Print this Article


හෙළ සඟ සසුනේ කේසරනාදය : මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්දහිමි

හෙළ සඟ සසුනේ කේසරනාදය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්දහිමි

2018 සැප්තැම්බර් 21 දිනට යෙදෙන 128 වන ගුණ සමරුව වෙනුවෙනි.

ශ්‍රී ලාංකේය භික්ෂු වංශ කතාවේ අමිල ගුණ සුවඳ විහිද වූ එඩිතර සටන්කාමී භික්ෂූන් වහන්සේ අතර ඉහළින් වැජඹෙන දකුණු ලක වැලිතොට, බලපිටි පුරවරයෙන් බිහිවූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි නාමය ලක්වැසි ජනතාවට කිසිදා අමතක නොවන වීර නාමයකි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ව තිබූ සමය බෞද්ධ ජනතාවට, බුදුදහමට කරදරකාරී කාලයක් විය. වෙසෙසින් ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බොදු දනන්ගේ මහත්වූ වන්දනාමානයට ලක් වූ බෝරුක් කපා විනාශ කරන්නට අධිරාජ්‍යවාදී සුදුපාලකයෝ පෙළඹුණහ. මේ සිදුවීම්වලදී ම තනතුරු, වරප්‍රසාද ලබාගත් සමහර පිරිස් අතළොස්සක් බුදුදහම අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්හ. සිදුවන්නට යන මහ විනාශය පිළිබඳ හොඳින් අවබෝධකරගත් ගුණානන්දහිමියෝ තම ගම් ප්‍රදේශ වන බලපිටියේ සිට අගනුවර කොටහේන දීපදුත්තාරාම මහා විහාරයට වැඩම කර සුදුජාතික පාලකයින් කපා විනාශ කළ බෝරුක් වෙනුවට කොළඹ නගරය සිසාරා නැවත බෝරුක් සිටුවා ජාතික ආගමික ප්‍රබෝධය ඇතිකරලීමට පියවර ගත්හ. ධෛර්යවන්ත බව, කිසිවකුට බිය නොවන ස්වභාවය හා එඩිතර වාග්චාතුර්යය නිසා අසරණව සිටි බොදු ජනයා පී‍්‍රතිප්‍රමෝදයෙන් නාහිමි වටා මහා පවුරක් සේ එක්රොක්වන්නට වූහ. අදත් විරාජමානව වැඩ හිඳිනා පිටකොටුව බෝධීන් වහන්සේ ද නාහිමියන්ගේ සුරතින් සිටුවන ලද්දක්වීම මෙහිලා සඳහන් කළයුතුම ය.

1823 පෙබරවාරි 09 දින දකුණු ලක බලපිටිය පුරවරයේ මිගෙට්ටුවත්ත ග්‍රාමයේ දී මේ පින්වත් කුමරු ගිංගම ලද්දු මිගෙල් මෙන්ඩිස් නමින් උපත ලැබී ය. ළමාවියේ පටන් ම අනෙක් දරු දැරියනට වඩා මුහුකුරාගිය ස්වරූපයක් හා එඩිතර සටන්කාමී බවක් පෙන්නුම් කළේ ය. ඒ අතර තියුණුූ බුද්ධිය, ස්ථානෝචිත ප්‍රඥාව, කිසිවකුට යටත් නොවන වාග්මාලාව පෙර සසර පුරුද්දක් නිසාදෝ පිහිටා තිබුණි. කසාවතට තිබු ඇල්ම බැල්ම නිසාම මිගෙල් දරුවා තම මව්පිය ආශිර්වාදය මැද උතුම් වූ ප්‍රවෘජ්ජාභූමියට ඇතුල්වුයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමිනි. පැවිදි දිවියේ දී භික්ෂුවකට ඇවැසි ධර්ම කරුණු මනා ලෙස අවබෝධ කරගෙන ඉගෙන ගනිමින් කටයුතු කරත් දී නොසිතූ ලෙසින් තම පියා අභාවයට පත්වන්නේ ය. මේ හේතුවෙන් පවුලේ වගකීම් දැරීමටත්, මවට සහයෝගය දීමට සිත් ඇතිව ගිහි පැවිදි ඥාති හිතමිත්‍ර ආදීන්ට කරුණු වටහා දී උපැවැදි වූහ. මෙසේ කාලයක් පවුලේ ආර්ථිකය සවිමත් කරමින් ඉන්නා විට තම පවුලේ ඥාතිවරයෙකු වූ මුදලිඳු ඒබ්‍රහම් අල්විස් මහතාගේ මඟ පෙන්වීම යටතේ කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත්ව මැනවින් ඉංගී‍්‍රසි භාෂාව ඇතුළුව කිතු දහම පිළිබඳවද, බටහිර හා පෙරදිග විෂයයන් ද නිවැරැදිව ඉගෙන ගත්තේ ය. හොඳ ස්මරණ ශක්තියක් ද පිහිටා තිබුණි. ගිහියකු වශයෙන් විවිධ හැදෑරීම් කළත් චීවරයට නිරතුරුව ඇළුම් කළේ ය.

දොඩන්දූව කුමාර විහාරයේ පැවති ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමේ මහා පුණ්‍ය උත්සවය නිමාවෙත්දී මිගෙල් තරුණයා නැවත වතාවක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් ම පැවිදි දිවියට පිවිසියේ ය.

බලපිටිය සුභද්‍රාරාම විහාරයේ මෙසේ සුළු කාලයක් වැඩ සිට කොළඹ කොටහේන දීපදුත්තාරාමයට වැඩම කර ජාතික ආගමික ප්‍රබෝධය ඇති කරලමින් ආකර්ෂණීය මෙන්ම විප්ලවීය ආගමික මෙහෙවරකට පියවර තැබූහ. මෙහි දී වෙසෙසින් සඳහන් කළයුතු වන්නේ 1832 ඇරඹි කොළඹ - කොටහේන දීපදුත්තාරාම පුරාණ විහාරය කොළඹ නගරයේ ප්‍රථමයෙන් ඇරඹි විහාරස්ථානවලින් එකකි. මෙම ඓතිහාසික පුණ්‍ය භූමියේ වැඩ හිඳිමින් ගුණානන්ද හිමියෝ කළ ජාතික ආගමික මෙහෙවර සුවිශේෂී ය. බොදු ජනයාට එරෙහිව බුදු දහමත්, ජාතක කතා ආදියත් උපහාසයට ලක්කරමින් ද, භික්ෂූන් වහන්සේට තාඩන පීඩන කරමින් ද, වෙහෙර විහාර විනාශ කරමින් ද එදා මෙරට පාලනය කළ ඉංගී‍්‍රසි පාලකයෝ කටයුතු කළහ. මෙයට නිසි පිළිතුරු දීම සඳහා බුදු දහමේ යථාර්ථය හඳුන්වා දෙමින් ලක්මිණි කිරුළ වැනි ධර්ම පත්‍රිකා පළ කරමින් ද ගුණානන්ද හිමියෝ මිත්‍යා දෘෂ්ඨික මත බිඳ දැමීමට පියවර ගත්හ. ඒ අතර බුදු දහමේ සත්‍ය හඳුන්වා දෙමින් ප්‍රසිද්ධවාද කිහිපයක් පැවැත්වීමට නාහිමියෝ පියවර ගත්තේ අතිශූර කථිකත්වය හා ක්‍රිස්තියානි ආගම පිළිබඳ තිබුණු දැනුම උපයෝගි කරගෙන ය. ඒ අනුව 1860 කැලණිය වරාගොඩ දී ද, 1865 බද්දේගම දී ද, 1871 උදම්මිට දී ද, 1873 ජාත්‍යන්තරයට ගෙන ගිය සුප්‍රසිද්ධ වාදය වූ පානදුරා වාදය පුරා දෙදිනක් පැවැත්විණි.

ගුණානන්ද හිමියන්ගේ වාද විවාද මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පෙර සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තරය ඔස්සේ පැතිර ගිය නිසා අමෙරිකාවේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා රුසියාවේ බ්ලැවැට්ස්කි මැතිණිය 1880 මැයි මස 16 ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගත්හ. ඕල්කට්තුමා විසින් අරඹන ලද බෞද්ධ අධ්‍යාපනයේ නියමුවා, උපදේශකවරයා වූයේ ගුණානන්ද නාහිමියන් ය. මෙයට උපහාරයක්, කෘතගුණ සැලකීමක් වශයෙන් බලපිටිය මහා කප්පින වලව්වේ මුදලිඳු ටියුඩර් රාජපක්ෂ මැතිතුමාගේ ඉඩම් පරිත්‍යාගයෙන් ඉදි වූ කොළඹ ප්‍රමුඛ බොදු විදුහලට ගුණානන්ද යැයි නම තැබීමට ඕල්කට්තුමා අදහස් කළ ද, ගුණානන්ද හිමියෝ ආනන්ද විදුහල යැයි නම් කළහ.

රට දැය බුදු සසුන වැනසීමට වෙර දරන සියලු බලමුළු හමුවේ එඩිතර බුද්ධ පුත්‍රයෙකු ලෙසින් ජාතියේ පිනට පහළ වූ අතිශ්‍රේෂ්ඨ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ වර්ෂ 1890 සැප්තැම්බර් 21 දින අපවත් වී වදාළහ.

නාහිමිපාණන්ට උතුම් වූ නිවන්සුව ප්‍රාර්ථනා කරමු.