Print this Article


පූජාච පූජනියනං

සපුගොඩ අස්සජි නාහිමි

දෙනියාය, බෙලිඅත්ත කුඹුර හල්ගහවලහේන ශ්‍රී සුගතාරාමය ඇතුළු විහාරයන්හි විහාරාධිපති මොරවක මාර /ශ්‍රී විජය මූලික පිරිවෙනෙහි පරිවෙණාධිපති, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා, ප්‍රවීනාචාර්ය ශාස්ත්‍රවේදී විචිත්‍ර පරිත්තභාණි සපුගොඩ අස්සජි හිමිපාණන් වහන්සේට මල්වතු මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව විසින් 2018 මැයි මස 23 වැනි දින මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය සහ සද්ධර්ම කීර්ති ශ්‍රී සුගතපාල ගුණානන්දාභිධාන ත්‍රිපිටකවාගීස්වරාචාර්ය යන ගෞරව නාමය සහිතව පිරිනමන ලදී.


මාපලගම බුද්ධසිරි නා හිමි

රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිවාසී, ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගාලු කෝරළය ඇතුලු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කර්මවාගාචාර්ය, ත්‍රිපිටක ධර්මකීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද, විනයාචාර්ය මාපලගම බුද්ධසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩසිටින ගුණ නැණ බෙලෙන් පිරිපුන් ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

මාපලගම ගම් පියසේ දී 1960 ජූලි 08 වැනි දින ජන්මලාභය ලැබීය. 1971 දෙසැම්බර් 21 දින මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය. ඉක්බිතිව සාමණේර නමක විසින් ප්‍රගුණ කළයුතු ඇවතුම් පැවතුම් පිළිබඳ මනා අවබෝධයක් ලද උන්වහන්සේ වෙහෙරහේන ශ්‍රී රේවත පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ඉක්බිතිව මාතර ශ්‍රී සුදර්ශි විද්‍යායතන පිරිවෙනින් ධර්මවිනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළහ. 1980 ජූනි 14 දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ රාජමහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ. එහිදී උන්වහන්සේගේ ආචාර්යවරුන් වූයේ මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපතිව වැඩසිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී දවුලගල සංඝරතන නාහිමි දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමි හා අපවත්වී වදාළ ප්‍රවීණාචාර්ය මාතර ආනන්ද හිමියන් ය.

1995 මැයි මස 09 වැනි දින අභිනවයෙන් රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළහ. සිරි සඟරුවන් දහම් පාසලද බුද්ධසිරි නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වුණි. මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් දහම් පාසල් සිසු දරු දැරියන් 270 කට පොත්පත් ඇතුළු සියලු පාසල් උපකරණ පරිත්‍යාග කිරීම පොළොන්නරුව අරලගන්විල මිහිඳු දහම් පාසලේ දී සිදු කෙරිණි.


හල්වතුරේ අස්සජි නා හිමි

ශාසනික කටයුතුවලට පමණක් නොව කුදුමහත් ආගමික සමාජීය හා පොදු කටයුතුවලදී ඇප කැපවී කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙස කළුතර, රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි නාහිමියෝ ප්‍රකට ය.

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක අධිපතිත්වය දරන උන්වහන්සේ සිය දිවි ගමනේ 61 වෙනි වියට පසුගියදා පා තැබූහ. 1957 ජූනි 20 වැනිදා බුලත්සිංහල හල්වතුර ග්‍රාමයේ දී ජන්මලාභය ලැබූ මානගේ ජයවර්ධන නම් කුමරුවා හල්වතුර කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

1969 මැයි 02 වැනිදා ඌරගල ශ්‍රී තපෝධනාරාමයේදී හල්වතුරේ අස්සජි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. හොරණ විද්‍යාරත්න විද්‍යායතනය, රත්නපුර බුළුතොට හේමගිරි පිරිවෙන, කොළඹ ජේතවන විද්‍යායතන පිරිවෙන හා නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනින් අධ්‍යාපනය ලද අස්සජි හිමියෝ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විද්‍යෝදය පිරිවෙන හා ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබාගත්හ. අනතුරුව අපවත්වී වදාළ ගිරිකොළ ධම්මාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බෝම්බුවල මුල මහා විහාරාධිපති ධූරයට පත්ව උන්වහන්සේ එහි දියුණුවට සුවිශාල වැඩ කොටසක් ඉටුකරමින් වැඩ වසති. අභාවයට ගොස් වසා දමා තිබූ ශ්‍රී දස්සනසාර ධර්මායතන පිරිවෙන නැවත ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ අස්සජි නාහිමියෝ ය.

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ කළුතර පළාත් නායක පදවිය හොබවන උන්වහන්සේ එම නිකායේ කාරක සභික ධූරය ද දොඩන්ගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයද ශ්‍රී ලංකා තායිවාන් මෛත්‍රී බුද්ධ සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ධූරය ද, ශ්‍රී ලංකා සුබෝධි සහන සේවා පදනමේ සභාපති ලෙසද රටටත් ජනතාවටත් විශාල සේවාවක් සිදු කරනු ලැබේ. 1984 දී ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් මුල්තැන් පූජාව භාරගෙන එය මේ දක්වා සෑම වසරකම පවත්වාගෙන යන අතර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලාට දන් පිරිනැමීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇත.

දඹදිව, තායිලන්තය, තායිවානය, කැනඩාව, සිංගප්පුරුව, කුවේට්, ඕස්ට්‍රේලියාව, බුරුමය, මාලදිවයින, පකිස්ථානය හා නේපාලය යන රටවල විශේෂ ආගමික කටයුතුවලට වැඩම කර ඇති අස්සජි නාහිමියෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පනස් නමකට ආසන්න පිරිසක් සසුනට දායාද කර ඇත. විහාරස්ථානයේ සියලු යටිතල පහසුකම් මේ වන විට සම්පූර්ණ කරඇති අතර බලවත් අඩුවක්ව පැවති දාන ශාලාව සහිත තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩකටයුතු නිමාවට පත්ව තිබේ.

අස්සජි නාහිමියන්ගේ 61 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැති අතර පැමිණි මව්වරුන් 61 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය ද පිරිනමන ලදී.


වැල්ලේතොට පඤ්ඤාදස්සි නා හිමි

මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ වැල්ලේතොට ග්‍රාම නිලධාරී වසමේ උපත ලබා පැවිදි බිමට එක් වූ වැල්ලේතොට පඤ්ඤාදස්සි නාහිමියන් මෙයට වසර ගණනකට ඉහත දී වැල්ලේතොට හා කිතලගම නායිම්බල කිතල ම මධ්‍යම කහදුගොඩ අලමත්තාගොඩ කුන්දවල ප්‍රදේශයට විශාල සේවයක් සිදුකරමින් වැඩවිසූහ.

බදුලුකැලේ අක්කරගණනක් හෙලි පෙහෙළිකර නැතිබැරි දුප්පත් ජනතාව වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර නිවාස (80) ඉදිකර එය පඤ්ඤාදස්සිගම උදාගම වශයෙන් නම්කර ජනතා අයිතියට පවරා දෙන ලදී. උන්වහන්සේ වැඩවිසූ කිතලගම බටහිර නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ ඉඩම් ජනතාවට ලබාදී නිවාස 30 ක් ඉදිකර දී සද්ධාලෝකගම වශයෙන් නම්කර එය ජනතා අයිතියට පවරාදෙන ලදී.

වැල්ලේතොට පඤ්ඤාදස්සි නාහිමියන් අපවත් වී 2018 අගෝස්තුමස 30 වන දිනට වසර 29 ක් සපිරිණි. උන්වහන්සේගේ පළවෙනි ශිෂ්‍ය කිතලගම බටහිර නාගරුක්ඛාරාම පුරාණ විහාරය හා මාතර මැද්දවත්ත නාගබෝධි විහාරාධිපති අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහා නිකායේ උප ප්‍රධාන සංඝනායක පඤ්ඤාදස්සි නාහිමි සමාජසේවා පදනමේ සභාපති අංගුන්න බදුල්ලේ ඤාණදස්සි නාහිමියන්ගේ මෙහෙයවීමෙන් නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේදී පින්කම් මාලාවක් සංවිධානය කොට තිබිණි.