UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිම් නැති ගුණ ඇති අම්මා

දුන් ඔවා දැන් පවා සිහිවේය නොකීවාට

පින් පුරා සෙත් පතමි හැදූ මගෙ අම්මාට

 

 

මම පැවිදි වුඩේ අවුරුදු අටේදී. දැන් අවුරුදු හතළිහකට වඩා පැවිදි ජීවිතයේ අත්දැකීම් තිබෙනවා. ලංකාවේ වගේම විදේශවලත්, විශේෂයෙන් කැනඩාවේත් මා උසස් අධ්‍යාපනය ලැබුවා. මම උසස් අධ්‍යාපනයට පිවිසෙනවිට විදේශීය මහාචාර්යවරියක් ඇසුවේ ‘ඉහළ ඉගෙනීම්වලට එන්නේ රැකියාවක් කරන්න. ඔබ වහන්සේ මොකටද ආවේ’ කියලයි. මම සඳහන් කළේ රට ලෝකය ගැන, සංස්කෘතිය ගැන දැනගන්න ඕනෑ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබගේ වගේ රටවලටත් මට පහසුවෙන් කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලයි.

මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය වැනි උසස් පාසල්වල, විශ්වවිද්‍යාලවල ඉගැන්වූවා. ඒ හැම වෙලාවෙම මම උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැකිතාක් දුරට ඒ හිත්වලට ඇතුල් කරලා දෙන්නයි. මොන විදිහේ තාක්ෂණ මෙවලම් තිබුණත්, මම තවමත් ජංගම දුරකථනයක් භාවිත කරන්න හිතට ගත්තේ නැත්තේ, ගන්නේ නැත්තේ මගේ හිත හැකිතාක් දුරට බුදුරජාණන් වහන්සේගේ ධර්මයතුළම චාම්ලෙස පවත්වාගෙන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැකිතාක් දුරට සැහැල්ලුවෙන් ලෝකයට පෙන්වන්න උත්සාහ කරන නිසයි. ඒ නිසා මම තවමත් කැමැති ලෝකයේ කොහේ ගියත් මා හදවතින් දුටු, පොතපතින් දුටු, භාවනාවෙන් දුටු, සමාධියෙන් දුටු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්, කල්‍යාණ වන්තයෙක් හැටියට හැම කෙනෙකුගේම ජීවිතවලට සමීප වෙන්නයි.

 


ආචාර්ය 
මිරිස්සේ ධම්මික නා හිමි

මම ඉපදුණේ මාතර මිරිස්සේ, හේන්වල ප්‍රදේශයේ. අම්මා ඇස්ලින් ජයසිංහ මාතාවයි. එතුමිය උපත ලැබුවේ 1935 අවුරුද්දේ. දැන් අවුරුදු 83 ක් පමණ වයස වෙනවා. මා ගෙදර ජීවත් වූකාලය තුළ අම්මා පිළිබඳ මතකය පවතින්නේ ඉතා කෙටි කාලයක්. මම පැවිදි වුණේ අවුරුදු අටක තරම් කුඩා කාලයේ දී. ඒ වුණත් අම්මගේ සෙවණේ ගත කළ ඒ කුඩා කාලය මට ඉතාම හොඳින් මතකයි.

නිතරම ගමේ විහාරය ආශ්‍රය කළා. ඒකට එක හේතුවකුත් තිබුණා. ඒ තමයි, අප ඉගෙන ගත්ත හේන්වල ජයතිස්ස කණිෂ්ඨ විද්‍යාලය ඒ කාලේ තිබුණේ, පන්සල් භූමියේමයි. ඒ නිසා විවේක කාලයට වතුර බොන්නත් ගියේ පන්සලේ ළිඳටමයි. ලොකු ස්වාමීන් වහන්සේ නිතර දකිනවා. දවසක් වතුර බොන්න ගිය වෙලාවක ලොකු ස්වාමීන් වහන්සේ අපි ඇතුළු යහළුවෝ කීප දෙනකුගෙන් ඇසුවා මහණ වෙන්න කැමැති ද කියලා. ඒකට මමත් තව යහළුවෙකුත් කැමැති වුණා. ගෙදර ගොස් අම්මට මේ ගැන සඳහන් කිරීමෙන් අනතුරුව මුලදී අකැමැති වුණත්, ඊළඟ අවස්ථාවේ අම්මා කැමැති වුණා. ඒ අනුව තමයි පැවිදි වෙන අදහස සාංසාරික පුරුද්දක් වගේ මුලින්ම හිතට ආවේ. මහණ වෙන්න අවසර දුන්නු අම්මා කීව කතාවක් මට තවම මතකයි. තමන්ගේ ම කැමැත්තෙන් ම මහණ වෙන්න යනවා නම් නැවතත් ගෙදර නම් එන්න බැහැ. කැමැත්තෙන් ම, අවබෝධයෙන් ම මහණ වෙන්න ගොස් ඒ මහණකම ඉතාම හොඳින් රැකගෙන අපටත් බණ කියාගෙන යහපතක් කරන්න හැබෑවටම කැමැත්තක් ඇති කර ගන්න ඕනෑ. හැරිලා ආපහු ගෙදර නම් එන්න බැහැ. කියන අදහසයි. මේ අදහස් පෙළ තවමත් මගේ හිතේ හොඳටම තිබෙනවා. මේ රටේ වුණත්, ලෝකයේ කොතැනක වැඩ සිටියත් ‘මම භික්ෂුවක්’ ‘භික්ෂූන් වහන්සේ නමක් කෙසේ හැසිරිය යුතුද?’ කියන අදහස අර, අම්මා පෙන්වා දුන් අදහස ඔස්සේ හැමදාම මගේ හදවතට කතා කරනවා. ඒ වගේම අම්මා අප ගෙදර සිටියදී කළ කී දේ ශාසනික පැවැත්මක් ඇති කරගන්න, මහණකම හොඳින් රැකගන්න, සාමණේර කාලයේ දී බොහොම උපකාර වුණා. විශේෂයෙන් ම අවුරුදු අටේ දී පමණ මහණවෙලා, විහාරයකට පැමිණෙනවා කියන්නේ අම්මා, තාත්තගේ ආදරයෙන්, කරුණාවෙන් බැහැර වූ බවක් මුල් කාලයේ දී දැනෙන්න පටන් ගන්නවා.

අම්මා ළඟ, තුරුලට වී නිදාගත්ත පොඩි දරුවෙක් තනි කාමරයක, බිම පැදුරක, හුදෙකලාවක, විශාල ප්‍රදේශයක තනියෙන් ඉන්නාවිට රාත්‍රී කාලයක දැනෙන හැඟීම දරුවන් සිටින මව් දෙමව්පියන්ට ඉතාම හොඳින් දැනෙනවා ඇති. ගෙදරක පොඩි දරුවෙක් වුණත් සිහිනෙන් බියවෙලා හඬන විට අම්මා කෙනෙකුගේ ආදරය, ළෙන්ගතුකම මොනතරම් පිහිටක් ද කියන එක පැහැදිලියි. එහෙත් පුංචි වයසේ පැවිදි වූ සාමණේර නමකට එවැනි අවස්ථාවකට මුහුණ දෙනවිට ඇතිවන සිතිවිලි මොනවගේ ද කියලා දැනෙනවා ඇති. ගෙදර සිටින කාලය පුරාවටම නැහැවුයේ, හිස පීරුවේ ඒ වගේ ම ඇඳුම පැළඳුම සකස් කළේ, පිරිසුදු කරලා දුන්නේ, බොහෝ විටෙක නිතරම මතකයේ තිබෙන කෑම කැවුවේ අම්මා. එහෙත් පැවිදි වුණාට පස්සේ පුරුද්දකින් තොරව මේ සියල්ල නොලැබිලා යනකොට පැවිදි ජීවිතයක වුණත් ඇතිවන හැඟීම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුංචි රාහුල කුමාරයාත් අවුරුදු හතේ දී පැවිදි වුණාට බුදු හාමුදුරුවෝ අධ්‍යාත්මික වශයෙන් මනා රැකවරණයක් ලබා දුන්නා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා සමඟ සාමණේර ඇත්තන්ට එක වහලක් යට රාත්‍රිය ගත කරන්නා එපා කියලා විනය නීතිය පැන වූ අවස්ථාවේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා සාමණේරයන් වහන්සේ නමක් වූ පුංචි රාහුල හාමුදුරුවන්ට එළියට යන්න කිව්වා. එළියට ගිය රාහුල හාමුදුරුවෝ රාත්‍රිය ගත කළේ වැසිකිළියේ. හිමිදිරියේ මේ බව දුටු බුදුරජාණන් වහන්සේ විනය නීතිය වෙනස් කොට අරුණ නැගෙන තෙක් සාමණේරයන් වහන්සේලාටත්, උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරයේ වැඩ සිටිය හැකි බව පනවනු ලැබුවා. වර්තමාන පරිසරය තුළ සාමණේර අවධිය මොන වගේ ද කියලා සිතා ගන්නට පුළුවනි. ගෙදර දී අම්මා කෙනෙකුගෙන් ලැබෙන, පිය කෙනෙකුගෙන් ලැබෙන ඒ කරුණාව, සෙනෙහස, ළෙන්ගතුකම පැවිදි ජීවිතයක තව දුරටත් පවත්වා ගන්න මගේ අම්මා ලබා දීපු උපදෙස් බොහෝමයි. වර්තමානයේ, අප තරම් රට ලෝකය දැකලා නැති වුණාට, ලක්ෂ ගණනාවක් ආශ්‍රය කරලා නැති වුණාට රට ලෝකය දුටුවා වගේ, දහස් ගණනක් ආශ්‍රය කළා වගේ ඒ තිබුණු පරිණත බව වඩාත් වැටහෙන්නේ ධර්මය මැනවින් අවබෝධ කරගන්නා විට, වර්තමානයේ දී අම්මා කීව අදහසක් නම්, ඔය මහපොළොවේ ඉරි තැලිලා තිබෙන තැන්වලින් යම රජ්ජුරුවෝ උඩට එන්න පුළුවන්. එහෙම ඇවිදින් බොරු කියන අය මහ පොළොව යට ට ඇදගෙන ගිහින් කට ට ලෝ දිය වක්කරාවි. ඒ නිසා කවදාවත් බොරු කියන්න එපා.’

