UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා කච්චායන මහරහතන් වහන්සේ

මහා කච්චායන මහරහතන් වහන්සේ

අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර බමුණු කුලයෙහි පින්වත් කුමාරයෙක් ඉපදුණා. මුලු සිරුරම රන්වන් පාටින් බැබලුණා.

එසේ වීමට හේතුව කලින් වැඩසිටි කාශ්‍යප බුදුරදුන් පිරිනිවන් පෑ පසු ධාතු තැන්පත් කොට සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්මවල උපදින වාරයක් පාසාම සිරුර රන්වන් පැහැයෙන් බැබළේවායි ප්‍රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබූයේ කඤ්චන යන නමයි.

එහෙත් ඔහුගේ ගෝත්‍රය කච්චායන වූයෙන් ඒ නමින් ද හැඳීන්වූවා. වැඩිවියට පත් ඔහුට රජුගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැනගත් උදේනි රජතුමා මුලු ඇමති මණ්ඩලයේ ම කැමැත්ත පරිදි කච්චායන පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්‍යයට වඩම්මාගෙන එන ලෙස. තමාට පැවිදි වීමට අවසර ලබාදෙන්නේ නම් ඉල්ලීම ඉටු කිරීමට කච්චායන බමුණා පොරොන්දු වුණා. යහළුවන් සත්දෙනෙකු සමඟ බුදුරදුන් වෙත ගිය කච්චායන පැවිද්ද ලබා සසර සිදුකළ පින්වල මහිමයෙන් රහත්භාවය ලබාගත්තා. ටික කලකට පසු පැවිදි උපසම්පදාව ලැබූ හිතවත් හිමිවරු සත්දෙනා සමඟ බුදුරදුන් හමුවෙහි උදේනි නුවර පිළිබඳ වර්ණනාත්මක විස්තරයක් ඉදිරිපත් කළා.එවිට බුදුරදුන් “ පළමුව තමා උපන් උදේනි නුවරට කච්චායන හිමියන්ම වැඩමවන්න” යැයි නියම කළා. ඒ අනුව රහත් සත්නම සමඟ කච්චායන හිමියන් උදේනි නුවරට වැඩම වන අතර තේලප්පතාලි ගමෙහි පිඬුසිඟාවැඩියා.

එහි විසූ සුරූපි දුප්පත් එක් සිටු දියණියකගේ කේශ කලාපය කහවණු ලක්ෂයක් වුවත් ගෙවා මිලදී ගැනීමට තවත් සිටු දුවණියක් සූදානම්ව සිටියත් මුලදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. එහෙත් මහා කච්චායන හිමියන් ප්‍රධාන රහත් හිමිවරුන්ට දානය පිළිගැන්වීමට තිබූ බලවත් ආශාව නිසා ලක්ෂයකටවත් නොදුන් කේශ කලාපය කහවණු අටක් වැනි සුලු මුදලකට කලින් ඉල්ලූ කාන්තාවටම විකුණා සැදැහැයෙන් යුතුව දානය පූජා කළා. ඉතා ලස්සන වූ ඇගේ කේශ කලාපය සැදැහැයෙන් විකුණා දුන් දානයේ අනුසස් ලෙස ඇයට නැවතත් මෙලොව දී ම වඩා ලස්සන කේශ කලාපයත් ඇයට ලැබුණා. මේ තොරතුරු දැනගත් රජතුමා ඇය තම අගමෙහෙසිය බවට පත්කර ගත්තා. අප සිදු කරන කුසල ක්‍රියාවන්හි අනුසස් බොහෝ දුරට මෙලොවදීම ලැබෙන බවට මෙය හොඳ නිදසුනකි. කච්චායන හිමියන් කඤ්චනවත නම් උයනෙහි වැඩ වසන බව උයන්පල්ලාගෙන් දැනගත් උදේනි රජතුමා වහා එහි ගොස් බුදුරදුන් කොහිදැයි විමසුවා. එවිට මහා කච්චායන හිමියන් පැවසුවා පළමුව තමන්ට උදේනි නුවරට වැඩම වීමට උන්වහන්සේ නියම කළ බව. පැහැදීමට පත් රජතුමා ඒ රහත් පිරිසට මහත් සේ උපස්ථාන කළා. එහි දී බණ ඇසූ බොහෝ දෙනා පැහැ දී පැවිදිව මග ඵල ලබා ගත්තා.

දන් දීමෙන් අග බිසව බවට පත් දේවිය රජතුමාගේ අවසරය පරිදි කඤ්චවන නම් උයනෙහි ආරාමයක් කරවා කච්චායන හිමියන්ට පූජා කළා. කච්චාන හිමියන්ට ඉතා ලස්සන ශරීරයක් තිබුණා. දිනක් කච්චායන තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩමවීම සඳහා සිවුරු පොරවමින් සිටියා. මේ වෙලාවේ මහා ධනවත් සොරෙය්‍ය සිටු පුත්‍රයා දිය නෑම සඳහා ගමන් කරමින් සිටියා. එහි දී කච්චාන හිමියන්ගේ ශරීරය දුටු සොරෝය්‍ය සිටු පුත්‍රයා මෙහෙම සිතනවා. “ මේ වගේ ලස්සන ශරීරයක් මගේ භාර්යාවට තිබුණානම් කොපමණ හොඳද” මේ දරුණු සිතිවිල්ල නිසා සොරෙය්‍ය සිටු පුත්‍රයා පිරිමි බවින් වෙනස්ව කාන්තාවක වූ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. බුදුරදුන් ජේතනවනාරාමයෙහි වැඩසිටිය දී ම මධුපිණ්ඩික සූත්‍රය කාරායන සූත්‍රය ආදී දේශනා රාශියක්ම ඉතා කෙටියෙන් දේශනා කොට වදාළා. එවැනි අවස්ථාවල කච්චායන තෙරුන්වහන්සේ විස්තර සහිතව හා නිවැරැදිව එම ධර්මය දේශනා කොට වදාළා. එය කච්චායන හිමියන් මෙලොවදීම ලබාගත් විශේෂ දක්ෂතාවයක් නොවෙයි.පදුමුත්තර බුදුරදුන් දවස කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් දේශනා කර භික්ෂූන් අතර අග තනතුර පිරිනමනවා දැක දානාදී පින්කම් කොට තමන්ටත් එවැනි තනතුරක් ලැබේවායි කළ පැතුමට අනුව ලැබූ විශේෂ දක්ෂතාවයක්.

ඒ නිසාම අප ගෞතම බුදුරදුන් විසින් කෙටියෙන් දේශනා කරන ලද ධර්මය විස්තර වශයෙන් දක්වන භික්ෂූන් අතර අගතනතුර මහා කච්චායන හිමියන්ට දේශනා කොට වදාළ බව ශාසන ඉතිහාසය සඳහන් කරන ලද පින්වල ඵලය සසර දීර්ඝ කාලයක් සැප සම්පත් ලබාදීමටත් නිවන් අවබෝධ කරගැනීමටත් හේතුවන බව මෙයින් පැහැදිලි වෙනවා.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]