Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: අප්‍රමාණ වූ සම්බුදු අසිරිය

අප්‍රමාණ වූ සම්බුදු අසිරිය

දිනක් කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමුවීමට යාමට තීරණය කළේ ය. අනතුරුව අනුගාමිකයන් පිරිසක් ද සමඟ එහි ගියේ ය.මද වේලාවක් නිශ්ශබ්දව සිට කූටදන්ත, තුන් යාග හා සොළොස් පිරිවර කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසී ය. එවිට බුදුරදුන් පොළොවෙන් වැසීගිය නිධානයක් පෙන්වන්නා සේ මහාවිජිත නම් රජුගේ චරිතය ගෙනහැර දැක්වූහ.

පෙර දඹදිව විජිත නම්න් රජු විසී ය. ඔහු පොහොසත් ය. සිවුරඟ සෙනඟ ද අඩුනොවී ය.රන්රිදී, දැසිදසුන් ද බොහෝ වූ හ. දිනක් රජතුමා මේ ධනය කවුරුන් විසින් උපයන ලද දැ යි සේවකයන්ගෙන් ඇසුවේ ය. එවිට සේවකයෝ ඔබේ මුතුන් මිත්තන් විසින් සපයන ලදැයි පැවසූහ. සතුටට පත් මහා විජිත රජතුමා එම ධනය පරලොව යහපත පිණිස යෙදවිය යුතු බව සිතා යාගයක් කිරීමට සිතී ය. මෙහි දී යාගය යනු මහා දානයට කියන නමකි. තමන්ට අනුශාසනා කරන පුරෝහිතයා වහා ම ගෙන්වා දානය කරන ආකාරය පිළිබඳ ව රජතුමා උපදෙස් පැතී ය. එවිට පුරෝහිතයා, රජතුමා විසින් දානය දියයුතු යැ යි ද, එහෙත් එය පොදුවේ නොදිය යුතු යැයි ද, පොදුවේ දුන්නහොත් සොර සතුරන් ඇතිවන බවද, ඔවුන් දානය ලබන්නන් හා භාණ්ඩාගාරය කොල්ලකන බවද කී ය. එවිට දිගු කලක් දන් දීමට නොහැකි බවත්, සතුටක් ඇති නොවන බවත්, එසේ නම්, කුමක් කළ යුතු දැයි රජු ඇසූ කල සොරසතුරන් ඇතුලු නොවන පරිදි ගොවි සංවිධානයක් ද ඇති කළ යුතු ය. ඔවුනට කෘෂිකර්මාන්තයට අදාළ සියල්ල ලබාදිය යුතු ය. වෙළෙඳ සංවිධානයක් ද ඇති කොට ඔවුනට ද අවශ්‍ය භාණ්ඩ හා මුදල් ආධාර ආදිය ලබාදිය යුතු ය රාජකාරී කරන සේවක ආදී පිරිසට ද ජීවත්වීමට අවශ්‍ය කරන දේ ත්, ගම් නියම්ගම් ආදී වස්තුවත් දිය යුතු ය. එවිට සොර සතුරු උවදුරු නැති වේ. භාණ්ඩාගාරය ද හිස් නොවේ. යනුවෙන් පුරෝහිත උපදෙස් දුන්නේ ය. දන්දීමට කැමැති දායක පිරිස් ද යොමුකරගත්තේ ය. මහාවිජිත රජතුමා අංග අටකින් යුත්ත විය. අභායාතය. අභිරුචිය. මහත් ධනය ඇත්තේය. සිවුරඟ සෙනග ඇත්තේ ය. මහත් වූ ශ්‍රද්ධාව ඇත්තේ ය. බහුශ්‍රැතය. පණ්ඩිත ය. ව්‍යක්ත ය තුන්කල්හි ම අර්ථ සිතීමට දක්ෂ ය. අතීත පින්කම් නිසා වස්තු ලැබුණ බවත්, වර්තමානයේ කරන පින්කම්වලින් අනාගත සම්පත් ලැබෙන බවත්, සීතී ය. ඉහත අංග අටෙන් පෝෂණ ය වූ රජතුමා මහජන සහයෝගය ඇති ව දන්දීමට පෙළඹුණි. රජතුමා ගේ පුරෝහිත ද අංග හතරකින් යුක්ත විය .එනම්, ඔහු අභිජාත ය. ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ ය. සිල්වත් ය. නුවණැත්තේ ය වශයෙනි. පුරෝහිතගේ මේ අංග හතර ද රජුගේ දානයට දායක විය. දානය දීම ආරම්භ විය. රජතුමාට පූර්ව, මධ්‍ය, අපර යන තුන්කල්හි ම අචල ශ්‍රද්ධාව ඇතිකරගත යුතු බවට ද එසේ වූ කල අර්ථවත් ඵල ලැබෙන බවට ද, පුරෝහිතයාගෙන් උපදෙස් ලැබුණි. දන්දීමේ දී පිරිස තෝරා බේරා නො දිය යුතු ය. පව්කරන අයටත්, දුර්ජන අයටත්, සත්පුරුෂ අයටත් දන්දිය යුතු බවට පුරෝහිතගෙන් උපදෙස් ලැබුණි. රජතුමා ද තුන්හිත පහදවාගෙන දන් දුන්නේ ය. ගවයන් ,එළුවන්, ඌරන්, කුකුළන් හා වෙනත් සතුන් මේ සඳහා යොදා නො ගත්තේ ය. සේවක ආදී පුද්ගලයන් යොදවා ඔවුන්ගේ සිත් සතුට උපදවාගෙන විනෝදයෙන් වැඩට යොදවා ගත්තේ ය. කවුරුත් දන් දෙන අය ලෙස පෙනීසිට නොයෙක් ආහාරපාන වර්ගත් , ගිතෙල් ,වෙඩරු, මී පැණි ,හකුරු ආදියත් දානය නමැති යාගයට යොදාගත්තේ ය. රජවාසලත්, දොරටු හතරත් එසේ ම අභ්‍යන්තරයත් දාන ශාලා ලෙස සාදාගෙන බත් ව්‍යංජන ආහරයන්ට අමතරව රන්රිදී, කහවනු ආදී නොයෙක් වස්තූන්ගෙන් භාජන පුරවා දන් දුන්නේ ය. මේ දුටු සමහර ජනයාත් රජතුමා මෙන් සත්ත්ව ඝාතන නොකර දන්දීමට පෙළඹුණහ. බුදුරජාණන් වහන්සේ දෙසූ මේ කතාව කූටදන්ත මෙන් ම, ඔහුගේ අනුගාමිකයෝ ද නිශ්ශබ්දව අසා සිටියහ. කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ දෙසුම අති රමණීය බවත්, විවේචනය කරන්නට දෙයක් නැති බවත්, කෙනෙක් බොරුවට සටකපට කමෙන් එසේ විවේචනය කළොත් ඔහුගේ සිත සත්කඩකට පැලෙන තරම් අපරාධයක් වන බවත්, සඳහන් කළේ ය. ධර්ම දේශනය ට අතිශයින් ම පැහැදුන කූටදන්ත බ්‍රාහ්මණයා තමන්ට,දෙසූ කතාවේ මහා විජිත රජු හෝ පුරෝහිත බුදුරජාණන් වහන්සේ විය හැකි බව ද ප්‍රකාශ කළේය. එවිට බුදුහු තමා එකල මහා විජිත රජු ට උපදෙස් ලබාදුන් පුරෝහිත බව ද, ප්‍රකාශ කළහ. එවිට කූටදන්ත බ්‍රාහ්මණයා සතුන් මරා සිදුකරන යාගයට වඩා, අනුන් නො පෙළා, අවිහිංසාව ම යොදාගෙන සතුටු සිතින් කරන දානය තරම් වෙනත් දානයක් වෙනත් නොවේයැයි සඳහන් කළේ ය. එවිට බුදුරදුන් එසේ දන්දීම මහත්ඵල මහානිසංස බවත්, සිල්වතුනට දෙන දානය ඊටත්වඩා ආනිසංස බවත්. තෙරුවන් සරණ යාම ඊටත් වඩා වටිනා බවත් දේශනා කළ සේක.