Print this Article


පූජාච පූජනියනං

සූරියගොඩ සිරිධම්ම නා හිමි

සිය පැවිදි දිවියේ අඩසියවස 2018 ඔක්තෝබර මස 02 වන දින සමරන රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමය සහ බොරලැස්ගමුව පිටවේල්ල පාර සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති විශ්‍රාමික සහකාර විදුහල්පති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති අධ්‍යාපනපති සූරියගොඩ සිරිධම්ම නා හිමිපාණන් වහන්සේ.නූතන සඟ පරපුරට මෙන් ම ගෘහස්ථ සාධු ජනයාට ද ප්‍රත්‍යක්ෂ පරමාදර්ශී මහතෙර නමකි.

අගලවත්ත ආසනයේ සුරියගොඩ නම් ග්‍රාමයෙහි සූරිය ආරච්චිගේ ජෝන් සිංඤ්ඤෝ උපාසක මහතා හා සැම්පිනෝනා වෙල්ගම උපාසිකා මාතාව යන මව්පිය දෙපළ වෙත 1954 මාර්තු මස 04 වන දින සුපින්වත් කුමරෙකුගේ උපත සිදු විය. එක් සොහොයුරෙකුගේ හා සහෝදරියන් 04 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ සූරිය ආරච්චි කුමරා සිය මූලික පාසල් අධ්‍යාපනය දියපත්තුගම කනිෂ්ඨ විද්‍යාලය පානදුර මහවිල මහා විද්‍යාලය හා අගලවත්ත මිහිඳු මහා විද්‍යාලය යන පාසල් තුළින් ලබාගත්හ.

මැද වලගෙදර සිරිනිවාස පරිවේණාධිපති කළුතර දිසාවේ හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ලූල්බද්දුවේ ශ්‍රී උපරතන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් දියපත්තුගම ශ්‍රී සුධර්මාරාමය, බොරුපන ධර්මාශ්‍රමය, රත්මලානේ ශ්‍රී රත්නාරාමය යන විහාරාත්‍රයාධිපති නැගෙනහිර පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝ නායක කෙවිටියාගල ධම්මසිද්ධි නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්විය.

රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනේ 1969 සිට 1970 දක්වාත් නුගේගොඩ, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ 1970 සිට 1976 දක්වාත් මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාරනු ලැබී ය.

සූරියගොඩ සිරිධම්ම නා හිමියෝ 1977 දී කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයට ඇතුළත් වූ අතර 1981 දී අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ලැබීය. 1990 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය ද සමත් විය.

1982 – 1984 ජනවාරි දක්වා නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනට අනුයුක්ත පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙනෙහි පරිවේණාචාර්යවරයෙකු වශයෙන් මුල් ම ගුරු දිවිය ඇරඹූ උන්වහන්සේ ඉන් පසුව 1984 පෙබරවාරි සිට අනුරාධපුර නොච්චියාගම මහා විද්‍යාලයට රජයේ ගුරු පත්වීමක් ලබා ගනිමින් ගුරු සේවයෙහි තවත් පියවරක් තැබීය. උන්වහන්සේ 1989 ජූනි මස සිට 2013 දක්වා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සේවය කර පුරා වසර ගණනක පාසල් හා පිරිවෙන් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා ගත්හ.

උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛාචාර්යවරයෙකු ලෙස වසර කිහිපයක් සේවය කළහ. බොරුපන ධර්මාශ්‍රම විහාරස්ථ ශ්‍රී සුධර්ම දහම් පාසල, නාවල ශ්‍රී ධර්මපාල දහම් පාසල, අත්තිඩිය, ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, බෙල්ලන්විල බෝධිරාජ දහම් පාසල, කඳවල ශ්‍රී ඛේමානන්ද දහම් පාසල ආදී දහම් පාසල් ගණනාවකට ම සිය දහම් දැනුම බෙදා දී ඇති අතර රත්මලාන ශ්‍රී රතනපාල දහම් පාසලේ 1979 සිට අද දක්වා ප්‍රධානාචාර්ය ධූරය දරමින් තවදුරටත් සිය ධර්මශාස්ත්‍රීය සේවාව සිදුකරමින් විවිධ සමිති සමාගම්වල ද ප්‍රධාන අනුශාසකත්වය දරමින් කටයුතු කරති. ඒ අතර ගල්කිස්ස ධර්මදූත සභාව හා රත්මලාන තරුණ බෞද්ධ සංගම්වලට ලබා දෙන මඟ පෙන්වීම ප්‍රශස්ත ය.

රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමය, බොරලැස්ගමුව පිටවේල්ල පාර සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති වශයෙන් ද නා හිමියන් විසින් සිදුකරනු ලැබූ මහත් වූ ශාසනික සේවාව අගය කරමින් මල්වතු මහා විහාරයීය ශ්‍රීමත් මහානායක සානුනායක විංශත්වර්ගික කාරක සංඝ සභාව මඟින් 2007 දී බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය “සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මසිද්ධි” යන ගෞරව නාමය සහිතව පිරිනැමීම ම උන්වහන්සේගේ සේවාවට කදිම නිදසුනකි. එසේම ආගමික හා සමාජයීය සේවාව වසර 45 කට වැඩි ය. එම සේවාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම හරහා මොනවට විද්‍යමාන වේ.

නාහිමියන්ගේ ශාස්ත්‍රීය සේවාව පිළිබඳ විමර්ශනයේ දී ගුවන් විදුලි, රූපවාහිනී, ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ක්‍රියා කිරීම හා කාලීන අවශ්‍යතාවයන් නිවැරැදිව හඳුනාගෙන පුවත්පත්වලට ලිපි සැපයීම මෙන් ම ධර්ම ග්‍රන්ථ 32 ක් ලියා ප්‍රකාශයට පත්කිරීම එම සේවාවන් අතර ප්‍රමුඛතම සේවාවන් වේ. එහි දී උන්වහන්සේගේ සාරගර්භ ග්‍රන්ථයන් අතර රත්මලානේ ධර්ම දේශනා, අසිරිමත් සදහම් ගඟ, අසිරිමත් ධර්ම සන්නිවේදකයාණෝ, අසිරිමත් චීවර පූජාව ආදිය සුවිශේෂීත්වයක් විද්‍යමාන කරයි.

උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව දඹදිව, තායිලන්තය, බුරුමය, සිංගප්පූරුව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ආදී විදේශීය රටවලට ද ලබා දී ඇති එම ධර්ම ශාස්ත්‍රීය සේවාවන් මේ දක්වා ම සිදු කරති.

පැවිදි දිවියේ 50 වසරක් සම්පූර්ණ කරන නාහිමියෝ වර්තමාන සංඝ සමාජය නියෝජනය කරනු ලබන ධර්මධර විනයධර නා හිමිපාණන් වහන්සේ නමකි. සිය පැවිදි දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට අභිමුව සිටින අප නාහිමියන්ට තවදුරටත් ආගමික හා ශාස්ත්‍රීය සේවාවන්හි නිරතවීමට තෙරුවන් බෙලෙන් කායික මානසික ශක්තිය උදාවේවා.

****

බද්දේගම සුමන නා හිමි

වාද්දූව, පොතුපිටිය පූජාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, බද්දේගම සුමන නාහිමියන් වහන්සේට, “ සේනානන්ද, වංශාවතංශ, විනයාචරිය, විශ්වකලා කීර්ති ශ්‍රී කාව්‍යශිරෝමණී” යන ගෞරව නාමය සහිත, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය සහ උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය, අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක, මහෝපාධ්‍යාය, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත නාකුළුගමුවේ පේමරතන මහානා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, පසුගිය (15) දා පොතුපිටිය පූජාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර සිරි සම්බුද්ධ ශාසනෝදය මහ සංඝ සභාවේ මහානායක වස්කඩුවේ මහින්ද වංශ මහා නාහිමියන් හා සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක හා ලේඛකාධිකාරී, තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති, මහාචාර්ය, කොටපිටියේ රාහුල අනුනාහිමියන් විසින් බද්දේගම සුමන නාහිමිගෙන් මෙරටට හා සම්බුද්ධ ශාසනයටත් ලෝක ශාසනයටත් සිදු වූ ආගමික හා සාමාජික සේවාවන් පිළිබඳ ඇගයීම් සහිත විශේෂ අනුශාසනා පවත්වන ලදී.

අභිනව සංඝ නායක ධූරයට පත් වූ නා හිමියන්ට විජිනිපත පිළිගැන්වීම, කළුතර මහ දිසාපති, යූ.ඩී.සී. ජයලාල් මහතා විසින් සිදු කරන ලදී.

****

කපුදූව සිරිගුණාලංකාර මා හිමි

මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධීපතිව වැඩ සිට අපවත්වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ 105 වෙනි ජන්ම දිනය හා උන්වහන්සේ විසින් ආරම්භ කළ සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 59 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන පින්කම මෙවර බුත්තල ඓතිහාසික යුඳගනාව රජමහ විහාර පුණ්‍ය භූමියේ දී සැප්තැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළ පැවැත්විණි.

මෙම පින්කම් මාලාවේ දී සෙත් පහන් පිළිවෙතට සම්බන්ධව සිටින විවිධ ප්‍රදේශවලින් එම පුණ්‍ය භූමියට පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූහ. ඔවුහු දවස පුරා ආගමික වැඩසටහන්වලට සහභාගි වූ අතර එදින දවල් මහා සංඝරත්නය විෂයයෙහි දානමය පින්කමක් ද සංවිධානය කර තිබිණි. මීට අමතරව සන්ධ්‍යා භාගයේ දී චෛත්‍ය රාජයාණන් වහන්සේට කප්රුක් පූජාවක් ද මල් පහන් ගිලන්පස අෂ්ඨපාන දැහැත් බෙහෙත් අටපිරිකර පූජාවක් ද චෛත්‍ය වන්දනාවක් ද පැවැත්විණි. රාත්‍රිය පහන් වන තෙක් පිරිත් සජ්ඣායනය පැවැති අතර පසුදා කිරි ආහාර පූජාවෙන් පින්කම නිමා විය.

මේ නිමිත්තෙන් යුඳගනාව රජමහ විහාරස්ථ දහම් පාසලේ 450 ක් පමණ වූ දරුවන් වෙනුවෙන් පොත්පත් පාසල් උපකරණ බෙදාදීමට ද කටයුතු යොදා තිබූ අතර ඇල්පිටිය කුරුදුගහහැතැක්ම ශ්‍රී බුද්ධගයා විහාරයේ දෙමහල් සීමා මාලකය ද අලුත්වැඩියා කර පූජා කරන ලදී.

සිරිගුණාලංකාර පිළිවෙත් සුරැකීමේ සංවිධානයේ රජරට බුදුබල පහන් මධ්‍යස්ථානයේ ප්‍රසාදලත් චන්ද්‍රපාල සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් පින්කම් මාලාව සංවිධානය කෙරිණි.

බෞද්ධ පඤ්චශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමින් අදෘෂ්‍යමාන බලවේග ඔස්සේ මනුෂ්‍ය ජීවිතවලට එල්ලවන කරදර බාධක දුක් පීඩා දුරුකොට නිරෝගීව යහපත් ජීවිත ගත කිරීම උදෙසා යොමු කරන මෙම බුදුබල පහන් පිළිවෙත 1959 සැප්තැම්බර් මස 20 වෙනි දින සිට කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. උන්වහන්සේ හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසුව එහි විහාරාරාංග සම්පූර්ණ කර වැඩවාසය කරන අතරේ දී දිනපතා සෙත් පිරිත් සජ්ඣායනය කරමින් පංචශීල ප්‍රතිපදාව ප්‍රගුණ කරවීමෙන් ලද අධ්‍යාත්මික ශක්තිය ඔස්සේ සිරිඋපුල්වන් වරප්‍රසාදය ලබා තිබේ. එදා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මෙම ප්‍රතිපත්තිය කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර එම පවුල් අතර යහපත උදාකර ඇත.

විවිධ රෝග පීඩාවන්ට ගොදුරු ව කොතෙකුත් ප්‍රතිකාර කරනු ලැබුවත් ඉන් සුවයක් නොලැබුණු විශාල පිරිසක් සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ වෙත පැමිණ මෙම සෙත් පහන් පිළිවෙතේ යෙදී එහි අනුහසින් සුවය ලබා තිබේ. තමන් වහන්සේ හමුවට පැමිණෙන එවැනි පිරිස් පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටුවා සෙත්පිරිත් සජ්ඣායනය කිරීමෙන් ද, සෙත් පහන් තබා ගැනීමට සලස්වා දැහැමි ජීවිතයකට හුරුකරමින් ද, මානසික සුවය හා ශක්තිය ලබා දී රෝග පීඩා දුරු කර ඇත.

සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව වුවද එතෙක් උන්වහන්සේ සමග සෙත් පහන් පිළිවෙතට සම්බන්ධ වී සිටි වරප්‍රසාදලාභී ගිහි මහත්ම මහත්මීන් විසින් තවදුරටත් මෙම පිළිවෙත කියා දෙමින් බෞද්ධ පුනරුදය උදෙසා නිහඬ සේවයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට සලසමින් සිටිති.

මෙම පින්කම් මාලාවේ අනුහසින් අපවත්වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේට අජරාම නිවන්සුව අත්වේවා.