Print this Article


වම්මික සූත්‍රය: ජීවිතයක යථා ස්වභාවය නුවණින් දකින්න

වම්මික සූත්‍රය:

ජීවිතයක යථා ස්වභාවය නුවණින් දකින්න

"භාග්‍යවතුන් වහන්සේ, හිස් භාජනය යැයි දේශනා කොට වදාළේ චිත්ත දියුණුවට බාධා කරන කරුණු පහට ය. එනම් පංච නීවරණයන්ටය. කාම අරමුණුවලට ඇති ආශාව, තරහව, නිදිමත ගතිය, අලස බව හා සිතේ විසිරීම හා පසුතැවිල්ල සැකය යන මේවා චිත්ත දියුණුවට බාධාවන් ය."

රැයෙහි දුම් දමන, දවල් කාලයෙහි ගිනි ගන්නා තුඹසක් බඳු පෘතග්ජන මනුෂ්‍ය ජීවිතයේ, යථා ස්වභාවය නුවණින් දකින්නට තුඹසෙන් හමු වූ පුද්ගලයන් හා වස්තූන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මෙසේ දේශනා කළ සේක.

භික්ෂුව, දෙමං හන්දිය කියා පවසන්නේ සැකයට පවසන නමක් ලෙස නැවත පැහැදිලි කොට දේශනා කළ සේක. සැකය නම් නීවරණ ධර්මයකි. විචිකිච්ඡාවකි. දෙමං හන්දිය තියෙන තුරා කුමන දිශාවක ට ගමන් කරනවා ද කියා සිතා ගන්නට අමාරුය. අවබෝධයෙන් යුක්තව දෙමං හන්දිය උස්සා අයින් කරන්න යැයි කීවේ ඒ නිසාය. එනම්, සැකය බැහැර කරන්න යන්නයි. සැකය බැහැර කර ගන්නට නම්, සප්ත බොජ්ඣංග ධර්මතුළ, ධර්ම විජය යැයි පවසන බෝධි අංගය හොඳින් වැඩිය යුතුවේ. කල්‍යාණවන්ත ආශ්‍රය, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, මගින් ධර්ම විජයට අනුව දහම විමසා සැකහැර ගත යුතුයි. එවිට දෙමං, තුංමන්, හතරමං හන්දියකට පැමිණි කෙනෙකුට තමන්ට අවශ්‍යය මාර්ගයට අනුව කුමන දිශාවකට ගමන් කළ යුතු දැයි නතරව කල්පනා කරමින් සිටිය යුතු නැත. දහමෙහි සැක නොමැති වූ විට එනම්, බුද්ධාදී අටතන්හි සැක නැති වූ විට නිවන් මඟ අනුගමනය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පහසුවෙන් ම ඒ මගෙහි ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ, හිස් භාජනය යැයි දේශනා කොට වදාළේ චිත්ත දියුණුවට බාධා කරන කරුණු පහට ය. එනම් පංච නීවරණයන්ටය. කාම අරමුණුවලට ඇති ආශාව, තරහව, නිදිමත ගතිය, අලස බව හා සිතේ විසිරීම හා පසුතැවිල්ල සැකය යන මේවා චිත්ත දියුණුවට බාධාවන් ය. ඒ නිසා හිස් භාජනය අයින් කරන්න යැයි සඳහන් කළා. එනම් පංචනීවරණ අත්හරින්න යැයි කියන කරුණයි. නීවරණ ධර්ම හොඳින් තේරුම් ගෙන ඒවා බැහැර කළේ නැතිනම් ධර්ම මාර්ගය සපුරා ගත නොහැකි වෙනවා. ලෝකෝත්තර මාර්ගය නොපෙනී යනවා. දැඩි ආශාව පවතින පුද්ගලයකුට කුසල්, අකුසල් මග තේරුම් ගන්න අපහසුවෙනවා. සරු දේ නිසරු හැටියට, නිසරු දේ සරු හැටියට දකින්න පුළුවනි. ඒ නිසා කාමච්ඡන්දය අවබෝධයෙන් යුක්තව බැහැර කර ගැනීම අවශ්‍යයි. අවබෝධයක් නොමැති වූවොත් සමහර කෙනෙක් කාමය බැහැර කළා යැයි රැවටී කටයුතු කරන්න පුළුවනි. කාලයත් සමඟ නැවතත් ඒ ආශාවන් මතුවිය හැකියි. ඒ නිසයි විදර්ශනාවෙන් ම ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ඛන දහමට යටත්කොට දැකීමෙන් ම මේ නීවරණ ධර්ම බැහැර කර ගැනීමට උත්සාහවත් විය යුත්තේ.

ඒ ඥානවන්ත පුද්ගලයා ආයුධයෙන් තවත් හාරන්න ඕනේ යැයි කීවා. භික්ෂුව ඉබ්බා කියා කියන්නේ කුමක් ද? උපාධානස්කන්ධ පහට කියන නමක්. ඒ ස්කන්ධ පහ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, නම් වූ උපාදානස්කන්ධ ය. ‘ඉබ්බා ඔසවා අයින් කරන්න යැයි’ කීවේ උපාධානස්කන්ද පහ අත්හරින්න කියන කාරණයයි.මේ ස්කන්ධ පංචකයෙන් බැඳුණු පසු ගැලවෙන්න බැරි වෙනවා. රූපයට, වේදනාවට, සංඥාවට, විඤ්ඤාණයට බැඳුණු විට මමය, මාගේ ය යන දෘෂ්ඨිය ගලවා ගන්න බැරිවෙනවා. සක්ඛාය දිට්ඨිය කියා කීවේ එයයි. මේ ස්කන්ධ පංචකයෙන් සෑදුණු කය ස්වකීය කොට හිතන්න පටන් ගන්නවා. ඒ කය ස්වකීය කොට තමාගේ වසඟයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් පවතිනවා යැයි කියා සිතූ විට ඇසෙන් දකින රූපත්, කනෙන් අසන ශබ්දත් ආදී සියල්ල ම මම, මගේ කර ගන්නවා. එවිට ප්‍රිය වස්තුවල ඇලෙනවා. අකැමැති වස්තුවල ගැටෙනවා. මේ දෙකම කෙලෙස්, එනම් ලෝභ, ද්වේෂ, මෝහ යි,

කඩුවයි, මස්කපන කොටයයි කියා කීවේ කුමක් ද? එනම් කාම ගුණ පහට කියන නමකි. ඇසෙන් දකින රූප ඉතාම ප්‍රියමනාපයි, ලස්සනයි. කෙලෙස් හට ගන්නවා.කාමයන් සිතේ තැන්පත් කරගෙන සිටිනවා. එය ධර්මයේ මෙසේ සඳහන් කළා. “ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා” ඉටුවඩන, මන වඩන ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන, කඩුවයි මස්කපන කොටෙයි කියා කීවේ මෙන්න මේ පංචකාම ගුණයන්ටයි. මේ පංචකාම ගුණ ඇසෙන් රූපවලට, කනෙන් ශබ්දවලට, නාසයෙන් ආග්‍රහණවලට, දිවෙන් රසට, කයින් ස්පර්ශ, මනසින් සිතිවිලිවලට සකස්විය හැකියි. “ඉටු වඩන මන වඩන ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන” ආදී වශයෙන් කෙලෙස් හටගන්නා ආකාරයට කටයුතු කරන්න පුළුවනි. කඩුවයි මස්කපන කොටයයි කියා පැවසුවේ එයයි. මේ දෙකම තියාගෙන සිටින තුරා නපුරු ජීවිතයක, නපුරු සිතිවිලිවලින් බැහැර විය නොහැකි සේ ඒ පංචකාම ගුණ සිතේ පවතිනතාක් කල් කෙලෙස්වලින් බැහැර විය නොහැකියි. කාමයෝ නම් ඇටසැකිල්ලක් යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

මස් කුට්ටිය නම් ආශ්වාදයෙන් ඇලීමට කියන නමකි. එයත් අයින් කරන්න කීවා. පංචකාම ගුණයන්ගෙන් යම් වූ ද ආශ්වාදයක් ලබනවා නම් එය, මස්කුට්ටියක් යැයි සඳහන් කළා. ධර්මයේ සඳහන් කළ මේ කාමයෝ මස් නැති ඇට කැබල්ලක් හැටියට හඳුන්වයි. “සුනඛයෙක් මස්නැති ඇට කැබැල්ලක් ගෙන හපන්න පටන් ගන්නවා. සුනඛයාගේ ම කට තුවාල වෙලා ලේ ගලන විට ඒ ලේ රසයට සුනඛයා හිතනවා; මේ ඇට කැබැල්ලේ මස් තියෙනවා කියා”. පංචකාමයන්ගෙන් ලබන ආශ්වාදය ඒ වාගෙයි. තාවකාලිකයි. අවසානයේ ශෝකයක්, රිදීමක්, වේදනාවක් පමණයි ඇතිවන්නේ. එසේ නම් මේ මස් කුට්ටිය යැයි පැවසුවේ කාමයන්ගෙන් ලබන ආශ්වාදයටයි. එයත් බැහැර කරන්න යැයි සඳහන් කළා. මේ ඥානවන්තයා ආයුධයෙන් තවදුරටත් හාරන්න අවශ්‍යයැයි කියා කීමේ තේරුම එයයි. නිවන් මඟ පුහුණු කරන ශ්‍රාවකයා ලෝකෝත්තර ප්‍රඥාව නම් වූ ආයුධය රැගෙන පටන් ගත් වීර්යයෙන් සමථ විදර්ශනා වැඩිය යුතුයි යන අදහසයි. මෙයින් ප්‍රකාශ වූයේ, සමථයෙන් සිත එකඟ කරගෙන දියුණු කරගෙන විදර්ශනාවෙන් ප්‍රඥාව වඩා ගැනීමයි.

භික්ෂුව නාගරාජයා කියා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කළ රහතන් වහන්සේට කියන නමක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ නාග රාජයාට ඔහොම සිටින්න ඉඩ දෙන්න. නාග රාජයා සමඟ හැපෙන්න යන්න එපා. නාග රාජයාට වන්දනා කරන්න. මහරහතුන් වහන්සේත් වැඩ සිටිනවා. ආශ්‍රව ක්ෂය කළ ඒ රහතුන් වහන්සේට ගරු කරන්න. උන්වහන්සේ සමඟ ගැටෙන්න එපා. ඒ දේශනා කළ ධර්මය හොඳින් තේරුම්ගෙන ඒ මඟ අනුගමනය කරන්න. වන්දනා කරන්න යැයි සඳහන් කළේ මෙම අදහසයි.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම අවසන් කරනවා. ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බොහෝ ම ධර්ම ප්‍රීතිය ලබනවා. මෙය අසා සිටි බොහෝ භික්ෂූන් වහන්සේලාත් මේ දේශනාව ඉතාම සතුටින් පිළිගත්තා. මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් වම්මික සූත්‍ර දේශනාවෙන් නිවන් මඟ අරමුණු කරගෙන ම සියලු කෙලෙස් නැසීම පිණිස පෘතග්ජන වූ අපටත් උපකාර කර ගත හැකි උතුම් දේශනාවකි.