UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නො දීම හා දීම වැළැක්වීමේ විපාක දුක් සහගත ය

නො දීම හා දීම වැළැක්වීමේ විපාක දුක් සහගත ය

බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන නිර්වාණගාමී හා ලෞකික ජීවිතය සැපවත් කරවන්නක් ලෙස දන්දීම හැඳින්විය හැකි ය. දීමෙන් ලැබීම සිදුවේ. ඔන්චිල්ලාවක් පැද්ද වු කල, ඊටත් වඩා වේගයෙන් තමා කරා එන්නාක් මෙන් දන්දීමේ ප්‍රතිඵල ද සාංදෘෂ්ඨික වශයෙනුත්, පාර ලෞකික වශයෙනුත් තමා කරා එනු ඇත. එය වැළැක්වීමට කිසිවෙකුටත් නො හැකි ය. බුදු සසුනේ අග්‍රශ්‍රාවකයින් අතර සීවලී මහරහතන් වහන්සේ, නාගිත මහ රහතන් වහන්සේ ආදී චරිත කතා තුළින් ඒ බව ප්‍රකට වේ.

දීමෙහි විරුද්ධ පදය වන්නේ නො දීම යන්න යි. සිව්පසය නම් චීවර, පිණ්ඩපාත ,සේනාසන, ගිලන්පස යන්න යි. එය ගිහි සමාජයට එන කල්හි ඇඳුම් - පැළඳුම් ,ආහාර-පාන, ගෙවල් -දොරවල් , බේත් – හේත් යනුවෙන් නම්වල වෙනසක් ඇති වේ. නමුදු භාවිතයේ හා සැකසුමේ සුළු වෙනස්කම් ඇති වුවද අවශ්‍යතා එක මට්ටමින් පවතිනු ඇත. එම අවශ්‍යතා හතරෙන් ම ප්‍රධාන අවශ්‍යතාව ලෙස ආහාරය නම් කිරීමට පුළුවන. “ඒක නාම කිං’ – සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්ත්වයිනට ආහාරය ම මුල් වේ. ප්‍රධාන වේ යනුවෙන් අර්ථවත් වේ.

ආහාර වුවද ලැබෙන්නේ සසර දුන් පිළිවෙලට හා දුන් ප්‍රමාණයට ය. ඒ අනුව නො දීම පිළිබඳ නොයෙක් කතා පුවත් ද, ඒ නො දීම හේතුවෙන් එම චරිතවලට අයිති වූ ඉරණම පිළිබද ව ද සඳහන් වේ. බුදුන් කල කොතරම් ධන සම්පත් තිබූ අය සිටි අතර, සමහරු ශ්‍රද්ධාවෙන් දන් දී සඟමොක් ලැබුවත්, සමහරු නොදී, නොකා, නො බී දුක්ඛිත ආත්ම ද ලැබූහ. විශාඛා, කෝසල මල්ලිකා, අනේපිඬු සිටු වැනි චරිත තුළ තිබුණේ අසීමිත ශ්‍රද්ධාවක් හා පරිත්‍යාග චේතනාවක් ය. ඒ නිසාම මහා සංඝයා විෂයයෙහි නිරන්තරයෙන් දන් දී දිව්‍ය මනුෂ්‍යයා දී සැප සම්පත් ලබා ගත්හ.

ඒක සාඨක , සුමන මල් කරු, ඉන්දික දුගියා වැනි චරිත තුළ තිබුණේ ශ්‍රද්ධාව යි. ඔවුන් දුප්පතුන් වූ අතර දන් දෙන්නට තරම් ධන සම්පත් නො තිබුණ අය යි. එදා වේල සොයා ගත්තේ ද ඉතා අසීරුවෙන් ය. නමුදු ශ්‍රද්ධාව කෙනෙකුට සැබෑ ලෙස ඇත්නම් දෙන වස්තු සම්පත්තියේ ලොකු, කුඩා ප්‍රමාණ ය බල නොපානු ඇත. මලක්, පහනක් පූජා කොට හෝ දිව්‍ය සැප සම්පත් ලබා ගැනීමට පුළුවන. එය හොඳ හිතින්, පරිත්‍යාග චේතනාවෙන්, කර්ම ඵලය ලෙස අවබෝධ කොටගෙන කළ යුතු ය.

නො දීම හා දෙන දෙය වැළැක්වීම තුළ සසර බොහෝ දුක් විඳීමට සිදුවේ. විශේෂයෙන් ආහාර, පාන පිළිබඳ සැලකීමේ දී ආහාර විනාශ කිරීම, අපතේ හැරීම, තව කෙනෙකුගේ ආහාර වේලක් නැති කිරීම, විශාල අකුසල කර්මයකි. සේඛියා හැත්තෑපහ අතර ආහාර පිළිබඳ වෙනම ම සේඛියා ගණනාවක් දේශනා කොට ඇත. බුදුරදුන් ජීවමාන කල වැඩ සිටි ලෝසක රහතන් වහන්සේගේ කතා පුවතින් මුළු ජීවිතය පුරාවට කුස පිරෙන්නට ආහාර වේලක් නො ලබපු ආකාරය පැහැදිලි වේ.

ලෝසක රහතන් වහන්සේ ගිහි කල මව් කුසට ආදා පටන් මවටත් බඩගින්නේ සිටීමට සිදු විය. පියතුමන්ටත්, නිවසේ සියලු දෙනාටත් අසුභ කාලයක් උදා විය. එම ගම්මානය ද සත් වසරක් ම ලැව් ගින්නකින් පිච්චිලා විනාශ විය. ගම්වැසියන් අන්ත අසරණ තත්ත්වයට පත් විය. එම හේතුවෙන් මවද පුතු ඉවත් කළහ. පසුව එම පුතු තැනින් තැන සිඟාකමින් දිවි ගෙවූ අතර දිනක් සැරියුත් හිමි එම පුතු දැක රහත්වීමේ භාග්‍ය ඇති බැවින් විහාරයට එක්කරගෙන ගොස් පැවිදි කොට ලෝසක හිමි නමින් හැඳින්වී ය. නමුදු ලෝසක හිමියන් ට කිසි දිනක කුස පිරෙන්නට පිණ්ඩපාතය නො ලැබුණි. ඒ සමඟ වඩින අනිත් හිමිවරුන්ටද පිණ්ඩපාතය නො ලැබුණි. ලෝසක හිමියන්ගේ අතැති පාත්තරයට දන් හැන්දක් බෙදුවත්, එය පිරී ඉතිරී යන හැටියක්ම පෙනේ. සමහර විට බෙදන්නට ගෙනා ආහාර අතුරුදන් වේ.

දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ ලෝසක හිමියන්ට පිණ්ඩපාතය ලබාදෙන අදහසින් ලෝසක හිමියන් සමඟ සැරියුත් හිමියන්ද පිණ්ඩපාතයයේ වැඩියහ. එදින සැරියුත් හිමියන් ට පිණ්ඩපාතය නො ලැබුණි. ලෝසක හිමි පිරිනිවන් පාන දින සැරියුත් හිමි චතුමධුර පාත්තරයක් පිඬුසිගා ගෙනවිත් තමන් වහන්සේගේ අතේ තියෙද්දී වළඳන්නැයි කී සේක. එදින ලෝසක හිමි ජීවිතයේ පළමුවරට කුස පිරෙන්නට ආහාර වැළඳුවේ ය. එදින ම ලෝසක හිමි පිරිනිවන් පෑ සේක. ලෝසක හිමිට එතරම් අකුසල කර්මයක් විඳින්නට සිදු වූයේ කුමක් නිසාද යන්න විමසීමේ දී එම හේතු කාරණා පිළිබඳ ඕනෑම කෙනෙක් අවධානය යොමු කොට තම තමන් ළඟ ඇති දුර්ගුණ නැති කර ගැනීමට වෙහෙසීම වැදගත් වනු ඇත.

පෙර භවයක ලෝසක හිමි පැවිදිව සිටිය දී එක් දානපතියෙක් උන්වහන්සේට දිනපතා දානය පිළිගැන්වීය. දිනක් රහතන් වහන්සේ නමක් එම ගමට වැඩිය කල්හි දානපතියෝ රහතන් වහන්සේ ගැන පැහැදී උන්වහන්සේට නිවසේ දී ම දානය පිළිගන්වා, ලෝසක හිමි වැඩ සිටින ආරාමයෙහි වැඩ සිටින ලෙස ආරාධනා කළහ. රහතන් වහන්සේ එම ආරාමයේ වැඩ සිටි නමුත්, ලෝසක හිමි වැඩි කැමැත්තක් නො දැක්වූහ. දානපතියා සවස ආරාමයට ගොස් දෙනමට ම පසු දින දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළහ. පසුදා ලෝසක හිමි රහතුන් වහන්සේ වැඩ සිටි කුටියේ දොරට නියපොත්තෙන් තට්ටුකොට දානයට වැඩියහ. දානපතියෝ රහතන් වහන්සේ කොහිදැයි ඇසූ කල ඔබගේ නිවසේ මිහිරි ආහාර වළඳා දිරවාගත නො හැකිව තව ම නිදියැයි කීවේ ය.

එසේනම් ඔබවහන්සේ වළඳා ආරාමයට ගොස් උන්වහන්සේට මෙම දානය පිළිගන්වන්නැයි කිරිපිඬු පාත්‍රයක් ලෝසක හිමියන්ට දුන්හ. ලෝසක හිමි හිතන්නේ මෙම දානය දුන්නොත් පන්සලෙන් යන එකක් නැතැ. එනිසා මෙම දන් පාත්‍රය වෙන කෙනෙකුට හෙළි නොවන සේ කාටවත් නො දී වතුරටත් නො දමා , බිමටත් නො දමා මළ මුත්‍රා ඇතුළු කුණු පිච්චෙන තැනකට අඟුරු ඈත් කොට එයට දමා විහාරයට වැඩි සේක. රහතන් වහන්සේ එදින කුසගින්නේ ම සිටියහ. මෙම අකුසලය නිසා ලෝසක හිමියන්ට එම විපාකය ලැබුණි.

ලෝසක හිමියන් කළ අකුසල කර්මය හේතුවෙන් රහත් වීමට පෙර ආත්මවල දි අවුරුදු දහස් ගණන් අපායේ දුක් වින්දේ ය. එයින් පසු චුතව භව පන්සියයක් යක්ෂයෙක් වී උපන්නේ ය. නැවත ආත්ම පන්සියයක් සුනඛ ව උපන්නේ ය.

ඒ අනුව දානය නො දීම, දෙන අය වැළැක්වීම හා ආහාර විනාශ කිරීම හා ඒවා අපවිත්‍ර තැන්වල බහාලීම සසර පුරාවට දුක්විඳීමට සිදුවන අකුසල කර්ම බව සිතිය යුතු ය.

උසස් මනසක් ලබා ඇති සත්ත්වයින් වශයෙන් මිනිසුන් විසින් නිරතුරුව ම බුද්ධිමත්ව අනුනට අයහපතක් නො වන අයුරින් කටයුතු කළ යුතු ය. විශේෂයෙන් සසර සැප විඳීමට නම්, දාන චේතනාව ම පුරුදු පුහුණු කළ යුතු ය. බලු කපුටන්ට හෝ හොඳ සිතින් දන් දී පින් රැස් කර ගත යුතු ය. හොඳ සිතින් දෙන දානය ගිය ගිය තැන නිධානයක් පහළ වූවා සේ සැප විපාක ලබා ගැනීමට හේතු වන බවත්, නො දීම තුළින් උසස් ආත්මය හෝ උසස් සැප සම්පත් නො ලැබෙන බවත් සිතට ගත යුතු ය.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk