Print this Article


තෙවන ධර්ම සංගායනාව - 4 කොටස : සම්බුදු සසුනේ චිරස්ථිතිය

තෙවන ධර්ම සංගායනාව - 4 කොටස :

සම්බුදු සසුනේ චිරස්ථිතිය

ධර්මාශෝක රජු එක් නමකට දහසක බැගින් පිරිවර ඇති භික්ෂූන් වහන්සේ සතර නමකුත්, එක් ඇමැතියෙකුට දහස බැගිින් පිරිවර ඇති ඇමැතිවරු සතර දෙනෙකුත්, මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ වැඩමවාගෙන ඒම පිණිස පිටත් කර වූ හ.

රජුගේ වචනයෙන් තෙරුන් වහන්සේ වඩමවාගෙන ඒමට එසේ දහස් ගණන් පිරිස පිටත් කළ ද, උන්වහන්සේ වැඩම කළේ නැත. දෙවැනි වතාවේ දී රජතුමා එක් නමකට දහස බැගින් පිරිස භික්ෂුන් සහිත ස්ථවිරයන් වහන්සේ අට නමකුත්, එක් අයෙකුට පිරිවර පුරුෂයන් දහස බැගින් වූ අමාත්‍යවරු අට දෙනෙකු පිටත් කරවී ය. ඒ වතාවේ දී හෝ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ වැඩම කළේ නැත. එවිට රජතුමා භික්ෂූන් වහන්සේගෙන් “ස්වාමිනි, අපගේ තෙරුන් වහන්සේ වැඩමවා ගන්න පිළිවෙලක් නොමැතිදැ යි? ” විමසී ය. එවිට භික්ෂූන් වහන්සේ තෙරුන් වහන්සේ වැඩමවීම පිණිස ආරාධනා කළ යුතු ක්‍රමය ගැන කියා දුන්නේ ය. “ ස්වාමිනි, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් සම්බුදු සසුන යළි නගා සිටුවීම පිණිස අපට උපකාරි වුව මැනව“ කියා ආරාධනා කළොත් අපගේ මහතෙරුන් වහන්සේ වැඩම කරනු ඇත" කියා වදාළ සේක. එවර රජතුමා එක් භික්ෂුවකට දහසක් පිරවර භික්ෂූන් සහිතව මහ ස්ථවිරයන් වහන්සේ දහසය නමකුත්, එක් ඇමැතියෙකුට පුරුෂයන් දහස බැගින් අමාත්‍යවරු දහසය දෙනෙකුත්, භික්ෂූන් පැවසූ ආකාරයට ආරාධනා සහිත ව පිටත් කරවී ය.

ඔවුන් ගොස් ඒ කාරණය තෙරුන් වහන්සේට සැළ කළ සැණින් ම අප මහරහතන් වහන්සේ වැඩම කොට වදාළ සේක. උන්වහන්සේ වැඩමවාගෙන යාමට ආ නැව් පාටලිපුත්‍ර නගරාසන්නයේ තොටුපළට පැමිණි විට ධර්මාශෝක රජු උන්වහන්සේ පිළි ගැනීමට පෙර ගමන් ගියේ ය. රජතුමා දණක් පමණ වතුරට බැස නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දිගු කළේ ය. මහත් අනුකම්පා ඇති අපගේ මහරතන් වහන්සේ රජතුමාගේ දකුණු අතෙහි එල්ලීගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැඩි සේක. රජතුමා ඉතා සතුටට පත් ව රාජකීය උද්‍යානයට තෙරුන් වහන්සේ වඩමවාගෙන ගොස් පා දෝවනය කොට තෙල් ගල්වා පසෙකින් වාඩි වුණිි. ශාසන අනුග්‍රහයටත්, තමන්ගේ විමතිය දුරු කිරීමටත් යන කරුණුවලට තෙරුන් වහන්සේ තුළ ඇති දක්ෂතාවය විමසීම පිණිස රජතුමා මෙසේ විමසී ය.

”ස්වාමිනි, මම සෘද්ධි ප්‍රාතිහාර්යයක් දකින්නට කැමැතියි”

ධර්මාශෝක රජු දකින්නට කැමැති වූයේ පොළොව එක් ප්‍රදේශයක් සෙළවෙන ආකාරයේ ප්‍රාතිහාර්යයකි. එවිට අපගේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ යොදුනක ප්‍රදේශය සීමා කරවී ය. ඒ ඇතුළත සතර දිසාවේ රථයක්, අශ්වයෙක්, මිනිසෙක්, ජලය මුව විට දක්වා පුරවන ලද පාත්‍රයක් තැබීමට අණ කළේ ය. එසේ තැබූ රථ ආදියත්, අඩක් අඩක් හසුවෙන සේ යොදුනක ප්‍රමාණ වූ මහපොළොව සෙළවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජුට සෘද්ධි බලයෙන් දකින්නට සැලැසුවේ ය.

