නිර්වාණ සුවය
අප්‍රමාදී පුද්ගලයාට පමණි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පරිවේණාධ්යක්ෂ
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති,
මකුලෑවේ විමල නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨාන මලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදෝ රක්ඛතෝ මලං
අද මේ සැම දෙනා ම සූදානම් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිෂ හා ප්‍රතිපත්ති
පූජාවෙන් පූජා කරලා, තමන් ප්‍රතිපත්තියෙහි පිහිටා, සැදැහැවතුන් හැටියට, සිල්වතුන්
හැටියට බුදුරජාණන් වහන්සේ ඉතා කරුණාවෙන්, මෛත්‍රියෙන් අපේ දෙලොව දියුණුව සඳහා දේශනා
කළ උතුම් වූ දහම් පදයක් ශ්‍රවණය කිරීමටයි.
අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන
ධම්මපදයේ මල වර්ගයේ තිබෙන ගාථාවක්, කෙනෙකුගේ ජීවිතය නොමඟට යවන කරුණු මොනවාදැයි මේ
මල වර්ගයේ විස්තර කර තිබෙනවා. මාතෘකා වශයෙන් තබාගත් ගාථාවේ දැක්වෙන බොහෝ කරුණු අපේ
ජීවිතයේ ඇති දුර්වල තැන් සකස් කර ගැනීමට බොහෝ උපකාරී වෙනවා.
මෙම ගාථාව දේශනා කළේ ලාලුදායි නමැති භික්ෂුවක් අරමුණු කරගෙනයි. සැරියුත්, මුගලන්,
ආනන්ද ආදී උත්තමයන් වහන්සේලාගෙන් බණ අහලා යන සැදැහැවත් දායකවරු ‘අද සැරියුත්
හාමුදුරුවෝ හොඳ බණක් දේශනා කළා’ ආදි වශයෙන් ප්‍රශංසා කර කර යනවා. කතාවලට දිනපතා
සවන් දෙන ලාලුදායි හාමුදුරුවන් කල්පනා කරනවා. ‘මේ මිනිස්සු හැමදාම සැරියුත්
හාමුදුරුවන් ගැන ගුණ වර්ණනා කර කර යනවා. මං ගැන කතා බහක්, ගුණවර්ණනාවක් කරන්නේ
නැහැ. ඒ වුණාට මටත් බණ කියන්න පුළුවන්.’ කියලා ලාලුදායි හාමුදුරුවෝ අර උපාසකයින්ට
මහත් අභිමානයෙන් ප්‍රකාශ කළා. ඒ ඇසූ උපාසකයින් කියනවා ‘ස්වාමිනි, අපි හෙට දානය
පිරිනමලා ඔබ වහන්සේගේ බණ අහන්න කටයුතු කරනවා.’ කියලා. ඒ අනුව උදේ දානය පිරිනමලා
දායකයින් ලාලුදායි හාමුදුරුවන්ට ස්වාමීනි, අනුකම්පා කොට අද අපට දහම් දෙසන්න’ යැයි
ආරාධනා කළා. ඒත් උන්වහන්සේට එකම බණ පදයක්වත් සිහි වුණේ නැහැ. ඒ නිසා ලාලුදායි
හාමුදුරුවෝ ධර්මාසනයෙන් බැහැලා දායකයින්ට කියනවා ‘මට දැන් බණ පද සිහිපත් වෙන්නේ
නැහැ. දවල්ට බණ කියන්නම් කියලා. දවල් බණ කියන්න ගියාමත් එසේ ම සිද්ධ වුණා. එතකොට
දායකයින් ආරාධනා කළා. ‘එසේනම් ස්වාමීනි, රෑටවත් ධර්මය දේශනා කරන්න’ කියලා. රෑ කාලයේ
දී ධර්මාසනයට ගොඩ වුණා. ඒ වේලාවේ කිසිම බණ පදයක් සිහි වුණේ නැහැ. ඒ වේලාවේ
හාමුදුරුවෝ කියනවා මම රාත්‍රියේ මධ්‍යම යාමයේ දී වත් බණ කියන්නම් කියලා. ඒ වේලාවේ
සිහිවුණේත් නැහැ. මේ විදිහට පස් වතාවක් ම දායකයින් අපහසුතාවයට පත් වුණා.
