Print this Article


බුදු දහම දර්ශනයක් ද? ආගමක් ද?

බුදු දහම දර්ශනයක් ද? ආගමක් ද?

බුදු දහම ආගම පිළිබඳ ඉතිහාසයට මෙන්ම දර්ශනය පිළිබඳ ඉතිහාසයට ද, අයත් වූවකි. බුද්ධාගම යනුවෙන්ද බෞද්ධ දර්ශනය යනුවෙන්ද බුදුදහම අර්ථවත් වී ඇත්තේ මේ නිසා ය. එසේනම් බුදුදහම දර්ශනයක් ද? ආගමක් ද? යනුවෙන් ප්‍රශ්න මතුවී තිබෙන්නේ කුමක් නිසා ද? මෙම ගැටලුවලට පිළිතුරු සෙවීමට නම් බුදුදහමේ ස්වරූපය යළි විමසා බැලිය යුතු ය.

දර්ශන ක්‍රියාවලියෙහි යෙදෙන පුද්ගලයා හෙවත් දාර්ශනිකයා චින්තකයන්ගෙන් වෙනස් වන්නේ කෙසේ ද? නිදර්ශනයක් වශයෙන් ගතහොත් දර්ශනයට මෙන්ම විද්‍යාවට ද, චින්තනය ඇතුළත් වේ. නමුත් චින්තන ක්‍රියාවලියෙහි දී දාර්ශනිකයා හා විද්‍යාඥයා සමාන නොවේ. විද්‍යාඥයා විධිමත් ලෙස දැනුමෙන් නව මූලධර්ම අනාවරණය කරයි. අවශ්‍ය තැනක සම්ප්‍රදායගත දැනුම එක්කොට සංශෝධනය කරයි. නැතහොත් බැහැර කරයි. නමුත් දාර්ශනිකයාගේ කාර්යය මීට හාත්පසින් ම වෙනස් ය. අලුතෙන් කරුණු සෙවීමට දාර්ශනිකයා උත්සාහ නොකරයි. සම්ප්‍රදායගත දැනුම මෙන් ම, අභිනව දැනුම ද විචාරයට ලක් කිරීම දාර්ශනිකයාගේ කාර්ය යි. දර්ශනය අනෙකුත් විද්‍යාත්මක චින්තාවන්ගෙන් වෙනස් වන්නේ එය අනුගමනය කරන ක්‍රම අනුව ය.

අනුභූතිය යනු කුමක්ද? දැනුම යනු කුමක් ද? අර්ථය හා සත්‍ය යනු කවරේ ද? හොඳ නරක යනු කවරේ ද? ඒවා විනිශ්චය කරනු ලබන ප්‍රමාණ කවරේ ද? පුරුෂාර්ථ කවරේ ද? විද්‍යාත්මක ක්‍රමයේ ස්වරූපය හා වටිනාකම් මොනවා ද? යනාදී දෛනික ජීවිතයේ දී පුද්ගලයාට අදාළ නොවන කිසි දිනෙක කවර හෝ අයුරකින් නිශ්චිත පිළිතුරු අපේක්ෂා කළ නොහැකි යැයි හැඟෙන ප්‍රශ්න පිළිබඳව විචාරාක්ෂිය යෙදීම දර්ශනයේ විශිෂ්ට කාර්ය සේ දැක්විය හැකි ය. දර්ශන විෂයයෙහි දී අනුගමනය කළ යුතු නායකයෙකු නොමැත. ගුරුත්වයෙහි හෝ දේවත්වයෙහි ලා සැලකිය යුතු කිසිවක් නැත. කිසිදු පූර්වාදර්ශයකට හෝ සම්ප්‍රදායකට අනුකූලතාවයක් දැක්විය යුතු යැයි නිගමනයක් නොමැත. ආරාධනයෙන් හෝ තර්ජනයෙන් තොරව අභීතව නොපැකිලිව විචාර කෘත්‍යයේ යෙදීම දරිශනයේ කැපී පෙනෙන ස්වරූපය යි.

දර්ශනය විචාර පූර්ව ආකල්ප මුල්කොට ගෙන පවත්නා නිසා දාර්ශනිකයන් අතර පොදු සම්මුතියක් දක්නට නොලැබේ. මේ නිසා ඇතිවන විවිධත්වය දාර්ශනික දැනුම වඩාත් පුළුල් කර ගැනීමට හේතු වේ. නැවතීමක් අපේක්ෂා නොකරන දාර්ශනිකයන් අතර අන්‍යෝන්‍ය හෙළා දැකීමක් නොමැත. මක්නිසාද යත්, විවෘත සිත් ඇත්තෝ අනුන් හෙළා නොදකිති. දාර්ශනිකයන් අතර පවත්නා සහනශීලී ස්වභාවය වෙනත් අංශයන් අතර දක්නට නොමැති තරම් ය. දර්ශනයේ මුඛ්‍ය අරමුණ වන්නේ සිතේ බැඳී ඇති මළකඩ කඩා දැමීම ය.

පුද්ගලයාගේ සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන ක්‍රියා ගැන අවධානය යොමු කරන ආගම ජීවය ලබන්නේ පුද්ගලයා තුළ හටගන්නා ශ්‍රද්ධාව හා භක්තිය නිසා ය. ජීවිතය හා මරණය පිළිබඳව පුද්ගලයාගේ සිතෙහි හටගන්නා සිතිවිලිවලටත් එයට හේතුවන අවිද්‍යාව හෙවත් මුලාව ආශ්‍රය කොට ක්‍රියාත්මක වන ආගම එම සිතිවිල්ලට නව අපේක්ෂාවක් එක් කරයි. පුද්ගලයෙකු මරණයට බිය වන්නේ අතීත අත්දැකීම් නිසා නොව මම ය, මගේ ය යන සියලු බැඳීම් මරණින් මතු තමාට අහිමි වන නිසා ය. මෙසේ සිතන පුද්ගලයාට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් සුවයක් අවශ්‍ය වෙයි. එම අවශ්‍යතාවන් මුදුන්පත් කරලීමට ආගම ඉදිරිපත් වේ. මරණින් මතු සුර ලොවක් හෝ අජරාමර තත්ත්වය ලබාගැනීමට පුද්ගලයා මෙහෙය වන්නේ ආගම මගිනි. පුද්ගල ක්‍රියාවන් පින්පව් හෝ ආනිශංස, ආදීනව වශයෙන් පෙන්වාදෙන ආගම පුද්ගල ක්‍රියා කලාපයට විශාල බලපෑමක් එල්ල කරයි.

එසේම අනුගාමික පිරිස හා විශ්වාසයට අධිපති බලය අතර පවත්නා සම්බන්ධතා මෙහෙය වීමට ද, අන්‍යෝන්‍ය යුතුකම් හැසිරවීමට ද ආගම මඟින් අතරමැදි පිරිසක් නිර්මාණය කොට ඇත. එනම් පූජක සමාජය යි. මොවුන් වරප්‍රසාද ලත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි ය. විශේෂ පූජ්‍ය ස්ථාන ආදිය ද ගොඩනඟා ඇත්තේ මෙම පූජක පක්ෂය හරහා ය. ගේ දොර තුළ ද, අනුගාමිකයාගේ සිරුරෙහි ද, තැන්පත් කළ හැකි, ප්‍රදර්ශනය කළ හැකි, පැළඳිය හැකි පූජ්‍ය භාණ්ඩ, ප්‍රතිමා, රූපක ආදී සලකුණු ද සාමූහික වශයෙන් වන්දනා මාන පූජා පැවැත්විය හැකි පහසුකම් ද ආගම මඟින් සමාජයට ඉදිරිපත් කරයි.

ඉතිරි කොටස බිනර අවඅටවක ඔක්තෝබර් 02 පත්‍රයේ පළවේ.