ඉන්පසු තමන්ගේ ඇමැතිවරයෙක් භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක් ඝාතනය කර වූ පාපය තමන්ටත් අයිති වූවා ද, නැද්ද කියා රජු, තෙරුන් වහන්සේගෙන් විමසී ය. එවිට තෙරුන් වහන්සේ “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි” යන බුද්ධ වචනය පෙන්වා වදාළේ ය. කිලිටි චේතනාවක් නො මැති ව සිටි නිසා පාප කර්මයට කරුණක් නැතැයි තිත්තිර ජාතකය උපයෝගී කොට ගෙන කරුණු පහදා දුන් සේක. අපගේ මහරහතන් වහන්සේ මනෝරම්‍ය වූ රාජ උද්‍යානයෙහි සතියක් වැඩ සිටි සේක. ඒ කාලය තුළ සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර වූ ධර්මය පවසා රජතුමා ධර්මයෙහි හික්මවා වදාළ සේක.

ඒ සතිය ඇතුළත දී ධර්මාශෝක රජු දඹදිව වසන ධර්මවාදී, අධර්මවාදී සියලු භික්ෂූන් රැස් කරවා, සත්වන දිනයේ දී ඒ සියලු භික්ෂූන් රම්‍ය වූ අශෝකාරාමයට වැඩ ම කරවූහ. කඩතුරාවක් (තිරයක්) ඇතුළත රජුත්, මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේත් පමණක් සිටි අතර, ඒ ඒ මතවාද දරන්නා වූ භික්ෂූන් වෙන් වෙන් ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තේ ය. එවිට රජතුමා ස්වාමිනි, සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක් දැ යි? කියා ඒ භික්ෂූන්ගෙන් විමසී ය. එවිට ඒ භික්ෂූ වෙස් ගත් අන්‍යතීර්ථකයන් බාහිර ශාසනවලට අයත් මතිමතාන්තරයන් කියමින්, සදාකාලික ආත්මයක් ගැන පැවසී ය. සුගතයන් වහන්සේ ශාස්වතවාදී ය යනාදී වශයෙන් තම තමන්ගේ වැරැදි මත කියන්න පටන් ගත්හ. එවිට ධර්මාශෝක රජු මිත්‍යා දෘෂ්ඨික වූ ඒ සියලු භික්ෂූන් සිවුරු හැරවා සුදු වස්ත්‍ර ඇන්ද වූ හ. එසේ සිවුරු හරවාලු පිරිස හැට දහසක් විය.

”ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කවර දහමක් දෙසන සේක් ද?” යි ඇසූ විට ධර්මවාදී භික්ෂූන් මෙසේ වදාළ සේක “මහරජතුªමනි, අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතනා දී වශයෙන් බෙදා ධර්මය වදාළ හෙයින්, විභජ්ජවාදී වන සේකැයි” කීහ. එවිට රජතුමා “ස්වාමිනි, අපගේ සුගතයන් වහන්සේ විභජ්ජවාදී වන සේක් දැයි? මොග්ගලිපුත්ත තිස්ස තෙරුන්ගෙන් ඇසී ය. “එසේය මහරජ, ශාස්තෘන් වහන්සේ විභජ්ජවාදී වන සේක”. කියා පිළිතුªරු ලැබුණි. එවිට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් ධර්මවාදීන් බව දැන සතුටට පත්වි ය. “ස්වාමිනි, දැන් සංඝයා වහන්සේ පිරිසුදු බවට පත් වී සිටින නිසා සංඝයා වහන්සේ පොහොය කිරීම කරන සේක්වා! යි රජතුමා තෙරුන් වහන්සේට පවසා, සංඝයා වහන්සේට ආරක්ෂාව ද සලසා පාඨලී පුත්‍ර නගරයට පැමිණිි අතර, සංඝයා වහන්සේ සමගි ව උපස්ථාන කර්මය සිදුකළ සේක.