අල්ලපු ගෙවල්වල වුණත් වෙරළු ගසක ගෙඩියක් වැටිලා තිබුණත්, අවසරයක් නැතිව නම් අහුලා ගන්න එපා. එහෙම කළොත් ඒක සොරකමක්. යම රජ්ජුරුවෝ ඔබලා අපායට ඇදගෙන ගිහින් කටු ගහේ නග්ගවයි. කවදාවත් ඒ වගේ දේවල් කරන්න එපා. අම්ම කීව ඒ කතාව ශාසනික පුරුද්දක් වශයෙන් සසරේ පැමිණි මේ පැවිදි ජීවිතයේ පුරුද්දට තව තවත් මග පෙන්නුවා කියලා මට හිතෙනවා.

සිද්ධාර්ථ කුමාරයා බුදු බව පතාගෙන පැමිණි බෝධි සත්ත්ව උතුමෙක්. සාර අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කළ බවට ධර්මයේ ඉතිහාසය කියනවා. එහෙත් උයනට යද්දී දුටු මහලු වූ කෙනෙක්, ලෙඩ වූ කෙනෙක්, මළ මිනියක් හා පැවිදි රුවක් දැකීම උන්වහන්සේ තමන් වහන්සේගේ සසර පුරුද්ද මතු කරගන්න හේතුවක් කර ගත්තා. තමන්ගේ ගමන ඉක්මන් කරගත්තා. රජ සැප විඳි සිද්ධාර්ථ කුමාරයා ගමන ඉක්මන් කරන්න මේ සතර පෙර නිමිති ලෙස හඳුන්වන සිදුවීම් හතර වඩාත් ප්‍රබලව බලපෑව බවට අපගේ විශ්වාසයක් තිබෙනවා. ගෙදර දී අම්මා පැවසූ එවැනි අදහස් ශාසනයට ලැදියාවක් තිබුණු උපාසිකාවකගේ ඇවතුම් පැවතුම්, සාංසාරික පුරුදු දියුණු කරගන්නට, මතු කරගන්නට හේතුවක් වුණා කියලා අපට දැන් වැටහෙනවා.

අප ඒ කාලයේ බලාගෙන සිටියා මතකයි. ගෙදර එළියේ තෙල් හිඳින කොට, ඒ කාලේ හිසේ ගල්වන පොල් තෙල්, ඒ වගේම යම් වූද ඖෂධවලට යොදා ගන්නා තෙල් සිඳිනු ලැබුවේ ගෙදර එළියේ මිදුලක. ඒ තෙල් සිඳින කොට ලිප මොළවන්නට හනසු, ලී කැබලි ගින්දරට දාන විට ඒවා කීප වතාවක් පොළොවේ ගසා දානවා. ඒ ඇයිදැයි ඇසූ විට අම්මා කියන්නේ “මේවා ඇතුළේ සත්තු ඉන්න පුළුවන්. ගසා නොදැමුවොත් ඒ සත්තු මැරෙයි කියලයි” “කෝ ඉතින් සත්තු පෙනෙන්නේ නැහැනේ’ යි කී විට කියන්නේ ‘පේන්න නැතිවුණාට කමක් නැ. නොපෙනී හරි ඉන්න පුළුවන්. ඒ නැති වුණත් පුරුද්දක් වශයෙන් මේ දේ කළාම වැරැදිලාවත් සතෙකුට විපතක් වෙන්නේ නෑ කියලයි. ඒ නිසා කුරා කුහුඹුවකුටවත් වරදක් දැන දැන නම් වෙන්න එපා කියන එක පුංචි කාලේ ඉඳන් ම දැක්කේ, ඉගෙන ගත්තේ අම්මගෙන් කියලා කිව්වොත් ඒක බොහෝම නිවැරැදියි.

අප නිතර විහාරයට ගියා. ඒ පාසල විහාර භූමියේ තිබූ නිසා. පොහෝ දවස්වල බොහෝවිට ගත කළේ ගමේ විහාරයේ. ඒ වුණාට ඒකට නිසි මඟ පෙන්වූවේ අම්මගේ වචන හා ඇවතුම් පැවතුම්. ඒ වගේ ම මගෙ අම්මා රත් කළ උණුවතුර මහ පොළවට කවදාවත් එකවිටම හැලුවේ නෑ. නිවෙන්න තැබුවා. හේතුව ඇසුවා ම කීවෙත් අර විදියේ කතාවක්. ‘මේ උණුවතුර සත්තුන්ගේ ඇඟට වැටිලා ඒ සත්තු මියැදෙන්න පුළුවන්. හැම සතුන්ටම ගරු කරන්න කියලා, මෛත්‍රිය කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවේ ඒකයි.’ කියලා අම්මා නිතර කියනවා. හැම දවසකම බුදුන් වැඳලා සියලු සත්ත්වයෝ සුවපත්වේවා කියලා කියනවා නම්, ඔන්න ඔය විදිහට තමයි හැසිරෙන්න ඕනෑ කියලා අම්මා උගන්වපු දේ දැන් බොහෝ දෙනාට ධර්මය දේශනා කරන කොට නිතැතින් ම මතකයට නැගෙනවා. එහෙමනම් සිංහාසන හදලා ඔටුනු පැළන්දුවේ නැති වුණාට, ගිහි කාලය තුළම එවැනි අම්මා කෙනෙක් හැබෑවටම බුදු විය යුතුයි කියලා, බුදු අම්මා කෙනෙක් වගෙයි කියලා අපේ රටේ සංස්කෘතිය අනුව පවසනකොට ඒක අපට දැනෙනවා. ඒ වගේ ම කියවන ඔබටත් ඒ කතාව හොඳින් දැනෙනවා ඇති. අපි ලක්ෂ ගණනකට හෝ දහස් ගණනකට හෝ මව්වරුන්ට දරුවෝ ගැන කතා කරල තිබෙනවා. ඒ වගේ ම දරුවන්ට මව් දෙමව්පියෝ ගැන කතා කරලා තිබෙනවා. අම්මලා, තාත්තලා ජීවත්ව සිටිද්දී මියැදුණු දරුවෝ වෙනුවෙන් හඬන දෙමව්පියන්ගේ සිත් සුවපත් කරන්න නිතර කතා කරලා තිබෙනවා. තමන්ගේ ජීවිතය කවදාවත් නොලැබුණු සැප සම්පත් දරුවන්ට දෙන්න උත්සාහ කළ, තමන්ට නොලැබුණු උගත්කම් දරුවන්ට දෙන්න කාටහරි අතපාලා, දරදිය ඇද හෝ කටයුතු කරනවා එකී මව්පියෝ වෙනුවෙන් දරුවන් ඉදිරියේ ධර්මය දේශනා කරන විට ‘මගේ අම්මා’ කියන වචනය නිරන්තරයෙන් ම මතකයට නැගෙනවා. රජ මැදුරක් නොවුණත්, එවැනි අම්මා කෙනෙක් රජ මැදුරකසේ දරුවකුට දක්වන හදවතේ ඇතිවුණු ආදරය, ලෙන්ගතුකම, කරුණාව සිත්වලට දැනෙනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිතට දැනෙන හැම වෙලාවකම දැනෙනවා. අම්මා කෙනෙක් දෙස බලනවා වගේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහියට නැගෙන හැම වෙලාවකම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන් අයට දේශනා කරන හැම වෙලාවක ම මගෙ සිතට දැනෙන්නේ ‘මගේ අම්මා’ ගෙදර දී එදා දුටු අම්මාත්, ඒ වගේ ම ඉගෙන ගත්ත කාලය තුළ ගෙදර හිටියත් පැවිදි ජීවිතයක් ගත කරන අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී එනම්, අසනීපයක් වුණා කියලා දැන ගත්තම, විභාගවලට මුහුණ දෙනවා කියලා දැන ගත්තම, බෝධිපූජා කරලා, තෙරුවන් වන්දනා කරලා සෙත් පැතුවා කියලා, වෙහෙර විහාර වන්දනා කරලා ඒ කුසලයන් පොඩි ස්වාමීන් වහන්සේට ආරක්ෂාවක් වේවා කියලා සෙත් පැතුවා කියලා සහෝදරාදීන් කියන කොට අම්මා මොනවගේ ද කියලා හිතට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ, රාග ද්වේශ මෝහයන්ගෙන් තොරව අම්මා දෙස බලන්න කියලා කළ දේශනාව හැම අම්මා කෙනෙක් දකින විට මගේ අම්මාගේ මුහුණ මුලින්ම මතුවෙලා රාගයෙන්, ද්වේෂයෙන්, විනිර්මුක්ත, පිරිසුදු හිතකින් ඒ හැම අම්මා කෙනෙක් ම දැනෙන්න පටන් ගන්නවා.

ගෙදරදි දුටු අම්මා ලෙන්ගතුකමින්, ආදරයෙන් ළං ව හිටියා. එය ඉතාම හොඳින් මේ ජීවිතය තුළ ලැබුවා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ලෙස අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ එකම දරුවා අයුෂයෙන් රකිනවා වගේ එනම්, ජීවිතය දෙවැනි කරලා රකිනවා වගේ මේ ලෝකයේ හැම සද්පුරුෂ අම්මා තාත්තා කෙනෙක්ම දරුවන් දෙස දකින, හිතන ආකාරය ඒ වගෙයි. මේ ටික මගේ අම්මාගෙන් මා දකිනවා. මේ ටික අම්මාගෙන් අහලා බැලුවොත් සමහරවිට කිසිවක් කියන එකක් නෑ. නිශ්ශබ්ද වෙයි. සිනා මුසුවෙයි. කරුණාවෙන් යුතුව බිම බලාගනියි. සද්පුරුෂ ගුණවන්ත අම්මා කෙනෙකුට දරු සෙනෙහස වචනයකට ගොනු කර පැවසිය නොහැකියි. තිසරණයේ පිහිටන අපට, සද්පුරුෂ, ගුණවන්ත අම්මා කෙනෙකුගේ ගුණය ආකාශය වගේ කියලා උපමාවකින් හිතා ගන්න පුළුවන්. අම්මා කෙනෙක් නොවෙන්න බුදු උතුමෙක් ලෝකයට කොහෙන්ද?තුන් ලොවක් සනහන බුදු උතුමෙකුට මඟ පෙන්නුවේ අම්මා කෙනෙක්මයි. මේ සංසාර ගමනේ මනුෂ්‍යත්වය ලබාදීම ම මොන තරම් වටිනවා ද? මේ ලෝකෙම මව්වරු, මට අම්මා කෙනෙක් වන්නේ මගේ අම්මා නිසයි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk