Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප: මිහින්තලේ කණ්ඨක චේතිය වාහල්කඩවල මූර්ති කැටයම්

මිහින්තලේ කණ්ඨක චේතිය වාහල්කඩවල මූර්ති කැටයම්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

වාස්තුවිද්‍යාව අනුව සලකා බලන කල මෙම වාහල්කඩ ලංකාවේ දාගැබ්වලට අයත් ඉතා වැදගත් අංගයන්ගේ ගණයට ඇතුළත් වේ. එසේ ම, ඒවා මෙරට මූර්ති කලාව පිළිබඳ ආදිතම නිදසුන් සපයයි. සැලැස්ම හා නිර්මාණය අතින් ඒවා සියල්ල ම එක සමාන ය. මිනුම්වල සහ සැරසිලි විස්තරවල ඇති අවශ්‍ය වෙනස්කම් හැරුණු විට මෙහි එක් වාහල්කඩ නිර්මාණය පිළිබඳ විස්තරය අනෙක් සියල්ලටම උචිත ය. (ලංකාවේ ස්තූපය – මහාචාර්ය ඇස් පරණවිතාන පි. 38 සිංහල පරිවර්තනය මහාචාර්ය එල්. ප්‍රේමතිලක – 1963 )

අනුරාධපුරයේ මිරිසවැටිය, රුවන්මැලිසෑය, අභයගිරි සහ ජේතවනාරාමය යන දාගැබ්වල ද වාහල්කඩ සහ ඒ ආශි‍්‍රත මූර්ති කැටයම් දක්නට ලැබේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කණ්ඨකචේතියේ වාහල්කඩ පිළිබඳ මෙසේ සඳහන් කරයි.

අනුරාධපුරයේ ඇති වාහල්කඩ මෙන් නොව කණ්ඨකචේතියේ වාහල්කඩ විචිත්‍ර කැටයමෙන් යුක්ත ය. බිත්ති හිස ඉහළම ලීස්තරයට යටින් ඇත්තේ ගණ (වාමන) රූප පෙළකි. ඊට යටින් ඇත්තේ හංස රූප පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බොකු තනා ඇත. හැම බොක්කකම දෙපස බිත්ති කණු දෙකකි. හුණු වලින් සහ අඹනලද මැට්ටෙන් හෝ තැනූ දේවතා පිළිමයක් හැම බොක්කකම තිබී ඇති බව පෙනේ. මේ පිළිම සමහරෙක කොටස් තවමත් තිබූ තැන ඇත. අසල සුන්බුන් මැද තිබී හමු වූ සමහර පිළිම හිස් අතර, අත්තම් හැටියට බොහෝ වටිනාකමකින් යුතු අඹන ලද මැටි හිස් දෙකක් ද විය. මුළු වාහල්කඩ ද පෙර විවිධ වර්ණයෙන් සායම් කර තිබී ඇති බව පෙනේ. අදත් ඒ සායම් තැනින් තැන දක්නට ඇත.

ඉහතින් සඳහන් කළ ගණරූප බොහෝ සිත් ඇදගන්නාසුළු ය. එහි නිරූපණය වන වාමනයන් ගෙන් සමහරු සංගීත භාණ්ඩ වාදනය කරති. එකෙක් නාගයෙකු සමඟ ක්‍රීඩා කරයි. තවෙකෙක් හිසින් සිටී. ඔවුන් වැඩිදෙනා විවිධ සජීව ඉරියව් දක්වන්නාහ. සමහර වාමනයන්ට ඇත්තේ සත්ත්ව හිස් ය. එකකුට අශ්ව හිසක් ද, අනෙකෙකුට වල්ඌරු හිසක් ද, තවෙකෙකුට වානර හිසක් ද ඇත. විශේෂයෙන් සැලකිල්ලට යොමු වන රුවක් නම්, එක් දළයක් පමණක් ඇති ඇත් හිසකින් යුත් වාමන රුවකි. නොයෙක් දේ අතින් ගත් වාමන පිරිසක් ඔහු දෙපස සිටිති. මෙය ගණපති අනුරූපයකැයි සිතීමට ඉඩ ඇත්තේ ඔහු සතු විශිෂ්ට උපකරණ මෙහි ඔහුගේ සහචරයන් අතෙහි තිබීම ය. පසුකාලීනව ගණපතිරූපවල අත් සතරක් ඇතත් මෙම රූපයේ ඇත්තේ අත් දෙකක් පමණක් බැවින් මෙහි සහචර පිරිසක් අවශ්‍ය වූ අයුරු පැහැදිලි වේ. කණ්ඨකචේතියේ වාහල්කඩෙහි මූර්ති ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා තවදුරටත් මෙසේ සඳහන් කරයි.