ඉන්පසු මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව කිරීම පිණිස, බිිය තැති ගැනීම් නැති විශාරදභාවයට පත් සිව් වැදෑරුම් අභිඤ්ඤා ඇති, ත්‍රිපිටකධාරී සතර පටිසම්භිදාලාභී රහත් භික්ෂුන් දහස් නමක් තෝරා ගත් සේක. මහාකස්සප මහරතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ යම් අයුරින් ද, යස මහරහතන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ යම් අයුරින් ද, එලෙසින් ම මොග්ගලිපුත්තතිස්ස තෙරුන් තුන්වෙනි ධර්ම සංගායනා මණ්ඩපයේ දී අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කතා වස්තු නමැති ප්‍රකරණය වදාළ සේක. මේ අයුරින් ධර්මාශෝක රජු විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගිත්වයෙන් කරන ලද මේ තෙවැනි ධර්ම සංගායනාව නව මසකින් නිමාවට පත්විය. ඒ විනවිට ධර්මාශෝක රජු රාජාභිෂේක කොට දා හත් අවුරුද්දක් වූ අතර, මොග්ලිපුත්තතිස්ස රහතන් වහන්සේ උපසම්පදාව ලබා වස් සැත්තෑ දෙකක් ක් ඇතිව වැඩහුන් සේක.

ගෞතම බුදුසසුන බොහෝ කල් පවතින අයුරින් සිදු වූ මේ තෙවන ධර්ම සංගායනාව අවසානයේ දී සාධුකාර දෙන්නියක් සෙයින් මහපොළොව කම්පාවට පත් වි ය. මහාවංශය රචනා කළ මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ තෙවෙනි ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය නිමා කරන්නේ මෙලෙස සඳහන් කරමිනි. ”ගෞතම සම්බුදු සසුන නඟා සිටුවීම එකම කාරණය කොට තිස්ස බ්‍රහ්මරාජයා ඉතා මනෝරම්‍ය වූ බ්‍රහ්ම විමානය අතහැර සැප අඩු මිනිස් ලොවේ අවුත් පිළිසිඳ ගත්හ. තමා විසින් සම්පූර්ණ කළයුතු නිවන් මග සම්පූර්ණ කොට උතුම් අරහත්වයට පත්ව සිටි අප තිස්ස තෙරණුවෝ ගෞතම බුදුු සසුනෙහි දියුණුව පිණිස හේතු වූ ධර්ම සංගායනා කොට වදාළ සේක.

ඉන්පසු අප මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ විසින් නොයෙක් රටවල සම්බුදු සසුන ස්ථාපිත කිරීමට කටයුතු කළ සේක. ගෞතම සම්මා සම්බුුදු සසුන බබුළුවා ලූ අපගේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කොට වදාළ සේක. ඉන්පසු අනාගතයෙහි බුදු සසුන පිහිටන්නේ කුමන ප්‍රදේශයක ද කියා නුවණින් බලා වදාළ සේක. ප්‍රත්‍යන්ත (ඈත පිටිසර) රාජ්‍යවල සම්ම්බුදු සසුන පිහිටන බව උන්වහන්සේට වැටහුණි.

ඉන් මාසයේ දී තෝරාගත් ඒ ඒ ප්‍රදේශවලට ඒ ඒ රහතන් වහන්සේ බුදු සසුන පිහිටුවීම පිණිස පිටත් කොට වදාළ සේක. කාශ්මීර ගන්ධාර (වර්තමාන ඇෆ්ගනිස්ථාන්) රටට මජ්ඣන්තික මහරහතන් වහන්සේ පිටත් කොට වදාළ සේක. මහිස මණ්ඩලයට මහාදේව මහරහතන් වහන්සේ ද, වනවාස ප්‍රදේශයට රක්ඛිත මහ රහතන් වහන්සේ ද, අපරන්ත ප්‍රදේශයට ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ ද, මහාරාෂ්ට්‍ර නමැති ප්‍රදේශයට මහාධම්මරක්ඛිිත මහරහතන් වහන්සේ ද, යෝනක දේශය හෙවත් ගී‍්‍රකයන් වසන රටට මහරක්ඛිත මහරහතන් වහන්සේ ද, හිමාල ප්‍රදේශයට මජ්ක්‍ධිම මහරහතන් වහන්සේ ද පිටත් කොට වදාළ සේක. සුවණ්ණභූමි රටට සෝණ සහ උත්තර යන මහරහතන් වහන්සේ ද , මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල නමැති රහතන් වහන්සේලාට “ඔබ වහන්සේ ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩම කොට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවනු මැනවයි" කියා පවසා වදාළ සේක.

මෙම ලිපියේ ඉතිරි කොටස බිනර අමාවක බුදුසරණ පත්‍රයේ පළ වේ.