ලෝකය බබළවන
පුන්සඳක් වන්න
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
දුවේ, පුතේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අප හැමෝ ටම , මග, නොමග කියා දෙන යහපතට ම යොමු
කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්.
අම්මා, තාත්තා කෙනෙකුටත් වඩා ඉතාමත් ම කරුණාවෙන් මේ සමාජය ගැන, ඇසුරු කළ යුතු අය
ගැන, හොඳට හැදෙන ආකාරය ගැන ආදි මේ හැම දෙයක් ගැන ම බුදුරජාණන් වහන්සේ ආදරයෙන්
කියාදී තිබෙනවා දරුවනේ, මේ සමාජයේ ජීවත්වන අය විවිධ තරාතිරම්වලට අනුව, උස් මිටි කම්
අනුව, දුප්පත් පාහොසත්කම් අනුව, උගත් – නූගත්කම් අනුව විවිධාකාරයෙන් බෙදෙනවා. ඉතින්
මේ අතර ‘පුංචි’යි. “ළාමක’ යි කියලා හමුවන පිරිසකුත් හමුවෙනවා. ඒත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන හතර දෙනා නම්, කිසිම දවසක ‘පුංචි’ යි කියලා
හිතන්න හොඳ නෑ කියලා. පුංචි රාජ කුමාරයා නයි පැටියා, පුංචි ගිනි කූර සහ පොඩි
හාමුදුරුවෝ. මේ අය තමයි ඒ හතර දෙනා
පුංචි රාජ කුමාරයා කියන්නේ රටේ රජතුමාගේ පුතා. අනාගතයේ රට බාර ගන්න කෙනා. ගුණ
යහපත්කම් නොදන්නා සමහර රාජ කුමාරවරු පුංචි කාලෙ ඉඳලම අකීකරුයි. කවුරුවත් ගණන් ගන්නේ
නෑ. ඇයි, තාත්තා රජතුමා නිසා. ඒ වගේ කතා ජාතක පොත් වහන්සේ තුළත් තිබෙනවා.
පියවරුන්ට, බලය, ධනය වැඩිවෙන කොට සමහර පුතාලා උඬගු වෙනවා. හිතන්න, ඔබ ඉගෙන ගන්නා
පාසලේ මේ වගේ රාජ කුමාරයෙක් ඉන්නවා කියලා. සෙල්ලම් කරන විට රණ්ඩු දබර ඇති වෙනවා.
පුංචි ළමයින්ගේ හැටි එහෙමයි. ඉතින් රාජ කුමාරයා මේ සිදුවීම මතක තබාගෙන ඉඳලා අනාගතයේ
රජකමට පත්වුණා ම පලිගන්න පුළුවන්. ඒත් පලිගැනීම හොඳ ගුණාංගයක් නෙමෙයි.
ඉතාම භයානකයි. අනවශ්‍ය කරදර ඇති කරගෙන ජීවිතයේ ලොකු අවධානමකට ලක්වන්නේ ඇයි? ඒ නිසා
දරුවනේ, කා සමගත් සමගියෙන් ජීවත් වන්නට ඕනෑ. එය බුද්ධාවවාදයක්,
දෙවැනි කෙනා තමයි පුංචි නයි පැටියා. අපේ දරුවෝ සතුන්ට හරිම ආදරෙයි. ඒත් ආදරය කරන්න
ගිහින් සමහරු පව් පුරවා ගන්නවා. පුංචි මාළුවෝ ටැංකිවල දානවා. කුරුල්ලෝ කූඩුවල සිර
කරනවා. දරුවනේ පුංචි නයි පැටවාත් හරිම ලස්සනයි.