වාහල්කඩක දෙපස කැටයම් කළ ගල්කණු දෙක බැගින් පිහිටුවා ඇත. ඒ ගල් කණුවල ඉදිරි මූණතත්, එක් පසෙක මූණතත් මල්කම්, ලියකම් වලින් ද මිනිස් සිවුපා සහ පක්ෂි රූපවලිනුත් අලංකාර කර ඇත. මේ සමහර ගල් කණු එම වාහල්කඩවලටත් වඩා පැරැණි ගොඩනැගිලිවලට අයත්ව තිබී ඇති බව පෙනේ. ඒ ගල්කණුවල කැටයම් ද ඉතාම පැරැණි ගොඩනැගිලිවලට අයත්ව තිබී ඇති බව පෙනේ. ඒ ගල්කණුවල කැටයම් ද ඉතාම පැරැණි ආකාරයකින් යුක්ත වන බැවින් මෙරට පුරාණ නිර්මාණ කලාව හැදෑරීමේ දී ඒවා වැදගත් වනු ඇත. නැගෙනහිර වාහල්කඩෙහි ද ගල්කණු මත ඇත් රූප ද, උතුරේ සිංහ රූප, බස්නාහිරේ අශ්ව රූප, සහ දකුණේ ගවරූප ද පිහිටුවා තිබිණි. සඳකඩපහණවල ඇත්තේ මේ රූප ම බව සැලකිය යුතු ය. මේ සතුන් සතරදිග්භාගය නිරූපණය කරනු ඇත යන මතය ඉහත සඳහන් කළ ආකාරයෙන් ඔවුන් කණ්ඨකචේතියේ පිහිටුවා තිබෙන අන්දම අනුව තහවුරු වේ. අපට මෙහිදී මෙම සත්වරූප දක්නට ලැබුණේ ඒවා තිබිය යුතු තැන නොව ඒ අසල සුන්බුන් (නටබුන්) අතර බව කිවමනා ය.”

(පුරාවිදු පරියේසන - සෙනරත් පරණවිතාන. පි. 77 – 78 )

කණ්ඨක චේතියෙන් මතුකර ගැනීමට හැකි වූ වාහල්කඩ කීපය ආරක්ෂා කරවීම සඳහා වහාම ක්‍රියාකිරීමට මහාචාර්ය සෙනරත් පඬිවරයා විසින් කටයුතු කිරීම නිසා ඒ අගනා මූර්ති කැටයම් අද දවසේ අපට දැකගත හැකි වන බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. මෙම වාහල්කඩ දෙකක ගල් මුණත හොඳින් ආරක්ෂා වී තිබුණි. එහෙත් ඊට උඩින් සාදන ලද ගඩොල් බැම්ම දිරා යමින් තිබුණි. මහාචාර්ය සෙනරත් පඬිවරයා සඳහන් කරන අන්දමට ඒවා සුරක්ෂිත කිරීමට කටයුතු නො කළේ නම්, එම ස්ථානය කැණීම් කිරීම අවසන් වූ වහාම ඇතිවන වර්ෂාවට ඒ වාහල්කඩ ගඩොලින් සාදන ලද කොටස් ඉතිරි වී තිබූ ලෙසින් ඉතිරි නොවී සේදී යාමට ඉඩ තිබුණි.

“මේ මහා ස්තූපය කවදා කවරෙකු විසින් මුලින් ඉදිකරවන ලද්දක් ද යනු වංසකතාවල සඳහන් නොවේ. එසේ වුවද ලක්ෂයක වියදමින් මෙම ස්තූපයේ පේසා වළලු තුන ලජ්ජිතිස්ස (ක්‍රිස්තු පූර්ව 119 – 109) රජතුමා විසින් ගලින් බැන්ද වූ බව මහාවංසයේ සඳහන් කර ඇත. මෙය පේසා වළලු තුනේ මුණතට ඇල්ලු, අද දක්වාම හොඳින් ආරක්ෂා වී ඇති හුණු ගල් තහඩු ගැන කළ සඳහන් විය යුතු ය. මෙම දාගැබෙහි මුල් අත්තිවාරම ලජ්ජිතිස්ස රජවීමට පෙර කාලයේ දී සාදන ලද්දක් විය හැකි ය. මේ අනුව කණ්ඨකචේතිය ඉතාම පැරැණි දාගැබක් බව පුරාවිද්‍යාත්මක ව හා ඓතිහාසික ව පැහැදිලි වන කරුණකි.