UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවන ධර්ම සංගායනාව - 2 කොටස: ධර්මාශෝක රජුට මහාකාල නා රජු හමුවීම

තෙවන ධර්ම සංගායනාව - 2 කොටස:

ධර්මාශෝක රජුට මහාකාල නා රජු හමුවීම

මෙම ලිපියෙහි මුල් කොටස පසුගිය 03 වැනිදා පත්‍රයේ පළවිය

මොග්ගලිපුත්ත තිස්ස රහතන් වහන්සේ ප්‍රමුඛ තිස්එක් නමක් සමඟින් රජ මාලිගාවට වැඩම කළ නිග්‍රෝධයන් වහන්සේට රජතුමා සියතින් ම දානය පූජා කළේ ය.

එදින සාමණේරයන් වහන්සේ රජුට ධර්මය දේශනා කොට තිසරණ සහිත පංච සීලයෙහි පිහිට වූ සේක. ඉන්පසු රජු දිනපතා සංඝයා වහන්සේ දෙගුණය බැගින් වැඩි කරමින් දානය පූජා කළේ ය. අනුක්‍රමයෙන් හැට දහසක් දක්වා භික්ෂුන් වහන්සේට රජ මාලිගයෙහි දානය සුදානම් විය

දිනක් රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේ අමතා ”ස්වාමිනි, අපගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය කො පමණ ප්‍රමාණයකින් යුක්ත ද?

“මහරජතුමනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් යුක්ත වෙයි.”

“ස්වාමිනි, මම ඒ අසූහාරදහස් ධර්මස්කන්ධයන් වෙනුවෙන් විහාර අසූහාර දහසක් තනවා පූජා කරන්නෙමි” කියා එක් දිනයකින් ම අනූහය කෝටියක් ධනය ලබා දී දඹදිව් තලයේ අසූහාර දහසක් නගරවල අසූහාර දහසක් විහාරයන් තනවන්නට අණ කළේ ය. ඒ නගරවල, රාජධානිවල සිටින ප්‍රාදේශීය රජවරුන් විසින් විහාර කර්මාන්තය පටන් ගත් අතර, අශෝක රජතුමා පාටලීපුත්‍රයෙහි ආශෝකාරාමය ඉදිකිරීමට පටන් ගත්තේ ය.

ර්මාශෝක රජතුමා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් යුක්ත උතුම් බුද්ධ ශාසනයෙහි පහන් වූ සිතින් යුතු විය. නිග්‍රෝධයන් වහන්සේටත්, ගිලන් වූ භික්ෂුන් වහන්සේටත් වෙන් වෙන් වශයෙන් දිනපතා කහවණු ලක්ෂය බැගින් වෙන් කළේ ය. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පූජා කරන ලද ධනය මුල්කොට නොයෙක් ස්තූප පූජාවන් පැවැත් වි ය. නොයෙක් විහාරයන්ට ද විවිධාකාර වූ පූජාවන් සෑම කාලයේ ම සිදු කළේ ය.

මිනිසුන් ශ්‍රී සද්ධර්යේ නාමයෙන් පූජා කරන ලද ධනයෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය ධර්මධර භික්ෂූන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස් වී ය. අනෝතප්ත විලෙන් ගෙන එන පැන් කළ අටෙන් පැන් කළ හතරක් සංඝයාට පූජා කළේ ය.

එක් දිනක් ධර්මාශෝක රජු කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේ ම දුටු මේ කල්පයට ම ආයුෂ තිබෙන මහාකාල නම් මහා සෘද්ධිමත් නාග රාජයෙකු පිළිබඳව අසන්නට ලැබුණි. එවිට රජතුමා ස්වර්ණ සංඛලික බන්ධනය නමැති රන්දම යවා නාග රාජයා මාලිගයට ගෙන්වා වඩා හිඳුවා නොයෙක් මල් වර්ගයන් පූජා කොට නාග රාජයා අමතා මෙසේ කීය. “පින්වත් නා රජතුමනි, සද්ධර්ම චක්‍රවර්ති වූ අනන්ත ඤාණ ඇත්තා වූ මහා සෘෂිවරයාණන් වූ, අපගේ සර්වඥ රාජයාණන් වහන්සේගේ රූපකාය විලාශය මනාව පෙන්වුව මැනවි. දෙතිසක් වූ මහා පුරුෂ ලක්ෂණවලින් ශෝභමාන වූ අසූවක් වූ අනුව්‍යඤ්ජන ලක්ෂණ වලින් අලංකාර වූ, හාත්පසින් විහිදී ගිය බොහෝ ප්‍රභාෂ්වරයෙන් යුක්ත වූ, කේතුමාලාවකින් සුන්දර වූ, ඉතා සිත්කලු වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඒ නාග රාජයා මවා පෙන්වී ය. එය දුටු ධර්මාශෝක රජු විශ්මයෙන් පිනා ගියේ ය. මේ නා රජතුමන් විසින් මවන ලද අප සර්වඥයන් වහන්සේගේ රූපකාය මෙබඳු නම් තථාගතයන් වහන්සේගේ ජීවමාන රූපකාය කෙබඳුවන්ට ඇත්දැයි මහත් පී‍්‍රතියකින් පිනා ගියේ ය. එවිට රජතුමා ඒ මවන ලද අප භාග්‍යවතුන් වහන්සේගේ අතිශය සුන්දර වූ රූප කාය උදෙසා දින හතක් මුළුල්ලේ නිරාහාරව බුද්ධාලම්බන පී‍්‍රතියෙන් යුක්තව බුදුරදුන්ගේ රූපය දෙස බලමින් “නේත්‍රා පූජා” නමින් මහා පුජාවක් කරවී ය.

