Print this Article


ගුණ නැණ බල ඇති ප්‍රබුද්ධ දරුවෙක් බිහිකරන්නට...

ගුණ නැණ බල ඇති ප්‍රබුද්ධ දරුවෙක් බිහිකරන්නට...

දරුවෙක් බිහි කරන්න සිටින මව සහ ගැබ තුළ සිටින දරුවා අතර ඇත්තේ කිව නොහැකි තරමේ අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවයකි. මේ ලෝකයේ ඇති උතුම්ම පදවිය මව් පදවියයි. ඒ දරුවෙකු මේ ලෝකයට බිහි කරන්නට අම්මා කෙනෙකු විඳීන අප්‍රමාණ දුක් ගැහැට පාදක කරගෙන ය.

සීතල, උෂ්ණ සහිත කෑමක්, බීමක් නොකා නොබී, අව්වෙන්, වැස්සෙන්, පින්නෙන්, මැසි මදුරුවන්ගෙන් මනා ලෙස ආරක්ෂා වී, දෙනෙතට හරි හමන් නින්දක් නොමැතිව එකී කැප කිරීම් සිදු කරනු ලබන්නේ මේ ලෝකයට දායාද කරන්නට බලාපොරොත්තු වෙන බිළිඳා හෝ බිළිඳීය නිරුපද්‍රිතව බිහි කළ යුතු නිසාවෙනි. මෙලොව එළිය දකින දරු පැටවා රෝග සහිත, අංගවිකල දරුවෙකු බවට පත්වීම කිසිදු මව්පියවරුන් සිහිනෙකින්වත් අපේක්ෂා නොකරන්නකි. කුමන හෝ කර්මයක් පාදක කරගෙන එවැන්නක් සිදු වුවහොත් මව්පියන් විසින් සිදු නොකරන්නක් ද නැත.

තම සියලු වස්තු දේපළ විකුණා හෝ තම දරුවා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකරන්නට එම මව්පියන් පෙළඹෙන්නාහ. එමෙන්ම තම දරුවා අකීකරු, නොහික්මුණු ගති පැවතුම් ඇති, අශීලාචාර සමාජ විරෝධී පුද්ගලයෙකු බවට පත් වුවහොත් ද පෙර කී පරිද්දෙන්ම අනේකවිධ දුක්විඳීමින් මව්පියන් කටයුතු කරන්නාහ. විවිධ වූ පිළිසරණ අපේක්ෂා කරන්නාහ. දරුවා බිහි වූවාට පසු සිදුවන යම් යම් අපහසුතා මුල්කරගනිමින් මෙලෙස කටයුතු කරනවා වෙනුවට දරුවා මව් කුසට පැමිණෙන්නටත් පෙරාතුව මව්පියන්ගේ මනා වූ සූදානම මෙන්ම අවබෝධය තිබේනම් තම සිතැඟි පරිදිම ලොවම එළිය කරන පිනැති දරුවෙක් මෙලොවට බිහි කළ හැකි ය. යන කරුණු කාරණා පිළිබඳ විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් යෙදිය යුතුය. බෞද්ධ ඉතිහාසය තුළදී ද දරුවෙකු ලැබීමට මත්තෙන් මවගේ සහ පියාගේ පෙර සූදානම පිළිබඳව විවිධ තොරතුරු දත හැකිය. මහාමායා දේවිය බෝසතුන් ඉපදීමට පෙර ඇසළ පොහොය දිනයකදී පෙහෙවස් සමාදන්ව සිල්වත් වීම. බෝසත් මව්පියන් තම පින්වත් දරුවා ලැබීමට මත්තෙන් බොහෝ කාලයක් මානසික වශයෙන් පිවිතුරු වීම.

සුජාතා සිටු දියණිය දරුවෙකු අපේක්ෂාවෙන් කිරිපලු වෘක්ෂයට බොහෝ කාලයක් පුද පූජා පැවැත්වීම. චක්ඛුපාල තෙරුන්ගේ පියා පාලිත වෘක්ෂයට පුදපූජා පවත්වා තම බිරිඳ ගර්භණී වූ පසු ගැබ් පෙළහර දැක්වීම. ආදිය අවස්ථා කිහිපයක් පමණකි. ඈත අතීතයේ සිටම දරුවෙකු ලැබීමට මත්තෙන් මවගේ සහ පියාගේ පේ වීම හෙවත් යහපත් මානසික පිරිසිදුභාවය තබා ගැනීම මේ කරුණු තුළින්ද දැකගත හැකිය. “ පුත්තා වත්ථු මනුස්සානං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මනුෂ්‍ය වර්ගයාට ඇති වටිනාම වස්තුව දරුවන් කියා ය. දරුවන් නොමැති වස්තුවේ වටිනාකම බෙහෙවින්ම දැනෙන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් බොහෝ කාලයක් පෙරුම් පුරනා මව්පියන්ටය. තම දරුවන් වෙනුවෙන් මවුපියන් සිදු නොකරන්නක් නැති තරම්ය. එවැනි කැප කිරීම් සිදු කරන්නේම තම දරුවන්ට ඇති අපමණ ආදරය නිසාවෙන්මය. භාරතයේ බමුණන් විසින් බමුණු දහම තුළ මහා බ්‍රහ්මයාට තිබෙනවායැයි කියූ ‘මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා’ යන සතර බ්‍රහ්ම විහරණ බුදුන් වහන්සේ විසින් “ බ්‍රහ්මාති මාතා පිතරෝ ” යනුවෙන් දේශනා කොට මහා බ්‍රහ්මයාට මවුපියන් උපමා කරමින් දෙමාපියන් සතුවද එකී ගුණ ඇති බව දේශනා කළ සේක. තම දරුවන් කෙරෙහි එපමණටම දයාවකින්, කරුණාවකින් කටයුතු කරන්නෝ නම් ඒ මවුපියන්මය.

අතීතයේ ගැබිණි මාතාවන් ව සිටින අම්මාවරුන් විසින් පංච සීලය පවා දෙපාරක් සමාදන් වී ඇති බවට තොරතුරු දැකිය හැකිය. එනම් එකක් තමාටත්, අනෙක් වාරය තම කුසෙහි සිටින දරුවාටත්ය. ඒ තරමටම බිහිකරන දරුවා පිළිබඳව මනා වු අවබෝධයක් එකල අම්මාවරුන්ට තිබී ඇත. බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයේ සිටම අංගුලිමාල සූත්‍රයෙන් පිරිත් දේශනා කරවා ගැනීමද අද දක්වාම සිදුවන උතුම් වූ පින්කමකි. එනිසාවෙන් දරුවන් මෙලොවට බිහි කරන්නට මත්තෙන් මවුපියන් විසින් තම යහපත් මානසික තත්ත්වය මනා අයුරින් ගොඩ නඟා ගනිමින් පිනට දහමට මෙන්ම තම ගුණ දහම් වර්ධනයෙහිලා නිරන්තරයෙන් වෙහෙසිය යුතුය. එලෙස කටයුතු කිරීම තුළින් තමන් බලාපොරොත්තු වෙන ලෙස ම ජව සම්පන්න, ශක්තිසම්පන්න, මවුපිය ගුණ හඳුනන, නැණයෙන්, ගුණයෙන් හෙබි වටිනා දරු සම්පතක් ඒකාන්තයෙන්ම බිහි කළ හැකි වන්නාහ.

එමෙන්ම නිදහස් සිතිවිලි ගොඩනඟා ගැනීම තුළින් ප්‍රබුද්ධ මිනිසෙකු සැකසීමේ හැකියාව ද ඇත.