Print this Article


තෙවළා බුදු වදන් අතරින් - 06 : දුසිරිතෙන් වැළකිය යුත්තේ ඇයි ?

තෙවළා බුදු වදන් අතරින් - 06

දුසිරිතෙන් වැළකිය යුත්තේ ඇයි ?

පරලොව අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවේ. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් ගොඩනඟාගත් අනුමානයක් තිබේ. එහෙත් දුශ්චරිත ක්‍රියාවල නිරත පුද්ගලයාට මෙලොව දී විඳීමට සිදුවන දුක්ඛදායක තත්ත්වය ගැන කවරෙකුට වුව අවබෝධයක් තිබේ

අංගුත්තර නිකායේ දුක නිපාතයේ අධිකරණ වග්ගයේ එන අටවන සූත්‍රය ආනන්ද හිමියන් අමතා දේශනා කරන ලද්දකි.

මෙම සූත්‍රය ත්‍රිවිධ දුශ්චරිතයෙන් වැළකිය යුත්තේ කවර හේතුවක් නිසාද යන්න පැහැදිලි කරයි. බුදුරජාණන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි එක් දිනක ආනන්ද තෙරුන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක. ආනන්දය, මා විසින් කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනෝ දුශ්චරිතය ඒකාන්තයෙන් ම නොකටයුතු යැයි ප්‍රකාශ කරන ලද්දේ එම දුශ්චරිත කිරීම හේතුවෙන් පුද්ගලයා තමාට ම දොස් පවරාගනී (අත්තාපි අත්තානං උපවදති). නුවණැතියන්ගේ ගැරහුමට ලක්වෙයි (අනුවිච්ච විඤ්ඤූගරහන්ති). අපකීර්තිය බෙහෙවින් පැතිරෙයි (පාපකො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති). සිහි මුළාව මරණයට පත්වෙයි (සම්මූළ්හො කාලං කරොති). මරණින් මතු දුගතියේ උපදියි ( අපායං දුග්ගති විනිපාතං නිරයං උප්පජ්ජති).

ආනන්දය, මා විසින් කාය සුචරිතය වාග් සුචරිතය මනෝ සුචරිතය ඒකාන්තයෙන් කළයුතු යැයි ප්‍රකාශ කරන ලද්දේ එම සුචරිත කිරීම හේතුවෙන් තමා තමා ට දොස් නොපවරාගනී. නැණවතුන්ගේ පැසසුමට ලක්වෙයි. කීර්තිය හා යසස පැතිරෙයි. සිහිමුලා නොවී මරණයට පත්වෙයි. මරණින් පසුව සුගතියේ උපදියි. මෙම බුද්ධ වචනය අනුව ත්‍රිවිධ දුශ්චරිතයෙන් වැළකිය යුතු බවත්, ඒ වෙනුවට ත්‍රිවිධ සුචරිතය වර්ධනය කළ යුතු බවත් බුදුරදුන් විසින් ඒකාන්ත වශයෙන් දේශනාකරනු ලැබ තිබේ. ආනන්ද තෙරුන් අමතා කළ මෙම දේශනයෙන් තවදුරටත් දුශ්චරිතයෙන් වැළකිය යුත්තේ කවර හේතු නිසාද? යන්න පැහැදිලි කරයි. ත්‍රිවිධ දුශ්චරිත යනු කයින් වචනයෙන් හා මනසින් සිදුකෙරෙන අකුසල ක්‍රියා ය. දස අකුසල් යනුවෙන් හැඳීන්වෙන්නේ එම දුශ්චරිත ක්‍රියා ය.

මෙම ක්‍රියා නොකළ යුත්තේ එයින් ඇති කෙරෙන අයහපත් දුක්ඛදායක ආදීනව නිසයි. මෙහි දී බුදුරජාණන් වහන්සේ ආදීනව පහක් ගෙනහැර දක්වති. ඒ අනුව පළමු ආදිනවය නම් තම හෘදය සාක්ෂ්‍ය අනුව ඇතිවන පසුතැවීමයි. තමා විසින් කරන ලද විවිධ පාප කර්ම හා අකුශල කර්ම හේතුවෙන් සිත් තැවුල්, දුක් දොම්නස් විඳීමට සිදුවෙයි. මෙසේ තමා කළ ක්‍රියාව පිළිබඳ දොම්නසට, දුකට හා වේදනාවට පත්වීම නිසා පුද්ගලයා අභ්‍යන්තර වශයෙන් දුර්වල අයෙකු බවට පත් වෙයි.

මානසිකව නොසන්සුන් අයෙකු බවට පත් වෙයි. තමා කළ වරද පිළිබඳ තමාටම දොස් පවරා ගනී. මේ අනුව පළමු ආදීනවය මනෝවිද්‍යාත්මක මෙන්ම හෘදය සාක්ෂ්‍ය පිළිබඳ ගැටලුවකි. දෙවැන්නෙන් හා තුන්වැන්නෙන් සමාජමය බලපෑම ප්‍රකට වේ. තිදොරින් අයහපත් චර්යාවල නිරතවන තැනැත්තා කිසිසේත් ම සමාජ සම්භාවනාවට හෝ ප්‍රශංසාවට භාජනය නොවේ. ඔහු අනවරතයෙන් ම නැණවතුන්ගේ හා උගතුන්ගේ ගැරහුමට ලක්වෙයි.

ඔහු පිළිබඳ අපකීර්තිය පැතිරීම ස්වභාවික ය. තම ධනය හෝ බලය උපයෝගී කර ගෙන තමා චරිතවත් අයෙකැයි පෙන්වීමට උත්සාහ ගත්ත ද ජනහදවත්වල ඔහුට අවංක පිළිගැනීමක් ඇති නොවේ. ආත්ම ගෞරවය හා කීර්තියට හානි වූ විට නැවත එය යථා තත්ත්වයට පත්කළ නොහැකි ය. වරදින් නිදහස් වී නිවැරැදි අයෙක් බවට පත් වුවද අතීත වැරැදි පිළිබඳ මහජන මතය පහසුවෙන් වෙනස් කළ නොහැකි ය. දුශ්චරිත ක්‍රියාවල නිරත පුද්ගලයෙකුට සුන්දර මරණයක් අපේක්ෂා කළ නොහැකි ය.

තමා කළ වැරැදි ක්‍රියා පිළිබඳ කවර හෝ දිනෙක පසුතැවීමට සිදුවනු නො අනුමාන ය. එවැනි පුද්ගලයෙකු අවසන් මොහොතෙහි සිහි මුළාවට පත්වනු ඇත. පාපය හා අකුශල ක්‍රියා සිදුකරන මොහොතෙහි යම් සුවයක් දැනුන ද එහි විපාක ඉතා කටුකයදුක්ඛදායක ය. එබැවින් ත්‍රිවිධ දුශ්චරිත ක්‍රියා අනුගමනය කළ තැනැත්තා මරණයට පත්වීමේ දී බෙහෙවින් මුළාවට පත්වනු ඇත. මේ දුශ්චරිත ක්‍රියාවල තවත් ආදීනවයකි. මුල් ආදීනව හතර ම මෙලොව ජීවිතය හා සම්බන්ධ වේ.

අවසන් ආදීනවයෙන් මරණින් පසු මුහුණ දීමට සිදුවන දුක්ඛදායක තත්ත්වය විස්තර වෙයි. සියල්ල සලකා බැලු විට දුශ්චරිත ක්‍රියාවල වැඩි බලපෑමක් වර්තමාන ජිවිතය හා සම්බන්ධ වී තිබෙන ආකාරය පැහැදිලි ය. මරණින් පසුව මුහුණ දීමට සිදුවන දුක්ඛදායක තත්ත්වයට වඩා වැඩි දුකක් වේදනාවක් මෙලොවදී විඳීමට සිදුවෙයි. පරලොව නොපිළිගන්නා කෙනෙකුට වුව මෙලොව දී විඳීමට සිදුවන දුක්ඛදායක අත්දැකීම් අනුව දුශ්චරිත ක්‍රියාවලින් වැළකීමට අවශ්‍ය පෙළඹවීම ඇතිකරගත හැකි ය.

පරලොව අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවේ. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් ගොඩනඟාගත් අනුමානයක් තිබේ. එහෙත් දුශ්චරිත ක්‍රියාවල නිරත පුද්ගලයාට මෙලොවදී විඳීමට සිදුවන දුක්ඛදායක තත්ත්වය ගැන කවරෙකුට වුව අවබෝධයක් තිබේ. දුශ්චරිත ක්‍රියාවල නිරත පුද්ගලයන්ට ලැබෙන විවිධ දඬුවම් හා සමාජ ගැරහීම් මෙන් ම, මානසික වශයෙන් ඔවුන් වියවුලට පත්වන ආකාරය පහසුවෙන් ම දැකිය හැකි ය. ඒ ගැන විවාදයක් නැත.

මේ අනුව බුදුරජාණන් වහන්සේ දුශ්චරිත ක්‍රියා නිසා පරලොවදී විඳීමට සිදුවන ආදීනවවලට වඩා වැඩි අවධානයක් මෙලොව දී විඳීමට සිදුවන ආදීනව ගැන යොමුකර තිබේ. එවැනි ආදීනව හතරක් දක්වා තිබීමෙන් එය සනාථ වේ. දුශ්චරිත ක්‍රියාවලට ලැබෙන ආදීනව පමණක් නොව එම ක්‍රියාවලින් වැළකී අනුගමනය කළ යුතු සුචරිත ක්‍රියාවල ආනිසංස ද මැනවින් පැහැදිලි කර තිබේ. එහෙත් පරලොව දී ලැබෙන ආනිසංසවලට වඩා මෙලොව දී ලැබෙන ආනිසංස ගැන විශේෂ අවධානයක් යොමුකර තිබේ. සුචරිත ක්‍රියාවල නිරත පුද්ගලයාට හෘදය සාක්ෂ්‍ය පිළිබඳ ගැටලුවක් නැත. තමා කළ යහපත් ක්‍රියාව පිළිබඳ සතුටක්, සොම්නසක් මිස දොම්නසක් නොමැත. එබැවින් ඔහු මනසින් නිරවුල් ය. එවැනි තැනැත්තා නිතැතින් ම සමාජ සම්භාවනාවට, සමාජ සම්මානයට පාත්‍ර වෙයි. ඔහුගේ කීර්තිය හා යසස දසත පැතිරෙයි. තිදොරින් වැරැදි නොකළ අයෙකුට පහසුවෙන් මරණයට මහුණ දිය හැකි ය. පසුතැවීමක් නැති නිසා සිහිය හා නුවණ අඛණ්ඩව පවතියි. එවැන්නෙකුගේ පරලොව නිසැකවම යහපත්වෙනු ඇත. මරණයට පෙර තමා කළ යහපත පිළිබඳ අපමණ සතුටක් භුක්තිවිඳින ඔහු බියෙන් හා සැකයෙන් තොර සාමකාමී දිවියක් අත් විඳිනු ඇත. ඉහතින් දැක් වූ බුද්ධ වචනය අනුව පරලොව ඇතත් නැතත් මෙලොව දී ලැබෙන දුක්ඛදායක වේදනා ගැන සැලකිලිමත්ව දුශ්චරිත ක්‍රියා බැහැර කොට ත්‍රිවිධ සුචරිතයෙහි යෙදීම වැදගත් ය.