නා දෙය දනිමියි හෝ දන්නා දෙය නොදනිමියි, දුටු දෙය නොදුටුවේ යැයි, නොදුටු දෙය දුටුවේ යැයි මෙසේ තමන්ගේ ආරක්ෂාව පිණිස හෝ අන්‍යයන්ගේ ආරක්ෂාව පිණිස හෝ වෙනත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් හෝ දැන දැන බොරු කියන්නේ වේද, එම තැනැත්තා ගූථභාණි (අශූචි බඳු වචන ඇති) නම් වේ.

එහෙත් යම් කෙනෙක් ඔබ දන්නා දෙය කියන්නැයි ඇසූ විට, නොදන්නා දෙය නොදන්නා බවත්, දන්නා දෙය දන්නා බවත්, නොදුටු දෙය නොදුටු බවත්, දුටු දෙය දුටු බවත්, මෙසේ තමන්ගේ ආරක්ෂාව පිණිස හෝ අන්‍යයන්ගේ ආරක්ෂාව පිණිස හෝ වෙනත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, එම තැනැත්තා පුප්ඵභාණි (මල් බඳු වචන ඇති) නම් වේ. යම් කෙනෙක් රළු වදන් බැහැර කොට ප්‍රයෝජනවත් මිහිරි, දයාබර, හදවතට ළං වූ, ශිෂ්ට සම්පන්න වූ, බොහෝ දෙනාට ප්‍රිය මනාප වූ, වචන කියන්නේ නම්, එම තැනැත්තා මධුභාණී (මී බඳු වචන) නම් වේ.

බුදුරදුන්ගේ මෙම දේශනයෙන් පුද්ගලයන් තිදෙනෙකුගේ වචන භාවිතය හෙවත් සන්නිවේදන විවිධත්වය ප්‍රකට වේ. එයින් පළමු තැනැත්තා සාකල්‍යයෙන්ම අපිරිසුදු කථාවෙන් යුක්ත අයෙකි. හෙතෙම ආත්මාරක්ෂාව හෝ අත්මලාභය තකා දැන දැනම බොරු කියන්නෙකි. එසේ දැන දැනම බොරු කියන්නා අශූචි මෙන් අපිරිසුදු කථා ඇත්තෙකි. එම තැනැත්තා දුරින් ම දුරු කළ යුත්තෙකි.

ඇසුරට, පයිරුපාසානයට අයෝග්‍ය අයෙකි. මෙවන් පුද්ගලයෝ කෙතෙකුත් දක්නට ලැබෙත්. වෘත්තිකයන් අතර ද, සාමාන්‍ය ජනයා අතර ද එවැන්නෝ සුලබ වෙති. ආත්මාර්ථය හා ලාභ ප්‍රයෝජන තකා අසත්‍ය දෑ සත්‍ය ලෙසත් සත්‍ය දෑ අසත්‍ය ලෙසත්, විකෘති කොට ප්‍රකාශ කරන පුද්ගලයන් පමණක් නොව එැවැනි මාධ්‍ය ආයතන ද කොතෙකුත් තිබේ. දෙවන පුද්ගලයා අසත්‍ය, අසත්‍ය ලෙසත් සත්‍ය, සත්‍ය ලෙසත් නොදන්නා දෙය නොදන්නා බවත්, දන්නා දෙය දන්නා බවත් අවංකව ප්‍රකාශ කරන, සත්‍යවාදී අයෙකි. හෙතෙම තමන් නිසාවත්, අනුන් නිසාවත්, ලාභ ප්‍රයෝජන ලබා ගැනීම පිණිසවත්, අසත්‍ය අභූත වදන් ප්‍රකාශ නොකරන්නෙකි.

හෙතෙම අවංක විවෘත අයෙකි. මෙවන් පුද්ගලයෝ වෙත්නම්, ඒ අතලොස්සක් පමණි. කලාතුරකින් නමුත් එැවනි අවංක පුද්ගලයන් දක්නට ලැබේ. එහෙත් සමාජයේ බහුතරය ආත්ම ලාභය හා විවිධ පටු පරමාර්ථ වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කරන්නන්ගෙන් සමන්විත නිසා අවංක සත්‍යවාදී පුදගලයන්ගේ සංඛ්‍යාව සුළුතරයකි. මේ සුළුතරය මල් බඳු වචන කියන්නෝ වෙති.

අවංක සත්‍යවාදී මෙම පුද්ගලයෝ ඇසුරට පයිරුපාසානයට සෑම අතින්ම සුදුස්සෝ වෙති. සන්නිවේදනයේ ද ී රළු වදන් වෙනුවට මිහිරි වදන් පවසන, අර්ථවත් ප්‍රයෝජනවත් දෑ පමණක් කථා කරන, දයාබර ශිෂ්ට සම්පන්න වදන් භාවිත කරන පිරිසක් ද වෙති. තුන්වන කොටසට අයත් ඒ අය මී බඳු වචන කථාකරන අය වෙති. ඉහතින් දැක් වූ බුද්ධ වචනය අනුව දෙවන හා තෙවන පුද්ගලයෝ යහපත් වචන කථා කරන අය වෙති.

ඔවුහු තම වචන භාවිතයේ දී සදාචාර සම්පන්න ව, විනය ගරුක ව, ශික්ෂණයකින් යුතු ව කටයුතු කරති. එහෙයින් ඔවුන් දෙදෙනා මනා සන්නිවේදන කුශලතාවන්ගෙන් පිරිපුන් අය වෙති. එහෙත් පළමු වැන්නාට එවැනි ශික්ෂණයක් නොමැත. ඔහු භාවිත කරන වචන අශූචී මෙන් අපිරිසුදු ය. අන්‍යයන්ගේ පිළිකුලට හේතුවෙයි. එහෙයින් ඔහු හා ඇසුරකට කතාබහකට කිසිවෙකු කැමැති නොවේ.

වචනය අසීමිත බලයකින් යුක්ත ය. එය අවභාවිත කළොත් එයින් වන විනාශය ද බලවත් ය. එහෙත් එය නිසි ලෙස භාවිත කළොත් එයින් සැලසෙන යහපත ද ඉමහත් ය. මනසේ ඇතිවන සිතිවිලි ප්‍රකාශ වන්නේ වචන මගින් ය. සිතිවිලි අපිරිසුදු වූ තරමටම වචන ද අපිරිසුදු වේ. සිතුවිලි යහපත් වූ විට එය ප්‍රකාශ කරන වචන ද යහපත් ය. කථා කරන්නන් අතර බුදුරදුන් උතුම් යැයි කියනු ලැබේ (බුද්ධෝ පවදතංවරෝ). සන්නිවේදනයේ දී උන්වහන්සේ කොතරම් සාර්ථක ශාස්තෘවරයෙකු වූයේද යන්න අන්‍යාගමිකයන් බුදුරදුන් ගැන කළ ප්‍රකාශවලින් සනාථ වේ.

මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දැක්වෙන පරිදි චංකී නම් බ්‍රාහ්මණයා බුදුරදුන්ගේ කථාව අගයන්නේ “මිහිරි වචන කථා කරන, මැනවින් වචන උච්චාරණය කරන, කෙලතොලු නොවන, අසන්නාට පහසුවෙන් වැටහෙන පරිදි ශිෂ්ට සම්පන්න වදන් භාවිත කරන ” කෙනෙකු වශයෙනි. බුදුරදුන් අනුගමනය කරන බෞද්ධයාගේ වදන් භාවිතය ද මෙබඳුම විය යුතු වේ. පුද්ගලික මට්ටමෙන් පමණක් නොව ආයතනික වශයෙන් ද අදහස් ප්‍රකාශ කිරීමේ දී මෙවැනි විවිධත්වයක් දැකිය හැකි ය. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත් පත්, සඟරා ආදි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරුණු ඉදිරිපත් කිරීමේ දී ඇතැම් ආයතන විසින් ඇතැම්විට තම පෞද්ගලික ඕනෑ එපාකම් අනුවත්, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනුත් විවිධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ.

තොරතුරු වාර්තා කිරීමේ දී ඇතැම් විටෙක සත්‍ය යටපත්කොට, අසත්‍ය ඉස්මතු කරමින්ද, සිදු නොවූ දෑ සිදු වූ දේ ලෙසත් සිදු වූ දෑ නොසිදු වූ දෑ ලෙසත් වාර්තාකරන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. මාධ්‍ය ආයතන මෙන් ම, ඇතැම් මාධ්‍යවේදීන් ද තම සන්නිවේදන කුසලතා අවභාවිත කරමින් විවිධ පටු පරමාර්ථ ඇතිව කටයුතු කරනු පෙනේ. තම ප්‍රකාශන හැකියාව කුමන මාධ්‍යයට අයත් වුව ද, එය සමාජයට යහපතක් වනසේ භාවිතයට ගැනීම උසස් සදාචාර සම්පන්න මාධ්‍ය වේදියෙකුගේ ලක්ෂණයකි.

අසන්නා තුළ වෛරය, ක්‍රෝධය, රාගය ඉස්මතු කරනු වෙනුවට ප්‍රඥාව බුද්ධිය අවදිකරන, කරුණාව දයාව මෛත්‍රිය ආදී උදාර හැඟීම් උත්තේජනය වන පරිද්දෙන් සන්නිවේදන කටයුතු මෙහෙයවීමට අවශ්‍ය ශික්ෂණය දෙවන හා තෙවන පුද්ගලයන්ගේ ගති ලක්ෂණ ආදර්ශයෙන් සකස්කොට ගත හැකි ය. යථෝක්ත සූත්‍ර දේශනාවේ එන දෙවන හා තෙවන පුද්ගලයන් පිළිබඳ ආදර්ශය පෞද්ගලික මට්ටමෙන් පමණක් නොව ආයතනික වශයෙන් ද ක්‍රියාවට නැංවීමෙන් සන්නිවේදනය හා සම්බන්ධ වත්මන් අර්බුද බොහෝමයක් ජය ගත හැකි ය.

පුද්ගල පෞරුෂයේ වැදගත් පැතිකඩක් වන සන්නිවේදනය යහපත් වූ තරමට සමාජය තුළ පුද්ගලයාට පිළිගැනීමක් ඇති වේ. සමාජයේ කවර වෘත්තියක නිරත වුව ද, වදන් භාවිතයේ දී ඇතිකරගන්නා විනය හා ශික්ෂණය නිතැතින්ම අන් අයගේ ආකර්ෂණයට හේතුවේ. අදහස් හා සිතිවිලි ප්‍රකාශයට පත්කරන මාධ්‍ය වන වචනය සදාචාර සම්පන්න ව ක්‍රියාවට නංවන ආකාරය සම්මා වාචා යටතේ අවධාරණය කර තිබේ. ඒ හෙයින් ආර්ය ශ්‍රාවකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම යහපත් දෑ කථාකරන්නෙකු වේ.