ධර්මාශෝක රජතුමා මේ ආකාරයෙන් මහා ශ්‍රද්ධාවන්ත, මහානුභාව ඇති කෙනෙක් විය. දෙවන ධර්ම සංගායනාව සිදුකළ සෘද්ධිමත්භාවයට පත් රහතන් වහන්සේ කලින් ම අනාගතයෙහි සසුන බබුළවන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සහ ධර්මාශෝක නිරිඳු ගැන දිවැසින් දැක තිබුණි. ධර්මාශෝක රජු අසූහාර දහසක් නගරවල ඉදිකිරීමට පටන්ගත් සියලු මනෝරම්‍ය වූ විහාර කර්මාන්ත තුන් අවුරුද්දක දී මැනවින් සම්පූර්ණ විය. විහාර කර්මාන්තය සොයා බැලු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේගේ මහා සෘර්ධි බලයේ සහය නිසා පාඨලි පුත්‍රයෙහි අශෝකාරාමය නමැති රම්‍ය වූ විහාරයත් ඉක්මනින් ම සම්පූර්ණ විය. තුන් ලොව දිනූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ඒ ඒ පුණ්‍ය භූමිවලින් ධර්මාශෝක රජතුමා රම්‍ය වූ චෛත්‍යයන් කරවී ය. අවට අසූහාර දහසක් නගරයන්හි විහාර කර්මාන්ත අවසන් වූ බවට දැනුම් දෙන සියලු සංදේශයන් එකම දවසේ රජු වෙත රැගෙන එන ලදී. ඒ ඒ සංදේශයන් ඇසූ රජතුමා සියලු ම ආරාමයන්වල මහා පූජාව එකම දිනයක සිදු කරන්නට කැමැති වූයේ ය. එ නිසාම ධර්මාශෝක රජතුමා මෙසේ අඬබෙර පැතිරවී ය.

“මෙයින් සත් දිනකට පසු හැම ප්‍රදේශයක ම සියලු විහාරාරාමයන්ගේ පූජාව එකම දිනයක වේවා! දඹදිව යොදුනක් යොදුනක් පාසා මහා දන්සැල් දෙත්වා! සියලු ගම්වලට, ආරාමයන්ට යන මාර්ගයන් අලංකාර කරත්වා! සියලු විහාරයන්හි වැඩ වාසය කරන භික්ෂු සංඝයාට කැප අකැප කාලය හොඳින් හඳුනාගෙන තම තමන්ට ශක්ති පමණින් මහ දන් පවත්වත්වා දැල්වෙන පහන් මල් මාලාවන්ගෙන් ඒ ඒ තැන අලංකාර කරත්වා! හැම තැන්හි ම නොයෙක් ආකාරයෙන් උපහාර කොට පංචතූර්ය නාද පතුරත්වා! සියල්ලෝ ම උතුම් උපෝසථ සිල් සමාදන් වී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසත්වා! නොයෙක් ආකාරයෙන් සිත් වූ පරිදි පුද පූජාවන් කරත්වා! කී ය. එවිට සියලු දෙනා ම ඒ අඬබෙර හඬට සවන් දී සෑම තැනක ම සියලු ආකාරයෙන් ඉල්ලා සිටි කරුණුවලටත් වඩා වැඩියෙන් දෙව්ලොව දක්වන පූජෝත්සව සෙයින් මහත් රම්‍ය වූ පූජාවන් පිළියෙල කළහ.

