Print this Article


ජීවන ගමනට මග වියදම්

ජීවන ගමනට මග වියදම්

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

උපනීයති ජිවිතමප්පමායු
ජරූපනීතස්ස නාසන්ති තාණා
ඒතං භයං මරණේ පෙක්ඛාමනෝ
පුඤ්ඤාති කයිරාථ සුඛාවහානි

යෝධ කායේන සඤ්ඤමෝ
වාවාය උදචේතසා
කං තස්ස පේතස්ස සුඛායභෝති
යංජීවමානෝප කරෝති පුඤ්ඤංති

පින්වත්නි,

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන කල වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

කුඩා කල පටන් සැපසේ ජීවිත ගත කළ මෙම බමුණන් දෙදෙනා ම පස්කම් සැප විඳිමින් පිනක් දහමක් නොකර සිට තමන්ගේ ගෙදර දොර ඉඩකඩම් දූ දරුවන්ට පැවරූහ. ජීවිතය අවසානයේ දූ දරුවන් ඇප උපස්ථාන කරාවි යන කල්පනාවෙන් එසේ පැවරූ නමුත් වයස් ගතව ඉතා ම දුබලව ජරාවට පත් වූ පසු දූ දරුවන් විසින් තම තමන්ගේ නිවෙස්වලින් පිටමං කරනු ලැබී ය. මහමඟට වන් බමුණන් දෙදෙනාට කිසිම පිහිටක් නොමැතිව අතරමං වන්නට සිදුවිය. මෙසේ අතරමං වූ මෙම මහලු බමුණෝ වෙව්ලන ගතින්, සැලෙන සිතින් තැවී හවුහරණක් සොයා බුදුරදුන් සමීපයට ගොස් සියලු තොරතුරු දන්වා පිහිටක් ඉල්ලූහ. එම අවස්ථාවේ අප බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාට මතු ජීවිතයේ සුව සඳහා මෙම උපදේශනාත්මක ධර්මය දේශනා කළහ.

මෙම ගාථා යුගලයේ ප්‍රධාන කරුණු පහක් දක්වා ඇත.ජීවිතය අනියත වීම, ජීවිතයක ආයුෂ කෙටිවීම, ජරාවට පත්වූ පසු අසරණවීම, මරණයට පත්වීම හා මේ කරුණු සලකා සැප ඇති කරන පින් කිරීම ය.මෙම විශ්වය තුළ උපදින සෑම සත්ත්වයාගේ ම ජීවාත්මක ශක්තිය ක්‍රම ක්‍රමයෙන් හානියට පත්වීම ජීව විද්‍යාත්මක සිද්ධාන්තයකි. ජීව අජීව සෑම දේකම ස්වභාවය ඇති වූ මොහොතේ පටන් නොනවත්වා ම විනාශයට යාමයි. පරමානුවේ පටන් සෑම ද්‍රව්‍යයක් ම ඇතිවීම, නැතිවීම ස්වභාවික පැවැත්මක් වශයෙන් ප්‍රකාශ වන්නේ එය ඉතා ඉක්මණින් සිදුවීම නිසා ය.

සත්ත්වයාගේ අති දීර්ඝ සංසාර පැවැත්මට අදාළව පරමාණුවලින් ඇතිවන රූපස්ඛන්ධයත්, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ සංඛ්‍යාත නාමස්ඛන්ධයත් නිසා උපත, පැවැත්ම විපත යන ප්‍රධාන අවස්ථා සිද්ධ වේ. ජීව, අජීව සෑම තැනම, සෑමදේම එමෙන් ම සෑම සත්ත්වයා ම ඇති වූ ක්ෂණයේ පටන් විනාශයට පත්වීමේ ප්‍රවණතාවයට යටත්වන අතර ටික කලක් හෝ පවතින බැවින් වෙනස්වීමේ ලක්ෂණ වරින්වර ප්‍රකට වේ. ජීවීන්ගේ වයසට යෑම හා ද්‍රව්‍යයන්ගේ දිරායාම අනිත්‍ය ස්වභාවයේ ප්‍රධාන ලක්ෂණය යි. මෙසේ ක්‍රමයෙන් පරිණාමයට පත්වීමත්, ක්ෂණික වෙනස්වීමත් විද්‍යමාන වූ ජීවිතය ඉතා කෙටි කාලයකි. එක් භවයක විනාශයක් සිදු වේ.

ද්‍රව්‍ය ලෝකයට වඩා ද්‍රව්‍ය හා ජීව මිශ්‍රව සත්ත්ව ලෝකයේ ආයුෂ ඉතා අල්පවීමට හේතුව කර්මානුරූපව සත්ත්වයන්ගේ ඇතිවීම හා පැවැත්මත් එමෙන් ම විනාශයත් සිදුවීමයි. මොහොතක් පාසා ක්ෂණික මරණයත්, නාමරූප බිඳීමෙන් එක් භවයක විනාශයත් සිදුවන්නේ කර්මානුරූපව හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වීම නිසා ය.

විශ්වයේ පැවැත්ම හා සත්ත්ව ලෝකයේ ජීවනය සැසඳීමේ දී සත්ත්වයාගේ ජීවන පැවැත්මේ කාලය ඉතා ම අල්ප වන්නේ ය.

ජීවිත අවසාන කාලයේ කායික මානසික දුබලතාවයට ද පත්වේ. මේ නයින් ඉතා ඉක්මනින් ජීවිතයෙන් දුරස්වන කාලය යළි ලබා ගැනීමේ හැකියාවක් උපක්‍රමයක් නැති නිසා ම සත්ත්වයාට ජීවත්වීමේ කාලය ඉතාමත් කෙටි බව දිවා රාත්‍රී මෙනෙහි කරන්නේ නම් ‘අප්පමාදෝ අමතපදං’ යන බුද්ධ වචනයට අනුව ක්‍රියාකොට සසර දුකින් මිදී නිවනින් සැනසීමට පුළුවන.

පින්වත්නි,

මෙම ගාථාවෙන් දක්වා ඇති තුන්වන කාරණය නම් ජරාවට පත්වූ විට පිළිසරණක් නැතිවීමයි. ජරාව යනු දිරායාමයි. ශරීරයේ ඇති සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු ආදී අංගෝපාංගවල පැවැත්මේ ශක්තිය හීනවීමයි. ජරාවේ ලක්ෂණ සච්ච විභංග සූත්‍රයෙහි දක්වා ඇත. දිරීම, කැඩීම, පැලීම, රැළිවැටීම ආයුෂ හානිය, මේවා ජරාවේ ලක්ෂණ යි.

ශාරීරික වශයෙන් දුබලවන විට මනසින් ශරීරය පාලනය කිරීමට නොහැකි වන්නේ ම ය. ශරීරයෙහි වෑහෙන ජරාව පවිත්‍රකර ගැනීමට අපහසු ය. තම ශරීරය තමාට ම අප්‍රියවන විට ආශ්‍රිත ඤාති හිතමිත්‍රාදීන් ද පිටුපෑම ස්වභාවික වේ. සත්ත්වයෙකු ජීවත්වන්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර යන හේතුඵල බලයෙනි. සත්ත්වයාගේ මූලාරම්භය සොයා ගැනීමට කිසිම කෙනෙකුට නොහැකිවන අතර පවත්නා ස්වරූපය අනුව අවිද්‍යාදී හේතුවන ඵල සමුදායක් වශයෙන් ඉපදෙමින් මැරෙමින් යළි යළිත් එසේ ම සිදුවෙමින් අති දීර්ඝ වූ මෙ සසර ගමන් කරන්නේ ඒ සත්ත්වයා විසින් ම සිතන, කියන, කරන කර්ම හේතුවෙනි. මේ නිසා සත්ත්ව ජීවිතය කර්මය මත පවත්නා සේ ම, චිත්ත ශක්තිය, ඍතු ගුණය, ආහාරපානාදිය ද ඊට උපකාරී වේ. ‘ආහාර තීති ආහාරං’ යන නිර්වචනයට අනුව පිටතින් යමක් ශරීරගතව රැස්වන්නේ ද එය ආහාරයයි. කබලිංකාරාහාරය ඵස්සාහාරය, විඤ්ඤාණහාරය, මනෝසංචේතනාහාරය වශයෙන් ආහාර ශරීරයට මෙන් ම, මනසට ද චතුර්විධ වේ. කෑලි වශයෙන් සත්ත්වයන් ගන්නා ආහාර නිසා පඨවි, අපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, යන ඔජට්ඨමක රූප කලාප වශයෙන් සිය දහස් ගණන් ඇතිවී ශරීරය පෝෂණය වේ. නාමරූපවලට හේතු වන්නේ ද ආහාරයයි. පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා ස්පර්ශය වේදනාවට ආහාර වේ.

ආහාරයක් ගැනීමේ දී සිහිබුද්ධියෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව අප බුදුරදුන් විසින් භික්ෂූන්ට නියම කර ඇත්තේ ආහාර ය කාමච්ඡන්දාදී නීවරණයන්ට හේතුවන බැවිනි. ආහාර නිසා ඉන්ද්‍රිය ආශ්වාදයට හුරුවීමෙන් පුෂ්ටිමත් ශරීරය මදය පිණිස, අලංකාරය පිණිස හේතුවන බැවින් ආහාරය ගන්නා මොහොතක් පාසා මේ ආහාරය ශරීරයේ පැවැත්ම සඳහා මිස මදය පිණිස නොවන බව මෙනෙහි කළ යුතුම වේ. එවිට ආහාරය නිසා අජීර්ණාදී රෝග පීඩාවන් නොවන අතර කාමච්ඡන්දාදී නීවරණයන්ට ද අවකාශ නොවේ.

කර්මාදී උපකාරක ධර්මයන් නිසා සත්ත්වයා ජීවත්වන අතර ඒවා නැති වන විිට ජීවන ශක්තිය ද හීන වී ජීවිතය එක් භවයක අභාවයක් සිදුවේ. නාම රූප චිත්තක්ෂණයක් පාසා විනාශවෙයි. උප්පාද භංග දෙක අතර පරතරය ඉතා ඉක්මණින් සිදුවන බැවින් එය සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවේ. ක්ෂණයක් පාසා නාම රූප විනාශ වෙයි. කර්ම ශක්තියෙන් සත්ත්වයෙක් එක් භවයක ජීවත් වී කර්මක්ෂය වීමෙන් ද ඒ භවයෙන් මරණයට පත්වේ.

නාමරූප වෙන් වී නාමය හෙවත් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වෙනත් භවයකට හේතු කාරක වශයෙන් සම්බන්ධ වේ. කල්ප ගණන් භවයෙන් භවයට ගමන් කිරීම සංසාරය වශයෙන් දැක්වෙන අතර එය මහා දුකක් බැවින් සැපගෙන දෙන පින්දහම් කරන්නේ නම්, එහි දුක අඩු කොට සැපසේ ජීවත් වන්නට වාසනාව ලැබේ.දාන ශීලාදි දසවිධ පුණ්‍ය ක්‍රියා මෙලොව සතුටින් ජීවත් වීමට පමණක් නොව භවාන්තරයේ දී දේව මනුෂ්‍ය ආදී සැප විඳින්නට ද හේතු වාසනා වේ. සසර සැප විඳින්නට හේතු වාසනා වේ. එහෙත් පින්දහම් කරමින් සසර සැප විඳීම පරමාර්ථය නොවන බැවින් අවිද්‍යාදී හේතූන් මූලෝචිජින්න කිරීමෙන් පරම ශාන්ත උතුම් නිවන් සම්පත් ලබා ගැනීමට ප්‍රාර්ථනා කර ගන්න.