Print this Article


අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ

අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ

" ශ්‍රී දේහයේ පළවෙනියට ඔතපු සිවුරත්, පන්සියවෙනියට ඔතපු සිවුරත් පිළිස්සී නැහැ. හැබැයි, ඒ සිවුරු දෙක අතර තිබූ සිවුරු හාරසිය අනූඅට, කපු පුළුන් පටල පන්සියය, ශ්‍රී දේහයේ සම්, මස්, නහර සියල්ල පිළිස්සී දැවී ගියත් එහි අළුවත්, දැලිවත්, දූවිලි පොදක්වත් රන්දෙනේ ඉතිරි වෙලා නැහැ. මේ සිදුවීම ‘ගිතෙල් ටිකක් දැවී ගියා සේ’ යැ’යි දේශනාවේ සඳහන් වෙනවා. බුද්ධ අධිෂ්ඨානයන් මත සියල්ල රන් දෙනේ අතුරුදන්ව, සිවුරු දෙක අතරේ උතුම් ධාතූන් වහන්සේලා පමණක් වෙන් වෙන්ව වැඩ සිටිනවා. "

ලොවේ පහළ වන සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම පිරිනිවන් පා, ශී‍්‍ර දේහය ආදාහනය කිරීමෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා බිඳී විසිරී යනවා. මේ උතුම් ධාතූන් වහන්සේලා මිනිසුන්ට වන්දනා කිරීම පිණිස බොහෝ කාලයක් පවතින්නේ නැහැ. දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා සම්බුදු කෘත්‍ය අවසන් ව පිරිනිවන් පාද්දී ධාතූන් වහන්සේලා ඒකඝනව පිහිටවන්නට අධිෂ්ඨාන කරනවා. එනම්, ශ්‍රී දේහයේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා රන් තැටියක් සේ, රන් පැහැයට, එක කැටියක රන් දෙන තුළ පිහිටනවා. මේ නිසා දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා එකම චෛත්‍යයක තැන්පත් කරනවා.

හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පෑමෙන් පසුව සක්විති රජ කෙනෙක් ආදාහනය කරන සේ ශ්‍රී දේහය ආදාහනය කෙරෙනවා. මුලින්ම අලුත් සිවුරකින් ඔතලා, කපු පුළුන් පටලයක් එයට උඩින් ඔතා, නැවත අලුත් සිවුරක්, කපු පුළුන් පටලයක් ආදී ලෙස සිවුරු පන්සියයකින් , කපු පුළුන් පටල පන්සියයකින් ශ්‍රී දේහය ඔතා රනින් සකස් කළ දෙනක තැන්පත් කරනවා. මේ රන් දෙන, සඳුන් දර වලින් සකස් කළ චිතකය මත නංවා ගිනි දල්වනවා. ශ්‍රී දේහය ආදාහනය කරද්දී රන් දෙන පිළිස්සෙන්නේ නැතිව එහි ඇති සිදුරු අතුරින් ගිනි දැල් පැමිණ කපු පුළුන් පටලත්, සිවුරුත් පිළිස්සී යනවා. හැබැයි, පළවෙනියට ඔතන සිවුරත්, පන්සියවෙනියට ඔතන සිවුරත් පිළිසෙන්නේ නැහැ. මේවා බුද්ධ අධිෂ්ඨාන.

ශී‍්‍ර දේහය ආදාහනය වී ආසන්න වෙද්දී අවට ඇති සල්ගස්වල අතු චිතකය දෙසට නැමී , පොළොවෙන් උරාගත් ජල ධාරාවන් චිතකයට විහිදී යනවා, වැස්ස වළාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇද හැලෙන්න සලස්වා, චිතකයේ ගිනි දැල් නිවා දමනවා. අවසානයේ රන් දෙන පිටින් ම ඇතෙක් මත තැන්පත් කර, පෙරහරකින් නගරය වටාම ප්‍රදක්ෂිණා කර, ධාතූන් වහන්සේ බෙදා දීම පිණිස අසිරිමත් මණ්ඩපයක් මත රන් දෙන වඩම්වනවා.

මුලින්ම රන් දෙන විවර කරද්දී අසිරිමත් සිදුවීමක් ඇති වුණා.

ශ්‍රී දේහය ආදාහනය වෙද්දී, තවත් අසිරිමත් දේ රැසක් සිදු වෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගෝල නමක් වන සරභූ මහ රහතන් වහන්සේ තේජෝ කසිණයට සමවැදී ගිනි දැල් අතුරෙන් චිතකයට වැඩම කර, බුදුන් වහන්සේගේ ශි‍්‍රවා ධාතූන් වහන්සේ අතට ගෙන අහසින් ම පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ ලංකා භූමියට වැඩම කර, සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත් කර ඉදිකළ මහියංගණ චෛත්‍යයේ ධාතු ගර්භය තුළ ග්‍රී‍්‍රිවා ධාතූන් වහන්සේ තැන්පත් කළ බව ඉතිහාස තොරතුරුවල සඳහන් වෙනවා. එසේම සැරියුත් මහ රහතන් වහන්සේගේ තවත් ඍද්ධිි බල භික්ෂුවක් වන්නේ ඛේම මහ රහතන් වහන්සේ යි. උන් වහන්සේ ගිනි දැල් අතුරෙන් ම චිතකයට ඇතුළුව, බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ ඍද්ධියෙන් අතට ගෙන එදා කළිඟු රට රජකළ බ්‍රහ්මදත්ත රජතුමාට පැවරුවා. මෙලෙස පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන පැමිණි ඒ උතුම් වාම යටි දළදා වහන්සේ දන්ත කුමරු, හේමමාලා අත ආරක්ෂාව පිණිස ලංකාවට වැඩමවූවා. එය අපේ රටේ මුදුන් මල් කඩක් බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුදු පූජා ලබමින් වැඩ සිටීම ඉමහත් භාග්‍යයක් වෙනවා. මේ ධාතූන් වහන්සේලා දෙනම චිතකය ආදාහනය වෙද්දී ඍද්ධියෙන් මහ රහතන් වහන්සේලා විසින් එළියට වැඩමවූවා. අනෙක් සියලුම ධාතූන් වහන්සේලා රන්දෙනේ එලෙසම ඉතිරි වූවා. මේ ධාතූන් වහන්සේ බෙදා දෙද්දී බුදුන් වහන්සේගේ නළල් තලය( ලලාට ධාතූන් වහන්සේ) විශාලම ධාතූන් වහන්සේ, හිස් කබල ඉදිරිපස පිහිිටි අසිරිමත් ම ධාතූන් වහන්සේ ලැබුණේ මල්ල රජ දරුවන්ගේ ධාතූන් වහන්සේලාගේ කොටසින්. එදා උපවර්තන සාල වමෝද්‍යානයේ ධාතූන් වහන්සේලා බෙදන අවස්ථාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටියා. උන් වහන්සේ ඒ මොහොතේ මල්ල රජදරුවන් සහ ද්‍රෝණ බමුණා දැනුවත් කර, රජදරුවනි, බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලලාට ධාතූන් වහන්සේ ලංකා භූමියේ පිහිටන වගට මෙවන් විස්තරයක් කර තිබෙනවා යැ’යි ඉතිහාසයේ බුදුන් වහන්සේ සඟ පිරිස අතරේ දේශනා කළ කතාවක් වදාළා.

ලංකා භූමියේ මහවැලි ගඟ අසබඩ වරාහොඬ නමින් හඳුන්වන සේරු නම් නුවරක අනාගතයේ කාවන්තිස්ස නම් රජකෙනෙක් මහා සෑයක් කර, රන් බුද්ධ ප්‍රතිමාවක නළල් තලයේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර, බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනා පිණිස අනාගතයේ පිහිටන බවට ශී‍්‍ර මුඛයෙන් දේශනා කළ බව, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මල්ල රජදරුවන් ට දැනුම් දී ලලාට ධාතූන් වහන්සේ ඉල්ලා ගත්තා

මෙලෙස පරම්පරාවෙන් පරම්පරාවට ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරගෙන නියමිත කාලයේ දී ලංකා භූමියට ලැබෙන්න සැලැස්වූවා. මේ උතුම් ලලාට ධාතූන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගෙන , උන් වහන්සේගේ බොහොම ඍද්ධි බල සම්පන්න ගෝල ශිෂ්‍ය නමකට පවරා, එය ආරක්ෂා කරගෙන නියමිත කාලයේ ලංකාවට ලැබෙන්න සලස්වන්නැ’යි වදාළා. උන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන අහසින් ම වැඩම කර, විශාලා මහනුවර කූටාගාර ශාලාවේ පිහිටි බුදුන් වහන්සේගේ ගන්ධ කුටියේ තැන්පත් කර දෙව් මිනිසුන්ට වන්දනා මාන කරන්න සැලැසූවා.

උන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව තවත් ගෝල නමක්වන ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේ නමකට ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරන්න පැවරුවා. උන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන අහසින් ම වැඩම කර, සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ එනම්, එදා අනාථ පිණ්ඩික සිටුතුමා පූජා කළ වහළ හතකින් යුක්ත සත් මහල් සුගන්ධ කුටියේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර, ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ආරක්ෂා කළා. ඉන්පසුව උන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වන තවත් රහතන් වහන්සේ නමකට පවරා, බුදුන් වහන්සේ වැඩ සිටිය ඉසිපතන මිගදායේ මුලගන්ධ කුටි විහාරය තුළ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර , බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ඒ ස්වාමීන් වහන්සේ ද පිරිනිවන් පාන තෙක්ම රැක ගත්තා. උන් වහන්සේගෙන් පසුව තවත් ගෝල නමක් වූ ඍද්ධි බලමහ රහතන් වහන්සේනමකට ලලාට ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පැවරුවා . ඒ රහතන් වහන්සේ ලලාට ධාතූන් වහන්සේ රැගෙන කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩම කර, බුදුන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියේ තැන්පත් කර, පුද පූජාවන් පැවැත්වූවා. මෙලෙස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරා පහක් ලලාට ධාතූන් වහන්සේ ආරක්ෂා කරගෙන පැමිණ, ඝෝෂිතාරාමයේ සිට අහසින් නියමිත කාලය වෙද්දී ලංකා භූමියට වැඩම කරවූවා.

මේ උතුම් ලලාට ධාතූන් වහන්සේ ලංකා භූමියේ රජවරු ගණනාවක් යටතේ පුද පූජා ලබමින් ආරක්ෂිත ව අවසානයේ කාවන්තිස්ස රජතුමා එනම් මතු බුදු වන මෛත්‍රී බුදුන්වහන්සේගේ පියාණන්, සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ,මහ රහතන් වහන්සේලාගේ උපදෙසින් ඉදිකර, ජීවමාන බුදු රුවක් විලසින් නිර්මිත රන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරද්දී තවත් අසිරියක් සිදු වුණා. ලලාට ධාතූන් වහන්සේ අහසට පැන නැග, අහසේ පෙළහර පා රන් බුද්ධ ප්‍රතිමාවේ නළල් තළයේ පිහිටියා. මහ පොළොව කම්පිත ව දස දහසක් ලෝක ධාතු සිසාරා ආලෝක ධාරාවන් පැන නැඟුණු බව ධර්මයේ සඳහන් වෙනවා. එසේම ඍද්ධිබල සම්පන්න මහ රහතන් වහන්සේ නමක් නාග ලෝකයට වැඩම කර , එහි තිබූ කේශ ධාතූන් වහන්සේ නමක් වඩම්මවා විහාරමහා දේවියගේ දෝතින් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය මත තැන්පත් කළා. මෙවන් අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ සේරුවිල මංගල මහා සෑයේ තැන්පත් වුණා.

අද බොහෝ පිරිසක් වන්දනා මාන කරන මංගල සෑ රඳුන් උදෙසා සැප්තැම්බර් මාසයේ 29 වන සෙනසුරාදා සවස හතරේ සිට රාත්‍රී 11දක්වා අසිරිමත් පින්කමක් සංවිධානය කර තිබීම සුවිශේෂී වෙයි. දේව ආරාධනා, කප් රුක් පූජා, ධර්ම දේශනා, චෛත්‍ය වන්දනා, අධිෂ්ඨාන පහන් පූජා, බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කරන සත්‍ය ක්‍රියාවන් මෙන් ම, ආශිර්වාද පින්කමක් ද එදින පැවැත්වේ. එසේනම්, අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ වැඳ පුදා ගන්න සේරුවිල මංගල චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසට සුදෝ සදු වතින් සැරැසී, සුවඳැති මල් රැගෙන පැමිණෙන්නැ’යි අතුරුගිරිය සදහම් සෙනසුනේ අනුශාසක ගලිගමුවේ ඥානදීප හිමියන් පින්වත් ඔබට ආරාධනා කරයි.