එදා මහරජු සියලු රාජාභරණයන්ගෙන් අලංකාරව සැරසී අන්ත:පුර ස්ත්‍රීන්, ඇමැතියන් සමඟ ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව පිරිවරාගන සිටියේ ය. පංචතූර්ය වාදන ආදියෙන් මහ පොළොව ගිගුªම් ගන්වමින් රජතුමා තමන් විසින් කරවන ලද අශෝකාරාමයට සැපත් විය. උතුම් වූ සංඝයා වහන්සේට වන්දනා කොට සංඝයා වහන්සේට මැද සිට ගත්තේ ය.

ඒ අවස්ථාවෙහි රැස් වූ සංඝයා වහන්සේ ගණනින් අසූ කෝටියක් වූහ. උන්වහන්සේ අතර ක්ෂීණාස්‍රව වූ රහතන් වහන්සේ ලක්ෂයක් වැඩ සිටියහ. එතැනට රැස් වූ භික්ෂුණින් වහන්සේ ගණන අනූ ලක්ෂයක් වූහ. ඒ භික්ෂූණින් අතර ක්ෂිණාස්‍රව වූ රහත් භික්ෂුණින් දහසක් වැඩ සිටි සේක. ඒ රහතන් වහන්සේ ධර්මාශෝක රජතුමා තුළ බුද්ධ ශාසනය කෙරෙහි චිත්ත ප්‍රසාදය දියුණුවීම පිණිස “ලෝක විවරණ පූජා” නමින් ප්‍රාතිහාර්යයක් කළ සේක. එදා රජතුමා මහා සාගරය කෙළවර කොට ඇති දඹදිව පුරා පිහිටි සියලු විහාරයන්වල කෙරෙන අලංකාර පුද පූජාවන් ලෝ විවරණ ප්‍රාතිහාර්යය හේතුවෙන් සිය ඇසින් ම දැක ගත්තේ ය. එය දුටු රජතුමා අතිශයින් ම සතුටට පත්වුණි.

සංඝයාට වන්දනා කොට “ස්වාමිනි, මේ මහා සුගත ශාසනයෙහි පරිත්‍යාගි කරන අය අතර අග්‍ර කවුරුදැයි” අසා සිටියේ ය. ඒ අවස්ථාවෙහි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ “මහරජතුමනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබට සමාන වූ පරිත්‍යාගයෙකු බුද්ධ ශාසනයේ සිටියේ නැත’. කී ය. එම වදන ඇසූ රජතුමා මහත් සතුටට පත් ව “එසේ වී නම් ස්වාමිනි, මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදය ලැබුවෙක් දැයි ඇසූහ. එවිට මහරහතන් වහන්සේ ඒ ධර්මාශෝක රජුගේ පුත්‍ර වූ මිහිඳු කුමාරයාගේ ධර්මාවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් දැක, ඔවුන් විසින් අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය බැබළවීමට සිදුකරන කරුණු දැන මහරහතන් වහන්සේ රජතුමාට මෙසේ වදාළ සේක. “මහරජතුමනි, ඔබතුමා මහා ත්‍යාගවන්තයෙක් වුවත් බුද්ධ ශාසනයෙහි දායාදය ලැබුවෙක් නො වෙයි. ඔබ සිව්පසය පුදන දායකයෙක් පමණ යි. මහරජතුමනි, යමෙක් තමන්ගේ පුත්‍රයෙකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරවනවානම්, ශාසන දායාදය ලැබුවෙක් වන්නේ ඔහු ය. හුදෙක් සිව්පස දායකයෙක් වූ පමණින් ශාසන දායාදයට හිමිකරුවෙක් නොවේ යැයි දේශනා කළහ.

එවිට ධර්මශෝක රජතුමාට ගෞතම බුද්ධ ශාසනයෙහි දායාදය ලබන්නට මහත් ආසාවක් ඇති වි ය. මිහිඳු කුමාරයාගෙන් සහ සංඝමිත්තා දියණියගෙන් මෙසේ විමසී ය. කිම? මාගේ දරුවෙනි, තෙපි පැවිදි වන්නාහු ද? බුදු සසුනේ පැව්ද්ද වනාහි ඉතා උතුම් දෙයක්” කී ය. පිය රජතුමාගේ වචනය ඇසූ දරුවන් පී‍්‍රතියට පත් විය. බුද්ධි බලයන්, රූප බලයෙන් බබළන මිහිඳු පුත්‍රයාත්, සංඝමිත්තා දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි වුහ.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk