Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: අමිහිරිය පව් පල

යමක වග්ගය:

අමිහිරිය පව් පල

ඉධ සොචති පෙච්ච සොචති - පාපකාරි උභයත්ථ සොචති
සො සොචති සො විභඤ්ඤති - දිස්වා කම්මකිලිට්ඨම’ත්තනො

පාපකාරි-පව් කාරයා, ඉධ-මෙලොවදී ,සොචති - ශෝක කරයි,පෙච්ච – පරලොව ද, සොචති - ශෝක කරයි , උභයත්ථ - දෙලොවදී ම, සොචති– ශෝක කරයි, සො - හෙතෙම , අත්තනො - තමාගේ, කිලිට්ඨං කම්මං – පාප කර්මය, දිස්වා - දැක, සොචති - ශෝක කරයි, සො - හෙතෙම, විහඤ්ඤති - ඛේදයට පත් වෙයි

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. චුන්ද සූකරිකයා අරමුණු කොට මේ ගාථාද්වය වදාළ හ.

භාග්‍යවතුන් වහන්සේ වැඩ විසූ ආරාමයට යාබදව වාසය කළ ද චුන්ද කිසි දිනෙක විහාරස්ථානයට නොපැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේට ගරු සත්කාර නො කළේ ය. එක් බත් හැන්දක් වත් පිණ්ඩපාතයකට නො බෙදී ය. සැකෙවින් කිවහොත් පිනක් යැයි කිවහැකි කිසි ම දෙයක් නො කළේ ය.

මුළු ජීවිත කාලය ම චුන්ද කළේ ඌරන් මැරීම ය . පණ පිටින් සිටය දී ම ඌරන්ට පොලුවලින් තළ යි. ඒ මස් ඉදිමීම සඳහා . ඉන්පසු කට ඇර නටන උණු වතුර වත් කරයි. ඒ කුස පිරිසුදු කිරීමට ය. අනතුරුව ගිනි හුලකින් ඇඟෙහි රෝම සියල්ල පුළුස්ස යි. මේ සියල්ල කරන විට ඌරා අමුතුවෙන් මරන්නට දෙයක් නැත . මර හඬ දෙමින් වේදනාවෙන් දුක් විඳින සතා ඉබේ ම මැරෙයි.

දිගින් දිගට ම මෙම කුරිරු ප්‍රාණවධය කළ චුන්ද මරණාසන්න සමයෙහි වියරු වැටුණේ ය. ඌරකු මෙන් ගොරවමින්, හතර ගාතෙන් දුවමින්, මළ පහ කර අනුභව කරමින් දැඟලූ ඔහු හික්මවන්නට කිසිවෙක් සමත් නො වූහ. ගෙයින් පිට යන්නට බැරිවන සේ දොරගුළු දැමීම හැර වෙන කිසිවක් කළ නොහැකි විය. තම කර්මානුරූපව දැඩි දුක් විඳි හෙතෙම සත් දිනක් “අවීචි මහා නරකාදි දුක” මෙලොව ම විඳින්නාක් සේ දුක් විඳ මිය ගියේ ය . සත් දිනම දොර වසා තිබුණ ද චුන්ද ඌරකු සේ මරහඬ දුන් හෙයින් බොහෝ අය සිතුවේ ඔහු දින හතක් ම දිවා රෑ ඌරන් මැරූ බව ය.

භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිය භික්ෂූන් වහන්සේ කීප නමක් ‘ස්වාමීනි, චුන්ද ගෙයි දොර වසාගෙන දිගින් දිගට ම ඌරන් මරයි. නියතයෙන් ම ඔහු ලොකු සාදයකට සූදානම් වෙනවා විය හැකි ය. මේ තරම් කුරිරු මස් වැද්දෙක් නම් මීට පෙර ඉන්නට නැතිව ඇතැ ‘යි පැවසූ හ. ‘මහණෙනි, මේ සත් දින පුරා ඔහු ඌරන් මරනවා නො වෙයි. ඔහු ගේ අකුසල විපාකය විඳිනවා. පණ පිටින් ම නිරා දුක් වි ඳිනවා. ඌරකු සේ මරහඬ තළමින් ගේ පුරා එහෙ මෙහෙ දුවන නිසා ගෙයි දොර වහන්නට සිදු වුණා. අද ඔහු මිය ගොස් නරකයෙහි උපන්නා’ යි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ හ. ‘ස්වාමීනි, ඔහු මෙලොවත් දුක් විඳ පරලොවත් දුකට ම පත් වුණා’ යි භික්ෂූන් වහන්සේලා පැවසූ විට තථාගතයන් වහන්සේ ඉහත ගාථාව වදාළ සේක.

අකුසල් කරන පුද්ගලයෝ එම කර්ම කරන අවස්ථාවේ දී එයින් තමන්ට විඳින්නට වෙන විපාක පිළිබඳව නො සිතති. එහෙත් මෙලොව දී ම විපාක විඳින විට ශෝක කරන්නට සිදු වේ. මෙලොව දී මෙන්ම පරලොව දී ද අකුසලයෙහි විපාක විඳින්නට සිදු වේ.