UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින්බර වස්සානයේ කතාව

පින්බර වස්සානයේ කතාව

හේමන්ත ගිම්හාන හා වස්සාන යනුවෙන් ඍතු තුනකි. මින් නොවැම්බර් මස මුල පටන් පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත ඍතුව හැටියටත් මාර්තු මස මුල පටන් ජුනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන ඍතුව හැටියටත් පිළිගැනෙන අතර ජුලි මස මුල පටන් ඔක්තොම්බර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන ඍතුව වශයෙනුත් සැලකේ.

වස්සාන ඍතුව පුරා එක දිගට වැසි හට ගනියි. එය එක් අතකින් සත්ත්ව ප්‍රජාවට යහපත් කාල පරිච්ඡේදයක් වනවාක් මෙන් ම අනෙක් අතින් කරදරකාරි වකවානුවක් ද වේ. විවිධ පක්ෂිහු මෙන් ම සිවුපාවෝ ද මේ කාලය තුළ තම ලැගුම් හල් තුළට වී කල් යවති. මනුස්ස ප්‍රජාව තම ගමන් බිමන් පවා අඩු කරති. භික්ෂූන් වහන්සේලා එම කාල වකවානුව පෙර පරිදි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අයුරින්, ධාරානිපාත වැසි නොතකා දහම් චාරිකාවෙහි හැසිරෙති. ගෙපිළිවෙලින් පිඩු සිඟා වඩිති. මේ හේතුවෙන් වැස්සට මැනවින් වැඩෙන නිල් තණ කොළ පාද ස්පර්ශ වීමෙන් පොඩි වෙති. කුඩා කෘමි සතුන් නොදැනුවත්වම පෑගෙති. එම හේතුවෙන් කෘමි සත්තු විනාශ වෙති. මහා මාර්ග, අතුරු මාර්ග හා නියර ඇළ දොල හරහා වැඩම කිරීමෙන් සිරුරේ මඩ තැවරෙති. ඇඳ පොරවා ගත් සිවුරු ද මඩ තැවරෙති. මේ සිද්ධි දකින්නට ලැබෙන බොහෝ මිනිස්සු භික්ෂූන්ට චෝදනා කරන්නට වුහ.

මේ මහජන උද්ඝෝෂණයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබුණි. උන්වහන්සේ බොහෝ විට ලෝකාපවාදය දුරු කිරීම පිණිස ශික්ෂා පද පැනවූහ. ඒ අනුව භික්ෂූන් රැස් කරවා කරුණු අවබෝධ කොට දී ලෝකාපවාදය දුරලනු සඳහාත්, භික්ෂූන් වහන්සේගේ සුව පහසු විහරණය පිණිසත් සලකා වස් විසීමට අනු දැන වදාළහ. එසේම භික්ෂූන් වස් විසූ විට ශ්‍රද්ධාවන්ත දායක දායිකාවන්ට පින්, මෙන්ම කුසල් සිද්ධ කර ගැනීමට හැකිවන බවත් දෙසූහ.

‘අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි, වස්සානයෙහි වස් එළඹීමට අනු දනිමි යන ශික්ෂා පදය පැනවූහ. වස් එළඹීම් දෙකකි. ඒ පෙර වස් විසීම හා පසු වස් විසීම යනුවෙනි. පෙර වස් එළඹීම කළ යුත්තේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි. යම් කිසි කරදරයක් හේතුවෙන් පෙර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූ නමක් පසු වස් සමාදන් විය යුතු ය. එය කළ යුත්තේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනය. යම් කිසි කරදරයක් හේතුවෙන් පෙර වස් එළඹීමට නොහැකි වූ භික්ෂු නමක් පසු වස් සමාදන් විය යුතු ය. එය කළ යුත්තේ නිකිණි මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි. යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නියමිත දින වස් නොඑළඹියහොත් දුක්කටාපත්ති ඇවැත් සිදුවේ. එහෙයින් උපසම්පදා භික්ෂූන්ට වස් විසීමට ආරාධනා කළත් නොකළත් අනිවාර්යයෙන් ම වස් එළඹීම සිදු කළ යුතු වේ.

වස් සමය ගිහි පැවිදි සබඳතා තර කෙරෙන කාල වකවානුවක් වශයෙන් හැඳින්විය හැකි ය. විහාරස්ථාන සතර පේරුවේ දායකකාරකාදීහු ඇසළ පුර පසළොස්වක පොහොය දින විහරස්ථානයට රැස් වී දැහැත් ගොටුවක් හෝ දැහැත් වට්ටියක් සකස් කොට මේ තුන්මාසය වස් වාසය කරන ලෙස ආරාධනා කරති. එම ආරාධනාව පිළිගන්නා උපසපන් භික්ෂූන් වහන්සේ නියමිත දිනය පොහොය සීමාමාලකයට රැස්ව සංඝ විනය කර්ම සිදු කොට ඇසළ අව පෑලවිය දින වස් එළඹෙති. අනතුරුව ස්වකීය විහාරස්ථානයේ වැඩ වෙසෙමින් බණ භාවනාදිය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරති. ඒ තුන් මාසයත්, චීවර මාසයත් යන සාර මාසය තුළ දායකදායිකාවන්ට නිතර නිතර ධර්ම දේශනා කරති. දායක දායිකාවෝ ද අනෙක් කටයුතුවලට වඩා උනන්දුවකින් හා කැපවීමකින් භික්ෂූන් වහන්සේලාට සලකති. සුවදුක් සොයා බලති. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් උපස්ථාන කරති.

එහෙයින් මේ වස් සමය ගිහි පැවිදි දෙපර්ශ්වයේ ම පිං දහම්හි නියැළෙන පින්බර කාල පරිච්ඡේදයක් හැටියට සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි භික්ෂූන් ට වස් එළඹීමට නියමිත තැනක් නොවී ය. ඒ හේතුවෙන් භික්ෂූන් වහන්සේලා විශාල ගස් බෙනවල,ගස් දෙබල්වල, විශාල ගස් පත්‍ර යට, වස් සමාදන් වූහ. එබඳු ස්ථාන වස් විසීමට සුදුසු නොවන හෙයින් මහජනයා භික්ෂූන්ට දෝෂාරෝපණය කළහ.

ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ එබඳු ස්ථානවල වස් විසීම තහනම් කොට වදාළහ. විහාරාරාම, ගුහා, කුටි යනාදී යෝග්‍ය ස්ථාන වස් එළඹීම සඳහා තෝරා ගන්නා ලෙස අනුදැන වදාළහ. එකී ස්ථානවල වස් එළඹුණ නමුත් සිවුපා සතුන්ගෙන්, සර්පයන්ගෙන්, සොරුන්ගෙන් , ගින්නෙන් හා ජලයෙන් යම් හානියක් සිදුවන්නේ නම් එකී ස්ථාන අතහැර යාමට අවසර තිබේ. එමඟින් වස් බිඳීමක් හෝ කඩවීමක් සිදු නොවේ.

සත්තාහ කරණයෙන් යෑම ද වස් විසූ භික්ෂූන් වහන්සේලාට අවසර තිබේ. එමගින් ඇවතක් සිදු නොවේ. සත්තාහකරණය යනු වස් එළඹි භික්ෂු නමක් හදිසි අවස්ථාවක දී අත්‍යවශ්‍ය කටයුත්තක දී හෝ හත් වෙනි රාත්‍රිය ඉක්මීමට පෙර එන්නෙමියි පිටත්ව යෑමයි. ඒ අනුව හත්වෙනි රාත්‍රියට පෙර නැවත ආරාමයට පැමිණීම කළ යුතු ය. එහෙයින් වස් නොබිඳේ. සත්තාහකරණයේ යා හැකි අවස්ථා රාශියක් ම මහාවග්ග පාලියේ “වස්සුපනායික්ඛන්ධකයේ” දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී එහි පැමිණි භික්ෂූන් තිස් නමක් සාකේත නුවර වස් විසීමට අවසර ගෙන එහි වැඩමවා වස් අවසානයේ යළි පැමිණෙමින් සිටිය දී ධාරානිපාත වර්ෂාවකට හසු වූහ. සිවුරු තෙමී ඇඟ මඩ ගෑවී සීතලෙන් මැඩුණ ද ගමන නොනවත්වා ජේතවනාරාමයට පැමිණි උන්වහන්සේලා තමන් සතුව අතිරේක සිවුරක් නොතිබු බැවින් මෙම මහත් වූ විපතට පත් වූ බැව් බුදුරජාණන් වහන්සේ හමුවේ පවසා සිටියහ. ඒ අනුව මහණෙනි , වස් වැස නිම කළ භික්ෂූන්ගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමියි කඨින චීවර පූජාව අනුදැන වදාළහ.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk