Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: මුවගට එන හැම වදනක්ම

මුවගට එන හැම වදනක්ම පිට කරනවාද?

අපේ අම්මා හරි නපුරුයි. එයාට කේන්ති ගියා ම කවුරු කියන දෙයක්වත් අහන්නේ නැහැ. හිතට හිතුන දෙය කියාගෙන යනවා. ඒ කියන අනවශ්‍ය වචනවලින් තවත් ප්‍රශ්න හට ගන්නවා. මට නම් දැන් අපේ අම්මා එපා වෙලයි තියෙන්නේ යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථා ඔබ ඕනෑතරම් අසා ඇති. දැක ඇති. ඇතැම් විට අත්විඳලත් ඇති.

ඇත්තටම වැඩිහිටියන් දරුවන් දෙස බලන්නේ කුමන ආකල්පයකින් ද? ළමයි වැඩිහිටියන් දෙස බලන්නේ කුමන ආකල්පයකින් ද? යන වග මෙවැනි අවස්ථාවන් තුළින් මැනවින් හඳුනාගත හැකියි. දරුවන් කැමැති , ඔවුන් කැමැති ආකාරයට ගෙදර දොර හැසිරෙන්නයි. පාසලේ වැඩ කටයුතු වුණත් පිළිවෙළකට කරන්න පුළුවන් වෙන්නේ එබඳු පරිසරයක ජීවත් වන දරුවන්ටයි. ඇතැම් දෙමව්පියන් සිතා නො බලා කරන ඇතැම් වැඩ කටයුතු නිසා දරුවන්ගේ පෞරුෂත්වයට හානි වෙනවා.

අම්මා කේන්තියෙන් ගෙදර නිතර ම අඬදබර කරන්න පටන් ගන්නවා නම්, ඒ අම්මා දරුවන් ට කෙතරම් ආදරයෙන් සැලකුවත් වැඩක් වෙනවා ද? නිතර කෑකොස්සන් ගසන්නේ දුර්වල පෞරුෂත්වයක් තිබෙන අය. ඒ වගේ ම ප්‍රාථමික මානසිකත්වයක් තිබෙන අය. ගිය ආත්මවල පහත් යැයි සම්මත කුලවල ඉපිද සිටි අය. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ව ඇති බොහෝ කතාවලින් මෙය තේරුම් ගත හැකියි. බුදුහාමුදුරුවන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින අවස්ථාවක බුදුරදුන් දැක වැඳපුදාගැනීමේ අරමුණ පෙරදැරිව ඉතා දුරබැහැර සිට ස්වාමීන් වහන්සේලා පිරිසක් ජේතවනාරාමයට වැඩම කළා. මුහුණ කට සෝදාගෙන ගිලන්පස වළඳා කතා බහ කරන්න පටන් ගත්තත් , තමන් වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පන්සලේ බව අමතක වුණා. ක්‍රමයෙන් කතාබහ ශබ්දය වැඩිවුණා.

ඝෝෂාවක් වගේ ඈතට ඇහුණා , කවුද? මේ කොවුලො වගේ මහ හයියෙන් කෑගහන්නේ. මොහොතක් වත් රැඳෙන්නේ නැතිව පිටව යන එක හොඳයි. යනුවෙන් බුදුහාමුදුරුවන් අකමැත්ත පළ කළා. උන් වහන්සේ වැඩි ශබ්දවලට කැමැති නැති බව එවැනි අවස්ථවලින් දක්නට ලැබෙනවා. වැඩිපුර කතාකරන, එක හොඳ දෙයක් නොවෙයි. සමහරු එම ස්වභාවය උපතින්ම රැගෙන එනවා. නිහඬව ම සිටීමත් එතරම් යහපත් දෙයක් නොවෙයි. අවස්ථාවට අනුව ගැලපෙන පරිදි කතාකිරීම වැදගත් වෙනවා. ඇතැම් වචන මුවගට ආවත් පිටකරන්න හොඳ නැහැ. එවැනි වචන ගිලගන්න එක වඩාත් ප්‍රයෝජනවත්. දරුවන් සිටින අම්මා කෙනෙකු නම්, දරුවන්ට ඇසෙන්න කරන කතාබහ ගැන යහපත් අවබෝධයක් තිබෙන්න අවශ්‍යයයි. ඔබගේ වචනයේ දුර්වල අවස්ථාවන් මතු යම් දිනයක දරුවන් වුණත් ඔබ ඉදිරියේ ම ඔබට එරෙහිව ප්‍රයෝජනයට ගන්න බැරි නැහැ. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට බැරි බවට කියමනකුත් අසා ඇති.

යමක් ප්‍රකාශ කිරීමට පෙර, එය ප්‍රකාශ කිරීමෙන් ලැබෙන යහපත හා අයහත පිළිබඳව බෞද්ධයකු වශයෙන් තුන් වතාවක් සිතා බැලිය යුතුයි. එසේ සිතීමකින් තොරව පිට කළ වචනයක් මතු ඔබට දුක්වෙන්නට වේවි. ගෙදර දී වුවත් නිවසින් බැහැරව වුවත් අවශ්‍ය තැන දී පමණක් වචන පාවිච්චි කරන්නේ බුද්ධිමත් අය. එබඳු අය උපතින්ම ලැබූ වචන කතාකිරීමේ හැකියාව ජීවිතයට ආශිර්වාදයක් බවට පත්කරගන්නවා. මුවට පැමිණි වචනය පිළිබඳව දෙවරක් තුන්වරක් නොසිතා කතා කරන අය. තමාට උපතින්ම ලැබුණු කතාකිරීමේ හැකියා ව තමන්ගේ ජීවිතයම අවුල් කරගැනීමට යොදාගන්නවා. ඔබ කුමන වර්ගයට අයත් කෙනෙක් ද? කියලා ඔබ ම සිතා බලන්න.