Print this Article


පහන් සිතක කවි

 

පරණ පින්

මිනිස් කයක් කලකිනි හමුවන්නේ
මිනිස්සුනේ මොකදැයි නොසිතන්නේ
පිළුණු කෑම හැම තිස්සෙම කන්නේ
අලුත් කෑම ගැන ඇයි නොසොයන්නේ

ඇස කන දිව නාසය ගැන විතරක්
මෝඩ මිනිස් කැළ සිතනා තරමක්
පිළුණු කෑම ටික නිමවෙන දවසක්
ඇතැයි නොදන්නා හැටි මේ කිසිවෙක්

අද අද එයි මරු නිතොර සිතන්නේ
අලුත් කෑම එක් රැස්කර ගන්නේ
පන්සිල් පදවත් රැකුම කරන්නේ
පුර පෝයටවත් පන්සල් යන්නේ

දන් සිල් පුරමින් බවුන් වැඩුවොතින්
අත මිට සරුවේ නොසිතන අයුරින්
යන්නට දවසක ගමනක් සුපසන්
මඟ වියදම් ඇති කාටත් පුළුවන්


මිනිසා කොයිබට ද?

ලාභය අලාභය සතහට පැමිණෙන්නේ
අයසද යස ද විඳ ගැනුමට සිදු වන්නේ
නින්දා ප්‍රසංසා දෙක නැත වළකින්නේ
සැප දුක අතර කවුරුත් කල් අරිමින්නේ

දිගු භව ගමන් මඟකයි සත ඇවිදින්නේ
කාමද රූප අරූප ද එය නැත දන්නේ
කම්පල හේතුකොට ගෙන නොවැ සිදු වන්නේ
මොහොතක් සිතුම වටිනව ලොව මිනිසුන්නේ

මිනිසා මිනිසටම එරෙහිව නැඟ එන්නේ
ගුණදම් බිඳ වැටී දුර් ගුණ මතු වන්නේ
උසස් සතා මිනිසා යැයි පවසන්නේ
එනමුදු කිසිදු දහමක් නැත හඳුනන්නේ

පස් ඉඳුරන්ම පිනවීමට තැත ගන්නේ
අන් අය නසා හෝ අරමුණ වෙත යන්නේ
හිරි හා ඔතප් නැතිවයි පාපය වන්නේ
මිනිසා කොයිබට ද අද ලොව පියඹන්නේ


පැතුම්

ඉරු දින උදේ ඉර පායා එන මොහොතේ
සුදු සුදු වතින් සැරැසී මල් රඳව අතේ
සදහම් පියස වෙත එනු මැන දුවේ පුතේ
නෑ වරදින්නේ නැහැ ඔබගේ අනාගතේ

සදහම් ගුරු අගය සිසුනට වැටහේවා
සදහම් සිප් සතර නිසි ලෙස පිහිටේවා
දුක වේදනා බුදු බලයෙන් දුරු වේවා
මේ කියු කරුණු සිසු අභිමානෙට වේවා


කොහිද මරණය?

මරණය අමතකව නෙක විගඩම් නටනා
ලොවට අවනතව අසිහිය උපදවලා
ජීවත්වන කල මරණය කොහෙද කියා
හදිසියෙ මතක් විය නිසි සිහි ඉපදීලා

කැමැති වුණත් නොමැරෙන්නට සියලු සත
සිතා මතා අත් හැරියත් මරණ බිය
නියත ලෙසින් ජීවත් වන සෑම සත
අතර ‘මරණෙ’ ගැවසෙන යුරු දුටුවෙ සිත


වින්දන මල්

පිපෙන මලකි සිත කටුකය සතුට නැත
පිපෙන මලකි සිත මිහිරිය සතුට ඇත
පිපෙන මලකි සිත දුක සැප දෙකම ඇත
මෙ’හැම පිපෙයි අඩු වැඩි ලෙස සතගෙ සිත


මා ආදර දුවේ පුතේ

සිරි දළදා, රන්වැලි සෑ ශ්‍රී මහ බෝ සමිඳුගේ
පුද ලබමින් වැජඹෙයි යන මඟ අපගේ
තිසරණ සරණ ලබමින් පෙරටම අපගේ
ජීවිත ගොඩ නඟා ගත යුතු වෙයි සුමගේ


සසරේ දිනයක

සමනොළ අරණේ මතුයම් දවසක
ලුම්බිණි සල් මල් සුපිපේවා
සිව්මහ ගංගා පංච මහා වී
නේරංජනය ද මතු වේවා
බුද්ධගයාවේ පින්බර අසිරිය
සමනොළ අඩවියෙ පැතිරේවා
මෙත් බුදු පදවිය සමන් සුරිඳු ලැබ
දම්සක් පැවතුම් හඬ දේවා


පියාණෙනි තෙමස් පින්කම සමරමි

දරුවන් ලබා පිය සෙනෙහස ලබන කොට
පෙර කළ පවක් ඇවිදින් ඔබ ඉදිරියට
හිමි කලා දකුණත ඔබෙ සරීරෙට
අටලෝ දමයි ඔබ වුනෙ නෑ පරාජෙට

වසරින් අසූ නවයක් පසු කර යද්දී
මරුවා ඔබේ පසුපස ලුුහුබැඳ යද්දී
කුරුස කනුව ශෝකෙන් කඳුලැල් බොද්දී
ඔබ තනිවුනා මහ මඟ තනියම එද්දී

මරණය පොදු දමකි ඉපදුන සතට ලොවේ
එය අද ඔබට හෙට මට විය හැක සීවේ
බුදු බණ අසා නැතිකර දුක සසර බවේ
නිවනින් සැනසෙන්න පියතුම ලබන බවේ