Print this Article


පිරිත් දේශනාව 23 : ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සංසාරය පුරා සම්පූර්ණ කළ පාරමී ධර්ම අනුව ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමෙන් අනතුරු ව සත් සති ගෙවා සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාව අනුව තමන් පළමුව ධර්මය දේශනා කරන්නේ කාටදැයි විමසා බැලූ සේක.

ඒ වන විට ධර්මාවබෝධයට සුදුසු ම පුද්ගලයන් වූයේ පස්වග තවුසන් ය. පස්වග තවුසන් වාසය කළ බරණැස ඉසිපතනාරාමයට වැඩම කර එහි දී තම පළමු ධර්ම දේශනාව පැවැත්වූ හ.

ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පස් දෙනෙක් තාපසයන් රැස් වුව ද දස දහසක් ලෝකධාතුව පුරා ධර්ම දේශනාව පැතිර ගිය බවත් දහඅට කෝටියක් දෙව් බඹුන් එහි පැමිණ ධර්ම ශ්‍රවණය කළ බවත් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් දේශනාව ශ්‍රවණය කළ සාධුකාර දුන් දේව පිරිස් වන්නේ.

භූමිනිශි‍්‍රත දෙවියන්, චාතුර්මහාරාජික දෙවියන්, තාවතිංස දෙවියන්, යාම දෙවියන්, නිම්මාණරතී දෙවියන්, පරනිම්මිත වසවර්තී දෙවියන්, බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියන්, බ්‍රහ්ම පුරෝහිත දෙවියන්, මහා බ්‍රහ්ම දෙවියන්, පරිත්‍රාභ දෙවියන්, අප්පමාණාභ දෙවියන්, ආභස්සර දෙවියන්, පරිත්තසුභ දෙවියන්, අප්පමාණසුභ දෙවියන්, සුභකිණ්හ දෙවියන්, වේහප්පල දෙවියන්, අවිහ දෙවියන්, අතප්ප දෙවියන්, සුදස්ස දෙවියන්, සුදස්සී දෙවියන්, අකනිට්ඨක දෙවියන්, බ්‍රහ්මලෝකවාසී බ්‍රාහ්මනයන් යන පිරිස් ය.

භූමස්ථ දෙවියන් ගේ සිට ( බිම වාසය කළ) අකනිට්ඨකා බ්‍රහ්ම ලෝකය දක්වාම , දෙවියෝ මෙවැනි දහමක් දේශනා කිරීමට සමත් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ මාරයෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ ලොව වෙනත් කිසිවෙකුටවත් මෙවැනි දේශනාවක් කිරීමට නොහැකි යැයි සාධුකාර පැවැත්වූහ. අකනිට්ඨකා බ්‍රහ්ම ලෝකයෙහි දෙවියෝ සාධුකාරය පවත්වද් දී දස දහසක් ලෝක ධාතුව කම්පා විය.

දෙවියන්ගේ දේවානුභාවය ද ඉක්මවා ආලෝකයක් පැතිරිණි.

එකල්හි බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ තෙමේ චතුස්සත්‍යය අවබෝධ කළේ යැයි දේශනා කළහ. මේ කාරණය හේතුකොටගෙන කොණ්ඩඤ්ඤ හිමියන්ට අඤ්ඤා කොණ්ඩඤ්ඤ නාමය පටබැඳිණි.

අතීත බුදුන් වහන්සේලා ද ලෝ වැසියාට සත්‍ය අවබෝධය කිරීම සඳහා චතුරාර්ය සත්‍යය ඇතුළත් මෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බරණැස ඉසිපතනාරාමයේ දී පවත්වා ඇත. අනාගතයෙහි පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ද බරණැස ඉසිපතනාරාමයෙහි දී තම මුල්ම දහම් දෙසුම ලෙස දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරති.

චතුරාර්ය සත්‍යය සඳහා කාර්යයන් හතරක් ධර්මය තුළ නිර්දේශ කර ඇත.

දුක්ඛ සත්‍යය – හඳුනා ගත යුතු ය.

දුක්ඛ සමුදය සත්‍යය – නැති කළ යුතු ය

දුක්ඛ නිරෝධ සත්‍යය – සාක්ෂාත් කර ගත යුතු ය

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය – පුුරුදු පුහුණු කළ යුතු ය.

මෙලෙසින් සත්‍යයට අදාළ කාර්යය ඉටු කරන විට කෙලෙස් පරිනිර්වාණයට හෙවත් (සෝපාධිසේස පරිනිබ්බාන ධාතුවට) පත් විය හැකි ය. එවිට සසර ගමන නතර වේ.