එහෙම කියලා කිරි පොවන්න යාම, අර වගේ ඇති දැඩි කරන්න යාම නම් හරිම භයානකයි. ගඟක්
අසබඩ එක තාපසයෙක් සිටියා. දවසක් මේ තාපසයා දුටුවා ලස්සන නයි පැටවෙක් වතුරේ ගසාගෙන
යනවා. ඉතින් තාපසයාට හරිම දුකයි. නයි පැටවා අල්ලාගෙන දරුවෙකුට වගේ සලකමින් ආදරයෙන්
හදන්න හිතුවා. ඉතින් තාපසයා යන යන තැන උණ පුරුකක දමාගෙන මේ නයි පැටවාත් අරගෙන යනවා.
කිරි දෙනවා. කෑම දෙනවා. තාපසයා ළඟ සිටි උගත් බමුණෝ මේ සිද්ධිය දුටුවා.
“සර්පයා සුරතල් කරන්න එපා. භයානක දෙයක් අත් හරින්න” කියලා ඔවුන් අවවාද කළා. තාපසයා
ඒ අවවාද පිළිගත්තේ නෑ. මේ නයි පැටවා මුල දී කරදරයක් කළේත් නෑ. ඉතින් ටික දවසක දී මේ
පළාතට නියඟයක් ආවා. ආහාර හිඟ වුණා. තාපසයා ආහාර සොයන්නට ඈත ගමකට ගියා. නයි පැටවා
රැගෙන යාම කරදරයක් නිසා තාපසාරාමයේ තබා ගියා. ඒ ඉක්මනින් ආපසු එන අදහසින්, ඒත්
සිතුවා වගේ ආපසු එන්න ලැබුණේ නෑ. ගමන ප්‍රමාද වුණා. දින හතක් ගෙවුණා. නයි පැටවාට
හරිම බඩගිනියි. ඒ නිසා ම කේන්තියි. තාපසයා ආරාමයට පැමිණි විගස නයි පැටවාට ආහාර
දෙන්නට උණ පුරුක ඇතුළට අත දැමුවා. කේන්තියෙන් සිටි නයි පැටවා තාපසයාට දෂ්ඨ කළා. මේ
මගේ ජීවිතය බේරා ගත් තාපසතුමා කියලා නයි පැටවාට මතක කෑ. විෂ ශරීරගත වුණා තාපසයා
එතැන ම මිය ගියා. ‘ අපි කී දේ ඇසුවා නම් මෙවැනි විපතක් වෙන්නේ නෑ ‘යි බමුණෝ කීවා.
දරුවනේ, පොඩි වුණත්, ලොකු වුණත් නයාගේ විෂද නයි විෂ ම තමයි. දෂ්ඨ කළොත් මිය යන්න
පුළුවන්. නයා පුංචි වුණත් බරපතළයි. එහෙම කියලා සර්පයන් දුටු තැන පහර දෙන්න හිතන්න
එපා. සර්පයින් හරිම අහිංසක උරගයින් වර්ගයක්. හරියට ඇස් පෙනෙන්නේ නෑ. කන් ඇහෙන්නේ
නෑ. දිවෙන් තමයි සෑම දෙයක් ම දැන ගන්නේ. ඒ නිසා හිංසාවක්, පීඩාවක් නොකර
සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්නට ඕනෑ.
දරුවනේ, පුංචි ගිනි කූරක් කියන්නේත් හරිම භයානක දෙයක්. මහා ගිනි ඇවිළී මහා විනාශයක්
සිදු කරන්නේ පුංචි ගිනි කූරකින්. පුංචි ගිනි පුපුරකින්, පුංචි ගිනි පෙනෙල්ලකින්
මුළු රටක් ගිනි තබන්නට පුළුවන්. දැක්කා නේද මොනතරම් භයානක ද කියලා.
ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අම්මලා නිතර කියන්නේ ඒ නිසයි.
හතරවැනි කෙනා තමයි පුංචි හාමුදුරුවෝ. දරුවනේ පන්සලේ පුංචි හාමුදුරුවෝ සමඟ සෙල්ලම්
කරන්න. විහළු, තහළු කරන්න, රණ්ඩු කරන්න හොඳනෑ. පුංචි හාමුදුරුවෝ දරාගෙන ඉන්නේ අරහත්
ධජය. රහතන් වහන්සේලා දරාගෙන සිටි වටිනා, උතුම් චීවරය. එනිසා පොඩි හාමුදුරුවන්ටත්,
ලොකු හාමුදුරුවන්ට වගේ ම ගෞරව කරන්න ඕනෑ. දණ නමා වඳින්න ඕනෑ. ඇයි දන්නවාද? පොඩි
හාමුදුරුවෝ කියන්නේ සාමණේරයන් වහන්සේ නමක්. උන්නහන්සේ ළඟ සිල් දහයක් තිබෙනවා. දුවලා
පුතාලට සිල් පද පහයි ආරක්ෂා කරන්නට තිබෙන්නේ.
සමහර වෙලාවට ඒ අතරිනුත් සමහර සිල්පද කැඩෙනවා නේද? පුංචි හාමුදුරවෝ සිල් දහයක්
ආරක්ෂා කරනවා. උන්වහන්සේ තුළ සංවරකම. ධර්මාවබෝධය කොයිතරම් තිබෙනවා ද?
ඒ නිසා දරුවනේ, පුංචි හාමුදුරුවන් වහන්සේ ඉතාම ආදරයෙන් රැක ගන්න ඕනෑ. උන්වහනසේලා
තමයි ශාසනයේ අනාගතය. ගෙදර මොනවා හරි විශේෂ ආහාරයක් පිළියෙළ කළොත් උන්වහන්සේටත්
ගිහින් දෙන්න ඕනෑ. අද සමහර ටෙලි නාට්‍යවල රඟපාන පොඩි හාමුදුරුවරු දුව පැන සෙල්ලම්
කරන ආකාරය සමහර වැඩිහිටියෝ හරිම ආශාවෙන් නරඹනවා. ඒ දඟකාර කම්වලට හරිම කැමැතියි. ඒත්
පන්සලේ පොඩි හාමුදුරුවෝ සෙල්ලම් කළොත් අසංවරව හැසරෙනවා කියලා දොස් කියනවා. පොඩි
හාමුදුරුවෝ ඉගෙනුම ලබන පන්තියවත් දන්නේ නෑ. ඇතැම්විට බෝධි පූජාවට පින්කමට පමණයි
උන්වහන්සේට ආරාධනා කරන්නේ. ඒත් දරුවනේ, ඔබ නම් එහෙම වෙන්න එපා. අපි පුංචි
හාමුදුරුවෝ රැකගන්න ඕනෑ. බුද්ධ ශාසනයේ දියුණුවට මහා මෙහෙවරක් කළ ධර්මාශෝක රජතුමා
ගැන අසා තිබෙනවා නේද? මහා දරුණු චණ්ඩාශෝක, ධර්මාශෝක රජතුමා බවට පත්වුණේ නීග්‍රෝධ
පොඩි හාමුදුරුවන්ගේ පළමු මඟ පෙන්වීමෙන්. පොඩි හාමුදුරු නමක් වූවත්,
“යො හවෙ දහරෝ භික්කු යුඤ්ජත බුද්ධ ශාසනෙ’ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති රකිනවා නම්,
“සො ඉමං ලෝකං පභාසෙති
අබ්භා මුත්තො ච චන්දිමා’
වළාකුළින් මිඳුණු පුන් සඳ වගේ ලෝකය බබළවනවා. දරුවනේ ඔබත් සමාජය බබළවන පුන්සඳක්
වෙන්න උත්සාහ කරන්න ඕනෑ. සංවරව හැසිරෙන්නට, වගකීමෙන් ඉගෙන ගන්නට හිතට ගන්න ඕනෑ. අපේ
තථාගතයන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ බුද්ධාවවාද ජීවිතයට සමීප කරගන්නට
නිරතුරුව උත්සාහවත් වෙන්න ඕනෑ.
රමණී සුබසිංහ |