Print this Article


සත්ථා දේවමනුස්සානං

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 42

සත්ථා දේවමනුස්සානං

දවසක් කේවට්ට නමැති කියා ගෘහපතියෙක් බුදුන් වහන්සේට ආරාධනාවක් කරනවා.

මොකක්ද මේ ආරාධනාව? ස්වාමීනි, ඔබ වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා නම් කොච්චර හොඳද?, ශ්‍රාවකයොත් ඍද්ධි ප්‍රාතිහාර්යය පානවා නම් හොඳයි නේ ද?” ඇයි ඒ? ‘ඍද්ධි ප්‍රාතිහාර්ය කරන කොට දායකයෝ ඕනතරම් එනවා.පැහැදෙනවා කියා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඍද්ධි ප්‍රාතිහාර්ය වර්ග තුනක් තියෙනවා.

ඍද්ධි ප්‍රාතිහාර්ය ,ආදේශනා ප්‍රාතිහාර්ය හා අනුශාසනා ප්‍රාතිහාර්ය වශයෙන්.

'දිනක් පිණ්ඩෝලභාරද්වාජ මහ රහතන් වහන්සේ සඳුන් පාත්තරයක් ඍද්ධියෙන් ගත් නිසා බොහෝ පිරිසක් වැල නොකැඩී ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම තහනම් කළා ' තවත් දවසක මහක මහාරහතන් වහන්සේ චිත්ත ගෘහපතියාගේ ආශ්‍රමයට ගිහින් ඉන්න කොට චිත්ත ගෘහපතියා කියනවා ඍද්ධි ප්‍රාතිහාර්යයක් පාන්න , බලන්න ආසයි කියලා. එහෙනම් ඉතින් හොඳයි ඔය ඇත්තාගේ උතුරු සළුව මෙතනින් තියන්න තණකොළ ටිකක් ඒ උඩින් තියන්න කියනවා. මහක ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ ඇතුලට ගිහින් දොර කවුළුවෙන් ගිනි සුළියක් එවනවා. අර තණකොළ සියල්ල පිච්චුවා. සළුව පිච්චෙන්නෙ නෑ. ඊට පස්සේ චිත්ත ගෘහපතියා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මෙහිම වැඩ ඉන්න. මම ඔබ වහන්සේට සිව්පසින් උපස්ථාන කරන්නම් කියා. මම මේ පැත්තටවත් ආයි එන්නේ නෑ කියා උන්වහන්සේ පාත්‍ර සිවුරු රැගෙන වැඩියා. මොකද ආරාධනාව නුසුදුසු ආරාධනාවක් නිසා. එතකොට ඉතින් මෙතුමා දන් දෙන්නෙ ඍද්ධිය නිසා. බැරිවෙලාවත් ඍද්ධිපාන්න බැරි කෙනෙක් ආවා නම් දන්දෙන්නෙත් නැහැ. අන්න ඒකයි එතන හේතුව.

බුදුරජාණන් වහන්සේ දොළොස්වන වස් කාලයේ වේරඤ්ජා නුවර වැඩ ඉන්නා විට මහා දුර්භික්ෂයක් ඇතිවුණා. මුගලන් මහා රහතන් වහන්සේ කොච්චර උපක්‍රම යෙදුවද? එක දවසක් කියනවා මම මේ භික්ෂූන් වහන්සේලා අරගෙන උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතයේ වඩින්නම්. නෑ නෑ මොග්ගල්ලාන අවශ්‍ය නෑ. ස්වාමීනි , එහෙනම් මේ මහපොළව පෙරළලා ඇතුලේ තියෙන පඨවි රසය මම ගන්නම්. කොහොමද ගන්නේ මුගලන්, ස්වාමීනි! අනෙක් අතට තව එක ලෝකයක් මවාගත්තා නම් මේ ලෝකයේ ඉන්න සත්වයන් ටික ඒ ලෝකයට මාරු කරලා පෙරළනවා.

‘මුගලන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව එහෙම වුණා නම් අද කාලේ ඔය ඇත්තොත් අපට කියයි දානේ නැතිවෙන කොට අඩුපාඩු වෙනකොට ‘ඇයි ඒ කාලේ අර මහ පොළව පෙරළලා රස පඨවි ඕජාව වැළඳුවේ, ඔබ වහන්සේත් එහෙම වළඳන්න’ නැත්නම් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතයේ වැඩලා පිණ්ඩපාතෙ හොයාගන්න. ඔය ඇත්තොත් අපට කියයි අන්න ඕවා නිසා තමයි අනාගතය ගැන බලා බුදුපියාණන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය තහනම් කළේ.

ඊළඟට ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ මොකක්ද? ඒකත් ඍද්ධි ප්‍රාතිහාර්ය හා සමානයි. මොකක්ද? ඍද්ධි ප්‍රාතිහාර්ය කියා කියන්නේ? බුදුරජාණන් වහන්සේ හරි , ආර්ය ශ්‍රාවකයෙක් හරි අධිෂ්ඨාන කරනවා කොටස් වශයෙන් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න, උදාහරණ ගත්තොත් තුන්වෙනි ධර්ම සංගායනාවේ මොග්ගලීපුත්ත තිස්ස මහා රහතන් වහන්සේ ධර්මාශෝක රජ්ජුරුවන්ට ඍද්ධි ප්‍රාතිහාර්යක් දක්වනවා මතකද? පොළව කොටසක් ලකුණු කරලා කොන් හතරේ ගවයෙක්, අශ්වයෙක් වාගේ සත්තු කියා මනුස්සයෙක් හිටවලා උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා, මේ කොටුව ඇතුලේ කොටුව විතරක් සෙලවේවා කියලා. එතකොට කොටුව ඇතුල වතුර භාජනය විතරයි සෙල වෙන්නේ. අනික් ටික සෙලවෙන්නේ නෑ. ඒවාගේ අධිෂ්ඨාන කරගත් කොටස් පමණක් ඒවායේ ඍද්ධි පානවාට කියනවා ආදේශනා ප්‍රාතිහාර්ය කියා. ඒකත් බුදුරජාණන් වහන්සේ තහනම් කළා.

අනුශාසනා ප්‍රාතිහාර්ය කියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරලා ඒ ධර්මයෙන් කෙනෙකුට වැටහීමක් අවබෝධයක් කරගැනීමයි. තථාගතයන් වහන්සේ භික්ෂූන්ට අනු දැන වදාළ අනුශාසනා ප්‍රාතිහාර්යයි. සෙසු ප්‍රාතිහාර්ය දෙක තහනම් කළා. එනම් අනුශාසනාව තමා සත්ථාදේවමනුස්සානං කියන එකේ විශේෂත්වය. අනිත් එක තමයි අනුශාසනා ප්‍රාතිහාර්යයේ දී ඇතිවෙනවා විශේෂ ආනිසංස, මොනවද ආනිසංස? ධර්මය නොදන්නා කෙනෙක් ධර්මය දැනගන්නවා. පිළිවෙත නොදන්නා කෙනෙක් පිළිවෙත දැනගන්නවා. ඒ ධර්මයට පිළිවෙතට අනුව කටයුතු කරනවා. දැන් බලන්ට පිලෝතික පරිබ්‍රාජකතුමා ජාණුස්සෝනී කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ තුළ දකින ගුණ ටිකක් කියනවා. ගුණ හතරක්. දවසක් සැවැත්නුවර ජේතවනාරාමයෙන් දවල් කාලයේ පිටවෙලා එනකොට ජාණුස්සෝනී හම්බ වෙනවා. ජානුස්සොනි කොහේ ඉඳලද ඔය එන්නේ? “මම මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා එන්නේ”. බුදුන් වහන්සේ කවුරු වගෙ කෙනෙක් ද? ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ. බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වාසය කරන සෑම ශාස්තෘවරයෙකු අතරම ශ්‍රේෂ්ඨයි . මම දකින ගුණ හතරක් තියෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේගේ ගුණ කියන්න තරම් අප සමර්ථ නැහැ. ගුණ හතරක් මම දැක්කා. මොනවද මේ ගුණ රාජ කුලේ ඥානවන්ත පණ්ඩිතයෝ එනවා බුදුරජාණන් වහන්සේ එක්ක තර්ක කරන්න, වාද කරන්න, නොයෙක් ප්‍රශ්න කරන්න, නොයෙක් ගැටලු අරන් එනවා. ඒ ආවාම බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ඒ ඇත්තෝ දමනය වෙලා, අහන්න ආපු ප්‍රශ්නත් අමතක වෙලා ඒ ඇත්තෝ තෙරුවන් සරණ යනවා. ශ්‍රාවකයෝ බවට පත්වෙලා, අවසානයේ සමහර ඇත්තෝ මහණ දම් පුරනවා. රහත් වෙනවා. ඒක බුදුපියාණන් වහන්සේ ළග තිබුණු ගුණයක්. නොයෙක් තර්ක ශාස්ත්‍ර අරගෙන වාද විවාද අරගෙන බුදුපියාණන් වහන්සේට කතා කරන්න ආවත් ඒ ඇත්තන්ට මේ කිසිදෙයක් කරගන්න වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිල ඒ ඇත්තෝ තෙරුවන් සරණ යනවා. ඊළඟට ගෘහපති පණ්ඩිතයෝ ඒ ඇත්තොත් බුදුරජාණන් වහන්සේ බැහැදකින්න එනවා. ප්‍රශ්න ගොතාගෙන සාකච්ඡා කරන්න. නමුත් ඒ කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල ඒ ඇත්තෝ තෙරුවන් සරණ යනවා ධර්මය අවබෝධ කරගන්නවා. ඊළඟට .ආජීවකයෝ ,පරිබ්‍රාජකයෝ නිගන්ඨයෝ වාගේ අය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා තර්ක ශාස්ත්‍රය අරගෙන .නමුත් ඒ ඇත්තන්ටත් මේ කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ. බුදුපියාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා ඒ ඇත්තනුත් බුදුසරණ යනවා. මේ ඔක්කොම මම දකින්නේ බුදුන්ගේ ගුණ. මේ ඔක්කොම අයිති වෙන්නේ අනූශාසනා ප්‍රාතිහාර්යට. එතකොට ඒකත් සත්ථා දේවමනුස්සානං කියන එකේ කොටසක්.