Print this Article


පි‍්‍රය වචන කතා කරමු

පි‍්‍රය වචන කතා කරමු

මිනිසාට නෙත් යුවළක් හා දෙසවනක් ලැබී ඇත. ඒ විමසුම් නුවණින් යමක් දෙස බැලීමටත්, යමකු ප්‍රකාශ කරන දෙයට කල්පනාකාරීව සවන් යොමු කිරීමටත් ය. එහෙත් ඔහුට ඇත්තේ එක මුවක් හෙවත් කටක් පමණි. මුඛය මිනිසාට ලැබී තිබෙන ඉතා වටිනා වූත්, තීක්ෂණ වූත් ඉන්ද්‍රියයකි.

මුඛය ලැබී තිබෙන්නේ ප්‍රධාන කාර්යයන් දෙකක් කිරීමටය.ශරීරයට ආහාර ඇතුළු කිරීම එක කාර්යයකි. අදහස් ප්‍රකාශ කිරීම හෙවත් කථා කිරීම අනෙක් කාර්යයයි. මෙම කාර්යයන් දෙකම නිවැරැදිව නොකළහොත් ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම ගිලිහිී යයි. ආහාර ගැනීමේ දී අප ප්‍රවේශම් විය යුත්තේ කායිකව ඇතිවන ආබාධ අවම කර කය නිරෝගීව තබා ගැනීම පිණිස ය. කතා කිරීමේ දී තමා පිට කරන භාෂාව පිළිබඳව ආහාර ගැනීමේ ක්‍රියාවලියට වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ය. එක මුවක් පමණක් ලබා දී ඇත්තේ සීමා සහිතව වචන ප්‍රකාශ කිරීමට ය. කියන දෙය නිවැරැදිව අර්ථවත්ව හා පි‍්‍රය උපදවන පරිදි ප්‍රකාශ කිරීමටය. අක්‍රමවත් ලෙස ආහාර භාවිතය නිසා වන හානියට වඩා මුවෙන් ගිලිහෙන වචන අශීලාචාර වුවහොත් තමාටත් අනුන්ටත් වන අයහපත බරපතළ නිසා ය.

“මහනෙල් සුවඳ මය
කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය”

පැරැණි කවියකු මිනිසාගේ මුඛයේ ස්වභාවය දුටු සැටියි මේ. මුවින් පිටවන වදන් වලින් සමාජයක් සැනසිය හැකි ය. එම මුවින්ම ගිලිහෙන වචන නිසා මුළු මහත් සමාජයක් වැනසිය හැකි ය. යහපත් වදන් මිනිස් හදවත නිවා සනසන අතර, අයහපත් වදන් ප්‍රකාශ කරන්නා පරිහානියකට පත් වේ. කථා කිරීමේ මාධ්‍යය ඔස්සේ භාෂාව හැසිරවීමේ දී යහපත අයහපත සිදුවන්නේ කෙසේදැයි කෙටියෙන් විමසා බලමු. වචනවල ප්‍රභේද දෙකකි. ඒ කිව යුතු වදන් හා නොකිව යුතු වචන ය. සත්‍ය වචන, මිහිරි වචන, එකිනෙකා සමගි කෙරෙන වචන, අර්ථවත් වචන කිව යුතු වචන ගණයට වැටෙයි. පරුෂ වචන, අසත්‍ය වචන, පිසුණ වචන හා හිස් වචන අපගේ වචන කෝෂයෙන් බැහැර කළ යුතු ඒවා ය. තිරිසන් සතුනටද මුඛයක් තිබේ. ඒ ආහාර ගැනීමට මිස කතා කිරීමට නොවේ. කතා කිරීමේ හැකියාව මිනිසාට පමණක් ලැබී ඇති අපූර්ව වරප්‍රසාදයකි. ඉන් අදහස් කරන්නේ තමාටත්, අන්‍යයන්ටත් හිත සුව පිණිස එය භාවිත කිරීමට මිස මානව සමාජය අයහපත කරා මෙහෙයවීමට නොවේ. එහෙත් සමාජයේ කී දෙනකු මෙම මාහැඟි ඉන්ද්‍රිය සමාජයේ යහපත පිණිස යොදා ගනීද?

ප්‍රඥාවන්තයින් අගයන හැසිරීමක් සඳහා මිනිසුන්ට සීලය අවශ්‍ය වේ. සිත,කය වචනය යන තිදොර සංවරව පවත්වා ගැනීම යනුවෙන් බුදු දහමේ සීලය අර්ථ කථනය කෙරේ. ඒ අනුව සිල්වතා වාග් සංවරයෙන් යුක්තව වචන පිට කරයි. තම කතාවට හා වචන භාවිතයට තෙමේම වාරණයක් පනවා ගනියි. බුද්ධ දේශනාව තුළ වචනය භාවිත කළ යුතු අයුරු විස්තරාත්මකව පැහැදිලි කර ඇත. වචී සුචරිතයෙහි ආනිසංසත්, වචී දුශ්චරිතයේ ආදීනවත් මොනවාද යන්න ඇතුළත් සූත්‍ර දේශනා ත්‍රිපිටකයෙහි දැක්වේ. අංගුත්තර නිකායේ දසක නිපාතයෙහි එන ධම්ම සූත්‍ර, සාධු සූත්‍ර, චුන්ද සූත්‍රය හා තවත් බොහෝ සුත්‍රවල සාධු ධර්ම හා අසාධු ධර්ම පෙන්වා දෙද්දී වචී සුචරිත හා වචී දුශ්චරිත ගැන බුදුරජාණන් වහන්සේ පුන පුනා විස්තර කරති. “තමා නිසා හෝ අනුන් නිසා හෝ දැන දැන මුසා බස් තෙපලයිද, හිතවතුන් බිඳවීමට පිසුනුබස් පවසාද, සමගිවුවන් බිඳවීමට අනුබල දෙන කතාවල යෙදේද, රිදවීම පිණිස ක්‍රෝධ සිතින් බස් පවසාද, සාමයට අහිතකර හා අනර්ථය පිණිස පවතින අභූත බස් තෙපලයිද, ඉන් කුසල ධර්මයෝ පිරිහෙති. අකුසලයෝ වැඩෙති. ආත්ම හේතුවෙන් හෝ පර හේතුවෙන් සත්‍ය ප්‍රකාශ කරයිද, පිසුණු බස් නොකියාද, භේද වුවන් සමගි කිරීමට හෝ ඊට අනුබල දෙන වදන් පවසයි ද? නිර්දෝෂී වූ, කනට සුව එළවන, මන බඳන බස් පවසාද, ඉන් කුසල ධර්මයෝ වැඩෙති.” මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනයයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් ආර්ය අංගයක් වන සම්මා වාචා යනු යහපත් කථාවයි. සතර සංග්‍රහ වස්තුන් හි දෙවන සංග්‍රහ වස්තුව පි‍්‍රය වචනයයි. රජවරුන් පවා තම වැසියනට යහපත් වචනයෙන් ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී හුවා දක්වා තිබේ. මෙම සියලු දේශනාවන් මගින් වචන හසුරුවා ගන්නා ආකාරය සහ කළ යුතු, නොකළයුතු කථා මොනවාද යන්න ගැනත් භාග්‍යවතුන් වහන්සේ ඉතා දීර්ඝව කරුණු පැහැදිලි කර දී තිබේ. ඒ අනුව වචනය අවභාවිත වන ක්‍රම හතරකි. ඒ අසත්‍ය වචන, පරුෂ වචන, හිතවතුන් බිඳවන වචන හා නිරර්ථක වචන කතා කිරීමයි. සත්‍යය නොවන්නේ අසත්‍යයයි. අසත්‍යයෙන් රවටනු ලැබීමට කිසිවකු කැමැ ති නැත. මුසා බස් පවසන පුද්ගලයාට නොකළ හැකි දුසිරිතක් නැතැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. පාරමී පුරණ සමයේ කිසි මොහොතක උන් වහන්සේගේ මුවින් අසත්‍ය බසක් පිටවී නැත. මුසාබස් තෙපලීම නිරයගාමි අකුසලයකි. නිරයෙන් මිදී මනුලොව ඉපදුණද ඔහුගේ බස් කිසිවකු පිළිගන්නේ නැත. මුඛයේ සහ කතා කිරීමේ විරූපිතා ඇති වේ. පරුෂ බස්, සිත රිදවන රළු වදන් කියමින් දොස් පැවරීම හා බැණ වැදීම ද වචී දුශ්චරිතයට අයත් අනෙක් පාපයයි. ඉන් අසන්නාගේ සිත පෑරීමට හා වේදනාවට පත්වන බැවිනි. තිරිසන් සතුන් පවා රළු වදන් වලට කැමති නැත. නන්දිවිශාල ජාතකය මීට හොඳම නිදර්ශනයකි. එබඳු සැඩ වචන මගින් දෝෂාරෝපණය කිරීම කායිකව කරන හිංසාවට වඩා බලවත් ය.කායික හිංසනය කෙටි කලකින් සුවපත්වේ. එහෙත් මනසට කරන පීඩාව කෙනෙකුගේ දීර්ඝකාලීන සන්තාපයට හේතු වේ. සමගියෙන් සිටින අය වෙන් කිරීමේ අරමුණින් කේළාම් කීම තුන්වන වචී දුශ්චරිතයයි. ශිෂ්ට සමාජය එය අගය නොකෙරේ. කේළාම් කීමෙන් ගිහි සමාජයේ හිත මිතුරන් පමණක් නොව ඇතැම් අවස්ථාවන්හි දී ස්වාමින්වහන්සේලා පවා බිඳවු අයුරුත් එම පාපය කරණකොට ගෙන ඔවුන් ලද කටුක විපාකත් බුදුන් වහන්සේ සිය දේශනාවල පහදාදී ඇත. නිෂ්ඵල ප්‍රලාපයන්හි යෙදීම ද අකුශලයක් වන අතරම යහපත් කටයුත්තක නිරතවීමට තිබෙන වටිනා කාලය නිකරුණේ ගෙවා දැමීමක්ද වෙයි. එම නිරර්ථක ප්‍රලාප ප්‍රඥාවන්තයෝ හෙළා දකිති. අප විසින් බැහැර කළ යුතු අර්ථශූන්‍ය කතා දෙතිසක් තිබේ.

අයහපත් වචනයෙන් වැළකීම පමණක් නොසෑහෙයි. සත්‍ය වචන, හදවතට සුව එළවන වචන, මිනිසුන් අතර සමගිය රැකෙන වචන හා අර්ථවත් වචන කථා කිරීමට පුරුදු කිරීමෙන් අප වාග් සුචරිතයෙහි යෙදිය යුතු ය. තමා පමණක් නොව අන්‍යයන්ද මෙම සත් කාර්යයට යොමු කිරීමට වෑයම් කළ යුතුය. සමාජය ක්‍රමයෙන් සුචරිතයට හැඩ ගැසෙන්නේ එවිටය. එසේ මිනිස් සන්තානය සුවපත් කරන කථා දහයක් බුදුන් වහන්සේ අපට දේශනා කරති.

බුදුන් වහන්සේ වසර 45 ක් තුළ දෙසූ අසූහාර දහසක් ධර්මස්කන්ධය විශ්වයෙහි දකින්නට ලැබෙන මිහිරිතම හා මානව සමාජයට අර්ථය සලසන වචන මාලාවට ශ්‍රේෂ්ඨ උදාහරණයයි. එහි එකදු අර්ථ ශූන්‍ය පදයක් නැත. එකදු රළු වචනයක් හෝ දෙපාර්ශවයක් භේද කරන වචනයක් නැත. ගණනය කළ නොහැකි අසීමාන්තික දෙවි බඹහු හා ශ්‍රාවක පිරිස් උන්වහන්සේ දෙසු මිිහිරි දහම ශ්‍රවණය කොට දෙලොව වැඩ සාදාගත්හ. ශ්‍රාවකයින් බියගන්වා සසර බිය හා නිරා දුක අවබෝධ කරවීමටවත් උන්වහන්සේ කිසිවිටෙක අනිසි වචන භාවිත කළේ නැත. බුදුන් වහන්සේ ගේ භාෂාව හදවතට ඉතා පි‍්‍රයයි, සවනට ඉතා මිහිරියි. ඇසීමට පි‍්‍රයයි. මල් මෙන් මුදු මොළොක්ය. ඇසීමට කැමැතිය. යහපත දනවන සුළුය.