Print this Article


පූජාච පූජනියනං

වල්ගම රතනසිරි නා හිමි

“විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර” යන ගරු නාමය සහිත කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන වල්ගම රතනසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික රයිගම් කෝරලයේ වල්ගම පදිංචිව සිටි පනාගොඩගේ ඇල්බට් පෙරේරා හා අමරසිංහ ආරච්චිගේ නිමලාවතී යන සැදැහැවත් දම්පතීන්ගේ දරුවන් හය දෙනාගෙන් ළාබාලයා ලෙස 1965 පෙබරවාරි 17 දින මෙලොව එළිය දුටු පින්වත් කුමරු පියසිරි පෙරේරා යන නමින් හැඳින්විය.

1971 දී මැදගම කණිෂ්ඨ විද්‍යාලයෙන් ද ඉන්පසුව කිඳෙල්පිටිය ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයට ඇතුළත්ව සිප්සතර හැදෑරූ උන්වහන්සේ වල්ගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථ සිරි සැදැහැතිස් දහම් පාසලින් අධ්‍යාපනය ලැබී ය.

‘සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මාකන්දන පඤ්ඤාසාරභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ‘භාරයට පත් කරන ලදී. 1978 පෙබරවාරි 20 වැනි දින ‘වල්ගම රතනසිරි’ නමින් ප්‍රව්‍රජ්‍යා භාවයට පත්වූහ. කිඳෙල්පිටිය ශ්‍රී සීලක්ඛන්ධ පිරිවෙනේ දී මූලික අධ්‍යාපනය ලැබීම පැවිදි ජීවිතය ආලෝකමත් වීමට හේතු විය. අනතුරුව ද්විතීක අධ්‍යාපනය සඳහා ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතනයට ඇතුළත් විය.1985 ඔක්තෝබර් 01 දින කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගැනීමට භාග්‍යවන්ත විය.

1985 ජූනි මස 29 වැනි දින ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

කැස්බෑව ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථ නන්දන පිරිවෙනට ආචාර්යවරයෙකු ලෙස 1990 ජනවාරි 15 වන දින බැඳී වසර 03 ක පමණ කාලයක් සේවය කොට අනතුරුව තමන් අධ්‍යාපනය ලත් ගුරු භූමියක් වන ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට 1993 පෙබරවාරි 01 දින ස්ථාන මාරුවක් ලබාගෙන සේවයට ඇතුළත්ව දැනට වසර විසි හයක් (26) පුරා මේවන තෙක් සිසුන් පි‍්‍රය කරන ආචාර්යවරයකු වශයෙන් හා පරිවේණාධිපතීන් වහන්සේ නමක් වශයෙන් සිය දහස් ගණන් සිසුනට අමිල වූ අධ්‍යාපනය ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් සිදුකරමින් කෝට්ටේ ශි‍්‍ර කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය වරයාණන් වහන්සේ නමක් ලෙස උපසම්පදා විනය කර්මයට සහභාගී වූහ.

සිල්වත් ගුණෙන් යුතු මහ තෙරුන් වහන්සේ නමක් වූ තම ගුරු දේවෝත්තම සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මාකන්දන පඤ්ඤාසාර මාහිමියන් වහන්සේ 2012 ජනවාරි 08 දින අපවත්වීමෙන් පසු චතුර්විහාරයන්හි ආධිපත්‍යයට වල්ගම රතනසිරි හිමියෝ පත්වූහ.

විහාරාධිපති පදවියට පත්වීමට පෙර හා පසුව මාකන්දන ‘සුදර්ශනාලංකාර විහාරය, මකුළුදූව ශ්‍රී සුදර්මාලංකාර විහාරය, කිරිගම්පමුණුව සුධර්මරත්න රාජමහා විහාරය, ඔසු උයන විවේක ආරණ්‍ය සේනාසනය යන විහාරයන්හි සිදුකළ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය ඉමහත් ය.

උන්වහන්සේගේ ආගමික ශාසනික අධ්‍යාපනික සේවාවන් පිළිබඳව සතුටට පත් වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව ‘විනය කිර්ති ශ්‍රී ප්‍රඥාසාර’ ගෞරව නාමය සහිතව කොළඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ගැන ප්‍රසාදය පිරිනමමු. වල්ගම රතනසිරි අභිධාන කොළඹ දිසාවේ අභිනව සංඝ නායක හිමිපාණන් වහන්සේ ට දීර්ඝ කාලයක් ලෝක ශාසනික කටයුතුවල යෙදෙමින් කටයුතු කිරීමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව හා චිර ජීවනය ලැබේවා.


තල්ගස්යායේ ශ්‍රී ජිනරතන මා හිමි

මාවනැල්ල, රන්දිලිගම ශ්‍රී ස්වර්ණගිරි විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය, විචිත්‍රභාණක, කිවිපති තල්ගස්යායේ ශ්‍රී ජිනරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උදාර දිවියේ අසූවන වියට පා තැබූහ.

දක්ෂිණ ලංකාවේ ගාලු දිසාවේ අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්ගස්යාව ග්‍රාමයේ දී එච්.බී.සී. අමරසිංහ පිස්කල් රාළහාමි හා මිසිනෝනා ජයකොඩි මහ හාමිනේට දාව 1938 සැප්තැම්බර් මස 13 වන දින උපත ලද පින්වත් කුමරු සුදුසු කල අධ්‍යාපනය සඳහා මැදකීඹිය පිරිමි පාසලට (ගා/ ගාමිණි මහා විද්‍යාලය) ඇතුළත් කරන ලදී. සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස උපත ලද පින්වත් කුමරු පුරාකෘත පුණ්‍ය මහිමය නිසා ම තල්ගස්යාය ශ්‍රී අශ්වත්ථාරාමය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙන 1951 ජූනි මස 30 වන දින තත් විහාරාධිපති බලගොඩ ශ්‍රී උපරතන මාහිමි, බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන් විහාරාධිපති, තල්පේපත්තුව ඇතුළු ගාලු කඩවත් සතරේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මාළිගස්පේ ශ්‍රී සරණතිස්ස නා හිමි, ඉහළ කීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරාධිපති නෙළුවේ ශ්‍රී විපුලතිස්ස මාහිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් තල්ගස්යායේ ජිනරතන නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

බෝපේ ශ්‍රී පියරතන පිරිවෙන, ගම්පොළ බුවනෙකබා පිරිවෙන යන විද්‍යාස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය ලබා ගත් මාහිමියෝ උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් 1958 ජූලි මස 12 වන දින ඉහත කී ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ගත්හ.

1978 දී රන්දිලිගම ශ්‍රී ස්වර්ණගිරි විහාරයට වැඩම වන ජිනරතන මාහිමියෝ තත් විහාරස්ථානය මුල් කරගෙන ශාසනික කටයුතු ආරම්භ කළහ. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේ වැඩ විසූ ඓතිහාසික පුරාණ තොටගමු රන්පත් රාජමහා විහාරස්ථානය මුල්කරගෙන ඇරඹි ස්‍යාම නිකායික තොටගමු සඟ පරපුරේ දීප්තිමත් සංඝ පීතෘවරයෙකු වූ විද්‍යෝදය මහා පරිවේණාධිපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය බද්දේගම ශ්‍රී පියරතන නාහිමියන් වහන්සේගේ සඟ පරපුරට අයත් ජිනරතන මාහිමියෝ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත මධුර ස්වරභාණී මහ තෙර නමකි.

ස්වර්ණ ගිරි කාව්‍ය ධර්ම දේශනා 01 ස්වර්ණගිරි කාව්‍ය ධර්ම දේශනා 02, (කෝසල සංයුක්තය) ස්වර්ණගිරි කාව්‍ය ධර්ම දේශනා 03 (අජාසත්ත කතා වස්තුව) පරාභව සූත්‍රය, මහ ධන නිධාන වත ආදී ග්‍රන්ථ රැසක් නිර්මාණය කරමින් ජාතික, ආගමික ශාසනික වශයෙන් උදාර සේවාවක නිරත වූහ. ආදිවාසී ගම්මානවලට වැඩම කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ද දායක වූහ.

සිය උදාර පැවිදි ජීවිතය අර්ථවත් කරමින් අසූවන වියට පා තබන ජිනරතන මාහිමියන්ට උපහාර පිණිස සැප්තැම්බර් මස 13 වන දින උත්සව සභාවක් පැවැත්විණි. එහිදී ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී බද්දේගම කුසලධම්ම හිමියන්ගේ හා ත්‍රිපිටකාචාර්ය, පණ්ඩිත මෙදේරිපිටියේ කෝලිත හිමියන්ගේ සංස්කරණයෙන් ‘තල් ගස්යායේ ජිනරතන මහා ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්විණි. තල්ගස්යායේ ශ්‍රී ජිනරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් සසුනඹර වැඩ වඩන්නට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.


වෙහෙරවත්තේ මංගල හිමි

බැල්ලපිටිය විද්‍යාශේඛර පිරිවෙන් විහාරය, කඳන ශ්‍රී සාංඝිකාරාමය, මංගලසිරි පුර විජයමංගලාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩ විසූ බැල්ලපිටිය විද්‍යාශේඛර පරිවෙණාධ්‍යක්ෂක වෙහෙරවත්තේ මංගල නාහිමිපාණන් වහන්සේ අපවත් වී පසු ගිය ජූලි මස 30 වැනි දින ට වර්ෂ 12 ක් සැපිරුණි.

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ වෙහෙරවත්ත ග්‍රාමයේ 1919 ජූනි මස 23 වැනි දින උපත ලද උන්වහන්සේ 1934 දී කුඹුක සුදර්ශනාරාමාධිපති රයිගම් හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක රයිගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ වෙහෙරවත්ත පුරාණ ශ්‍රී මහා විහාරාධිපති රත්නාගොඩ රතනපාල මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය. පැවිදි ගුරු ඇසුරින් බණ දහම් පිළිබඳ මනා දැනුමක් ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා බැල්ලපිටිය විද්‍යා ශේඛර පිරිවෙනට ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව පාලි, සිංහල, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය පිළිබඳ පරිණත දැනුමක් ලැබූ උන්වහන්සේ විසි වයස් සම්පූර්ණත්වයෙන් 1939 දී මල්වතු විහාරයේ මංගල උපෝෂථාගාරයේ උපසම්පදා ශීලයේ පිහිටවනු ලැබූහ. එකල නොදියුණු ගම්පියසක් වූ වෙහෙරවත්ත ගම්වරය දියුණු කිරීම ආරම්භ කොට යාගල මංසන්ධියේ සිට කඳන දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කළහ. ගමේ ප්‍රජා මණ්ඩලය, ග්‍රාම සංවර්ධන සමිතිය, ස්වේච්ඡා සංවිධාන ඇති කොට ඒවායේ නිලතල හොබවමින් ගමේ පාසල, දහම් පාසල, පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන ඇතිකොට ගම ආර්ථික මෙන් ම අධ්‍යාපනයෙන් ද දියුණු කළහ.

1967 දී පමණ බැල්ලපිටිය විද්‍යාශේඛර විහාරය, කඳන ශ්‍රී සංක්ෂිප්තමය මංගල සිරිපුර විජය මංගලාරාමය යන විහාරස්ථානයන්හි භාරකාරත්වය උන්වහන්සේ වෙත පැවරුණි. පැවැති විහාරාංග ප්‍රතිසංස්කරණය කරවා විහාරස්ථානයට බලවත් අඩු පාඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉතා සුළු කාලයක් තුළ ඉදි කරවා වැඳුම් පිදුම් කිරීමට මඟ සලසා දුන්හ. 1937 දී බැල්ලපිටිය විද්‍යාශේඛර පිරිවෙන නැවත ආරම්භ කරමින් දාන ශාලා පහසුකම් ආදිය ද ඉතා උසස් ලෙස සපයන ලදී. උන්වහන්සේ 87 වසරක් ආයු වළඳා අපවත්වී වසර 12 ක් සපිරීම නිමිතිකොටගෙන ශාස්ත්‍රවේදී කඹුක්වැව සුධම්ම හිමිපාණන් වහන්සේ සහ ශිෂ්‍ය පිරිස දායක සභාව විසින් ශතාධික මහා සංඝරත්නය විෂයයෙහි 30 වෙනි දින දවල් දානය පිළිගැන්වීමට සියලු කටයුතු සංවිධානය කොට තිබිණි.