ලාලුදායි හාමුදුරුවෝත් අපහසුතාවයට පත්වුණා. මේ සිද්ධිය කටින් කට ගොස් භික්ෂූන්
වහන්සේලාටත් ආරංචි වුණා. ‘ලාලුදායි හාමුදුරුවෝ බණ කියන්න ගිහින් එකම බණ පදයක්වත්
කියන්නට බැරි වුණා’ කියලා. අන්තිමට මේ කතාව බුදුරජාණන් වහන්සේටත් ආරංචි වුණා. ඒ
වේලාවේ දී බුදුරජාණන් වහන්සේ ඒ කාරණය නිමිති කොට ගෙන ‘ඉස්සරත් ලාලුදායි ඔහොම වැඩ
කළා. එහෙම වැඩකරලත් කිසිවක් කරගන්න බැරි වුණා. නමුත් ලාලුදායි මහණ වෙලා යම් යම්
ධර්ම කොටස් පාඩම් කරගෙන හිටියා. ඒවා භාවිතයට ගත්තේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය උදා
වුණා කියලා අර පිරිසට මේ ගාථාවෙන් බණ දේශනා කළා.
භාවිතයට නොගෙන තිබෙන භාණ්ඩවල කලක් යන විට මළ බැඳෙන්නට පටන් ගන්නවා. ලාලුදායි
හාමුදුරුවන්ට ද සිද්ධ වුණේ ඒ වගේ දෙයක්. උන්වහන්සේ බණදැනගෙන හිටියත් ඒවා භාවිතයට
නොගත් නිසා මළ බැඳුණා. ඒ වගේ තමයි අපටත් අප උගත් දේ භාවිත නොකළොත් මලකඩ කනවා.
අභාවයට යනවා. පොඩි ළමයින් පාසල් යනවා. ගුරුවරුන් උගන්වනවා. ඒ උගන්වන කරුණු නිතර
නිතර භාවිතයට නොගත්තොත් අමතක වෙනවා. අභාවයට යනවා.
දෙවන කාරණය හැටියට දක්වනවා අනුට්ඨාන මලා ඝරා නිදර්ශනයක් වශයෙන් ගනිමු ගෙවල්. අප
කවුරුත් ජීවත් වන්නේ ගෙවල්වල. ඒවා නියම අන්දමින් පිරිසුදු කරගෙන පරිහරණය නොකළොත්
මොකද වෙන්නේ? ඒවා දිරාපත් වෙනවා. ජරා වෙනවා. කුණු බැඳෙනවා. මලකඩ කනවා. කැඩෙනවා
බිඳෙනවා. මුලදී ඒවා හදා ගන්නට උත්සාහ ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඉතා සුළුවෙන් හදා
ගන්නට තිබුණු දේ පසුව ලොකු වියදමක් කොට හදා ගන්න සිද්ධ වෙනවා. මේ උපාසිකා පිරිස
හොඳට දන්නවා ගේ අතු පතු ගා පිරිසුදු කර ගත්තේ නැත්නම්, මල්, එළවළු, පලතුරු ආදිය වවා
කියාගන හදා ගත්තේ නැත්නම්, ඒ සඳහා උත්සාහවුණේ නැත්නම් මොකද වෙන්නේ? ඒවා විනාශ
වෙනවා, ජරාවට පත්වෙනවා, අවලස්සන වෙනවා. උයන පිහන හැළි වළං ආදිය පිරිසුදු කර ඒවා
පිළිවෙළට තබා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒවා ඉඳුල් බැඳී ජරා තත්ත්වයට, දුගඳ හමන
තත්ත්වයට පත් වී පළාතම දුර්ගන්ධවත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට සම්බන්ධ ඉතා සුළු දේ පවා සැලකිල්ලට ගෙන ඒවා පැහැදිලි
කර දී තිබෙනවා. අනුට්ඨාන මලා ඝරා ගෘහයක තිබෙන මළය තමයි උත්සාහය වීර්යය නැතිකම.
උත්සාහයෙන් යුතුව කටයුතු කළොත් අපේ ගෙවල් දොරවල් ටික ඉතා ලස්සනට පිරිසුදුව තබා ගන්න
පුළුවන් වෙනවා. අප උත්සාහවන්ත නොවුණොත්, අපේ ශරීරයවත් පිරිසුදු කරගන්නේ නැත්නම්,
නියපොතු කපා ගත්තේ නැත්නම්, දත මැද මුහුණ සෝදාගෙන නැත්නම් ඒකත් ශරීර වර්ණය දුර්වල
වීමට හේතු වෙනවා. කම්මැලි වෙන්න නරකයි.
කුඩා ළමයින් කම්මැලිකම අතහැරලා වැඩ කිරීමට පොඩි කාලේ පටන් ම පුරුදු පුහුණු කරවන්නට
ඕනෑ. අලුයමින් නැගිටීමට පුරුදු කරවන්නට ඕනෑ. තමාගේ කටයුතු තමන්ම කරගන්න පුරුදු
කරගන්න ඕනෑ. කුසීත වීම, කම්මැලිවීම මිනිසකුගේ දියුණුවට ඉතාම බාධාවක්. ඒ නිසා
කම්මැලි නොවී ඉතා උනන්දුවෙන් වැඩකිරීමට අපි උනන්දු වෙන්න ඕනෑ. ‘පමාදෝ රක්ඛතෝ මලං’
ආරක්ෂාව නැත්නම් තමන් හරි හම්බ කරගත් දේවල් හොර හතුරෝ පැහැරගෙන යනවා. ඒ වගේම
අව්වෙන්, වැස්සෙන් ,පින්නෙන් අප සන්තක දේ විනාශ වෙනවා. ගෙවල් දොරවල් ආරක්ෂා කර ගන්න
ඕනෑ. මේවා සුළු දේවල් වශයෙන් පෙනුණත් ඒ ගැන සැලකිල්ල යොමු නොකළොත්, ඉතා සුළු දෙයින්
පවා අපේ ආරක්ෂාව නැති වී යාමට පුළුවනි. අප පාරේ යනකොට අවධානයෙන් , සැලකිල්ලෙන්
සෝදිසියෙන් කටයුතු කරන්න ඕනෑ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි අප්‍රමාදය ගැන
ඉතා ඉහළින් සඳහන් වෙනවා. ඒවාගේ වැදගත් දෙයක් තවත් නැති තරම්. අප්පමාදෝ අමතපදං
අප්‍රමාදව කටයුතු කරන්නාටයි නිවන් දකින්නට පුළුවන්. ප්‍රමාදී ව කටයුතු කිරීම මරණයට
හේතුවක්. ‘පමාදො මච්චුනො පදං’ ධම්මපදයෙහි සඳහන් වෙනවා. මාරයා හැම විටම කැමැත්ත
දක්වන්නේ හොඳ වැඩ නොකර සිටීම ගැනයි. පින් දහම් කරනවාට දැහැමිව දියුණු වීම සඳහා
කටයුතු කර ගන්නවාට මාරයා කැමති නැහැ.
අප්‍රමාදය බුදුදහමේ ඉගැන්වෙන ඉතා වැදගත් ඉගැන්වීමක්. නිවන් දැකීමට බලාපොරොත්තු වන
පිරිසක් වශයෙන් අප අප්‍රමාදී ව කටයුතු කරන්න ඕනෑ. ගිහියන් වශයෙන්, ගිහි පිරිස
ගිහිගෙදර කටයුතු සාර්ථක කර ගැනීමටත්, පැවිදි පිරිස පැවිදි දිවියේ කටයුතු සාර්ථක කර
ගැනීමටත් ඉතා උනන්දුවෙන් කටයුතු කරන්නට ඕනෑ.
මරණය කිනම් මොහොතක පැමිණේ දැ’යි කීමට බැහැ. බාල, තරුණ, මහලු කොයි මොහොතක මරණය
සිදුවේ දැයි කිව නොහැකි ය. ලෙඩ දුක් වැළඳීම මොන වයස් අවදියේ වුවත් සිදුවීමට
පුළුවනි. ඒ නිසා මොන වයසේ කෙනෙකු වුවත් පින් දහම් කිරීමට යොමු වීම අත්‍යවශ්‍යයි. මේ
හැම කෙනෙකු ම අද දවසේ දී මේ විදිහට ඉගෙනගත් ධර්මය පිළිබඳව නැවත සිහිපත් කරලා, ඒ
ධර්ම කාරණා අපේ ජීවිතවලට ඇතුළත් කරගන්න හැකිතාක් දුරට උත්සාහවත් වෙන්න ඕනේ. එසේ
උත්සාහවත් වෙනවා නම්, අපට මේ අවිද්‍යාව දුරු කරලා, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න
ඉතා ඉක්මනින් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හැම කෙනෙක් ම අද බිනර පෝය දවසේ දී මේ ධර්ම
දේශනාව ඉගෙනීමෙන් ලැබූ අවබෝධය උතුම් වූ නිවනින් සැනසීම සඳහා හේතුවේවා! වාසනාව වේවා!
කියා ප්‍රර්ථනා කරගන්න. |