Print this Article


ලොව්තුරු සුව දේ බුදු හිමි පිළිරූ - නසයි නිවන් මග සදහම් පිළිරූ

ලොව්තුරු සුව දේ බුදු හිමි පිළිරූ - නසයි නිවන් මග සදහම් පිළිරූ

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ කසුප් බුදුරදුන්ගෙන් පසු අති දීර්ඝ කාලයක් වැසී ගිය නිවන් මග අභිනවයෙන් ප්‍රබුද්ධ කළ සේක.

එතෙක් ලොව කිසිවකුගේ ගවේෂණයකින් හඳුනා නොගත් සනාතන ලෝ දහම හඳුනා පසක් කොට ගත් සත්‍ය බල ඇතිව නිර්භීත භාවයෙහි මූර්තිය වූ සේක. කේසර සිහ තෙදින් තෙදවත් ව අපරාජිත ගමනක් අවසන් කොට සදහම් අරණෙහි සිසිල් සෙවනෙහි වැඩ හුන් සේක් භෞතික අභෞතික අනේකවිධ කරුණු නිසා බියසුල්ලන් වූ ලෝ සතුනට නිර්භය එලවූහ. සූසැට බරණින් සැදුම්ලත් ඔටුනු පලන් අධිරාජ්‍යයන්ට මෙල්ල නොවූ; සියලු ස්ත්‍රී ආභරණයන්ගෙන් සොබමන් රූ රැජිනියන් දැක වශී නොවූ අපමණ පිරිසක් පරම ශාන්ත එහෙත් තේජාන්විත බුදුරදුන් ඉදිරියේ දමනය විය. දැක වශීභූත විය. බව ගිමනෙහි කුරිරු පවන් නිවාලන සිසිල් දම් පැන් සුගත් මුනි මුව මඬලින් ලබන ලද අපමණ බොදුනුවෝ තථාගත ආඥා චක්‍රය පශ්චිම ජනයා වෙනුවෙන් සුරක්ෂිත කළහ. සද්ධර්ම ප්‍රතිරූපක නොවූ ඔවුන් විසින් මැනවින් ගෝපනය කළ ගෞතම බුදු සසුන අතුරුදන් කරවීමේ ලා තත්පර සත්පුරුෂ වේශධාරී අසත්පුරුෂයන් පිළිබඳ ව හෙවත් සද්ධර්ම ප්‍රතිරූපක පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

දිනක් බුදුරදුන් වෙත පැමිණි මහා කාශ්‍යප හිමියන් ඇසූ, පහත දැක්වෙන පැනය බුදුන් දවස පැවති සසුන් තතු ප්‍රකාශ කරන්නකි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මුල් යුගයේ සසුන් වන් කුල පුතුනට පනවන ලද්දේ සිකපද කීපයක් පමණි. නමුත් බොහෝ භික්ෂූහු අරහත් ඵලයට පැමිණියහ. මෙකල පනවන ලද බොහෝ සිකපද ඇතත් රහත් වන්නෝ අල්ප වෙති. ඊට හේතුව කුමක්ද?” පිළිතුරු වදාරණ බුදුරදුන් “කාශ්‍යපය! සත්වයන් සීල-සමාධි-ප්‍රඥාවන්ගෙන් පිරිහෙන කල්හි (සත්තෙසු හායමානෙසු) සදහම් අතුරුදන් වන කල්හි (සද්ධම්මෙ අන්තරධායමානෙ) සිකපද බොහෝ වුව ද රහත් වන්නෝ බොහෝ නොවෙති”යි වදාළ සේක. සැබෑ රන් තිබිය දී රන් වැනි වූ එහෙත් රන් නොවූ (රන් ප්‍රතිරූපක) භාණ්ඩ වලට මුලා වන්නාක් මෙන් බුදුන් වදාළ අර්ථ කථා සහිත ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය තිබිය දී ධර්ම ඡායා ආකාරයෙන් පෙනෙන අධර්මයට හා අධර්ම වාදීන්ට මුලා වූ සීල-ගුණ-නැණ පිරිහුන පිරිසකට ලැබෙන නිවනක් නැත. මනෝ විකාරයන් බුදු බණ ලෙස පවසන ඔවුන් කරන්නේ බරපතල වරදකි. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයට අනුව පඨවි ආදී සතර මහා භූත නිසා ධර්මය අතුරුදන් නොවේ. බුදු සසුන තුළම පහළ වන හිස් උදවිය නිර්මල බුදු බණ පද විකෘති කොට නොපිටට පද අමුණා අර්ථ විපරීත කොට ආර්ය මාර්ගය වසා දැමීම නිසා ම ධර්මය අතුරුදන් වේ. (අථ ඛො තෙ ඉධෙව උප්පජ්ජන්ති මෝඝ පුරිසා යෙ ඉමෙ සද්ධම්මං අන්තරධාපෙන්ති)

සද්ධර්ම ප්‍රතිරූපක, අධිගම හා පරියත්ති සද්ධර්ම ප්‍රතිරූපක වශයෙන් දෙවැදෑරුම් වේ. ධ්‍යාන මගඵල නොලබා ලැබුවෙමි යි යන හැඟීම ඇතිකිරීමට හේතුවන කරුණු අධිගම සද්ධර්ම ප්‍රතිරූපක නම් වේ. තරුණ විදර්ශනා ඤාණයෙන් යුත් විදර්ශකයාට පහළ වන ඕභාස, ඤාණ, පීති, පස්සද්ධි, සුඛ, අධිමොක්ඛ, පග්ගහ, උපට්ඨාන, උපෙක්ඛා, නිකන්ති යන දහය ඒ අතර ප්‍රධාන වේ. ‘ඕභාස’ යනු විදසුන් වඩන්නාගේ සිතේ ඇතිවන ආලෝකයයි. එය ඇතැම් කෙනෙකුන්ට යොදුන් ගණන් ඈතට පැතිරවිය හැක්කකි. බුදුන් වහන්සේට උපන් මෙම චිත්තාලෝකය දස දහසක් ලෝක ධාතුව පුරා උපන්නේ ය. මෙය උපන් කල්හි ඇතැම්හු මගඵල ලද්දෙමි යි මුලා වෙති. දෙවන කරුණ ‘ඤාණය’ යි. එනම් විදර්ශනා ප්‍රඥාවයි. නාම රූප ධර්ම පිරිසිඳ අවබෝධ කරත්ම යෝගියෙකුට පහළ වන විශද ඤාණයක් වේ. එය ලද යෝගියා මගඵල නුවණ මේ යැයි රැවටෙයි. තෙවනුව දැක්වූ ‘ප්‍රීතිය’ විදර්ශනා ප්‍රීතියයි. එය උපන් කළ මුලු සිරුරම පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි. චිත්ත-චෛතසිකයන්ගේ රළු-බර ගතිය දුරු කරමින් ඇතිවන කාය-චිත්ත සංසිඳීම ‘පස්සද්ධිය’යි. භාවනානුයෝගියාගේ මුළු සිරුර ම තෙමමින් ඇතිවන ප්‍රණීත සුවය ‘සුඛ’ නම් වේ. ‘අධිමෝක්ෂය’ ලෙස වදාරා ඇත්තේ විදර්ශනා යෝගියාට තෙරුවන් විෂයයෙහි ඇතිවන බලවත් ශ්‍රද්ධාවයි. ඉහත දැක්වූ කරුණු අතර එන ‘පග්ගහ’ යනු වීර්යයට නමකි. භාවනාව සඳහා අඩු-වැඩි නොවී පවතින උත්සහය එමගින් අදහස් කෙරේ. ‘උපට්ඨාන’ යනු සිහියයි. විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය අචල ගල් පව්වක් සේ පිහිටයි.

‘උපෙක්ඛා’ නම් විදසුන් භාවනාවෙන් යුත් බලවත් වූ මධ්‍යස්ථ බවයි. ‘නිකන්ති’ යනු සිහින් තෘෂ්ණාව ය. එය ඕභාසාදී නවාංගයෙන් යුතු විදර්ශනාවට ආලය කිරීම් වශයෙන් එය ඇතිවන අතර උක්ත නවාංගය ම නිකන්තියට වස්තු වේ. “මේ ඕභාසාදිය උපන් කල්හී මට මින් පෙර කිසිදාක මෙබඳු ධර්මයන් පහළ නොවුණි. දැන් ඒකාන්තයෙන් මම මගඵල ලැබුවෙමි”යි අමාර්ගයෙහි මග්ග සංඥාව ද අඵලයෙහි ඵල සංඥාව ද ඇති වේ. අව්‍යක්ත වූ ගුරු ඇසුරක් නොලබන යෝගියා මෙහි දී අතිශයින් මුළාවට පත්වේ. මෙම අධිගම සද්ධර්ම ප්‍රතිරූපක තෝරා නොගතහොත් ඔහුට නිවන් මග ඇවිරෙයි. ඔහු ඇසුරු කරන්නන්ට ද වන්නේ මහත්ම අලාභයකි. මෙහි දී කිව යුත්තක් ඇත. එනම් මේ දශවිධ විදර්ශනා උපක්ලේශ ඇතිවන්නේ සැබවින් ම භාවනාවක් කරන අයෙකුට පමණක් වන අතර එහි දී මුළා වූවකුට අනුකම්පා කළ යුතු ය. මන්ද යත් භාවනාව වඩන විටම පමණක් ඉහත සඳහන් ධර්මතා පහළ වන බැවිනි. මෙමගින් රහත් නොවී “මම රහත්මි”යි යන අදහස පවා ඇතිවිය හැකි නිසා අතිශයින් ප්‍රවේශම් විය යුතු ය.

මෙබඳු ගිහි-පැවිදි උදවිය විසින් පවත්වන ධර්ම දේශනා ආදිය මගින් බෞද්ධ සමාජය මුළුමනින්ම නොමග යන අතර එය පිරිසුදු ථේරවාදී ධර්මය අතුරුදන් වීමට ද හේතු වේ. පරියත්ති සද්ධර්ම ප්‍රතිරූපක යන දෙවන කරුණින් අදහස් කරන්නේ තුන් සංගායනා වලින් සංගායනා නොවුන ගූලහ විනය, ගූල්හ වෙස්සන්තර ආදී අබුද්ධ වචනයන් ය. සාට්ඨ කථා ත්‍රිපිටකය ද, තදීය ටීකාවන් ද සමඟ ථේරවාදී ඇදුරන් විසින් පිළිගත් ධර්ම ග්‍රන්ථ හැර ඉන් පරිබාහිර ධර්ම විවරණ බැහැර කළ යුතු ය. පෙළ දහමෙහි එන ධර්ම කරුණු වලට අර්ථ කථාවේ එන ධර්ම විවරණයන් සාහසික ලෙස බැහැරකොට තමතමාගේ පුද්ගලික අර්ථකථන සපයන්නෝ ද පරියත්ති සද්ධර්ම ප්‍රතිරූපකවලටම ඇතුළත් වෙති. මොවුහූ කිසිසේත් ම අනුකම්පා ලැබිය යුත්තෝ නොවන්නේ සංවිධානාත්මක ලෙස පිරිසුදු ථේරවාදි දහම් මග කෙලෙසන පිරිසක් නිසාවෙනි. ධර්මය අතුරුදන් කරවන්නන්ගේ ද, සුරකින්නන්ගේ ද ලක්ෂණ මොනවාදැයි සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රාවසානයේ වදාරා ඇත. ඒ අනුව යමෙකුට තථාගතයන් වහන්සේ පිළිබඳව ගෞරවයක්, යටත් පැවතුම් ඇති බවක් නොමැති නම්, ධර්මය-සංඝරත්නය ගැනද සීලය-සමාධිය පිළිබඳව ද, ගෞරවනීය පිළිපැදීමක් නොමැති නම් ඒ පුද්ගලයාගෙන් ධර්ම මාර්ගය ආරක්ෂා නොවේ.

ඔහු හුදෙක් ශ්‍රමණ වේෂධාරියෙකු හෝ උපාසක චණ්ඩාලයෙක් වේ. බුදුරදුන්ගේ ගුණානුස්මරණයෙන් හටගත් ශ්‍රද්ධාවක් ඇති ධර්ම රත්නයේ ද සංඝ රත්නයේ ද ගුණ සිහිකොට ප්‍රසන්න වූ සිතක් ඇති සීලවන්ත දිවි පෙවෙතකට හිමිකම් කියන සමාහිත සිතක් ඇති ශ්‍රාවකයා සුවඳැති හෙළ පියුමක් බඳු ශ්‍රමණයෙක් වේ. නොඑසේ වුව බබළන මැණිකක් වැනි උපාසකයෙක් වේ යැයි වදාරණ බුදුරදුන් එබඳු පැවිද්දා සහ උපාසකයා එකතු වී ඔවුනොවුන්ට උපකාර කර ගනිමින් ශාස්තෘ ශාසනය චිරාත් කල් යෙහෙන් රක්ෂා කරන බව ද වදාළ සේක. අද දක්වා පැවති ථේරවාදීන්ගේ සමථ විපස්සනා භාවනා මාර්ගයට අලුත් එකතු කිරීම් හෝ වෙනස්කම් වුවමනා නැත. අවශ්‍ය වන්නේ ධර්මාවබෝධයට හේතුවන ශ්‍රද්ධා-විරිය-සති-සමාධි-ප්‍රඥා යන අධ්‍යාත්මික ගුණ දියුණු කර ගැනීම පමණි. පිනෙන් පිරිහී ගිය අයෙකුට පිරිසිදු ශ්‍රී සද්ධර්මය පෙළ සහ අර්ථකථාව අනුව කෙලෙසින් තෝරා දුන්නත් විෂයය නොවේ. ඔහු ධර්ම විරෝධී මතවාද වලට සීඝ්‍ර ලෙස හසුවේ. ඉන් පසු මනස්ගාතයන්ට මුළාවී තවත් බොහෝ දෙනෙකුට ද නිවන් මග වරද්දමින් අපාගාමී පාපියෙක් වේ. ත්‍රි ශික්ෂා අතුරින් ධර්ම මාර්ගයෙහි පළමු පියවර වන සීල ශික්ෂාව ද හෑල්ලු කොට සලකන්නන්ගේ වචනවලට සවන් දෙන ඒවා අගයන ගිහි පැවිදි උදවිය අතුරින් අති බහුතරයක් ම සිල් බිඳගත්තවුන් ය.

තම තමාගේ ජීවිතය තුළ සිදුවී ඇති පව්කම් සිහිවන විට ඇතිවන මානසික පිඩනයෙන් කුලප්පු වී ගිය පසු “ධර්මාවබෝධයට සීලය වැදගත් නොවේ. අවශ්‍ය වන්නේ ප්‍රඥාව පමණි” යනුවෙන් යමෙක් කීවොත් අපා බියෙන් තැතිගත් ඔහුට එය තාවකාලික ඉස්පාසුවකි. නමුත් එය ධර්ම සමාදානයක් නොව අධර්ම සමාදානයකි. බරපතළ ලෙස පව් පුරවාගත් අජාසත්-දෙව්දත් ආදීන්ට පවා මතු යම් දිනෙක නො අනුමානව විමුක්ති සුව ලැබෙනු ඇත. ඔවුන් අවසන් මොහොතේ නමුත් ධර්මකාමීන් වීම ඊට හේතුවයි. යම් පැවිද්දෙක් දැන හෝ නොදැන සද්ධර්ම ප්‍රතිරූපකයෙක් ලෙස රංගනයේ යෙදී ලබන රස මසවුළු සහිත දන් බත වැළඳීමට වඩා ධර්මයෙහි පිහිටා ගෙන් ගෙට සිඟා ගොස් ලබන ඉඳුල් වැළඳීම යහපතට හේතු වේ; එය ඔහුට දුකක් වෙතොත් මේ ජීවිතයට පමණි. බොහෝ දෙනෙකුන් අධර්මයේ සමාදන් කරවීම කල්ප ගණනක අපා දුකකට හේතු වේ. ස්වල්ප කාලයක් සඳහා මිනිස් ලොව වරම් ලද අපගේ ජීවිතාවසානයේ දී කර්මය විසින් ලබාදෙන තීන්දුව කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. සියලු රංගනයන් හි විරාමය වූ එම මොහොතේ දී අනාථ නොවන්නට, ආදර ගෞරව සහිත ව බුදුසසුන ඇසුරු කළ යුතු ය. ගල්කුළක නෙළන ලද බුදුහිමි පිළිරුව අභියස සුපහන් සිතින් මලක්-පහනක්-පැනක්-බතක් පිදු අසරණ දැසි-දස්සන් පවා ලබන ලද සඟ-මොක් සුව අයත්නයෙන් විඳගනු කැමති සාධු ජනයා සදහම් ගරු කරත්වා! සදහම් පිළිරූ හඳුනා දුරු කරත්වා! සසුන් පිලිවෙත නිවැරදිව ම හඳුනා ගෙන පිළවෙත් පුරා ධර්මාවබෝධය ම ලබත්වා!