Print this Article


තෙවළා බුදු වදන් අතරින් 04: දියුණුවේ රහස භාවිත සිතයි

තෙවළා බුදු වදන් අතරින් 04:

දියුණුවේ රහස භාවිත සිතයි

අංගුත්තර ඒකක නිපාතයේ තෙවැනි හා සිව්වන වර්ග අකම්මනිය හා අදාත්ත යනුවෙන් හැඳීන් වේ. වර්ග දෙකෙහිම දහය බැගින් කෙටි සූත්‍ර විස්සක් ඇතුළත්වන අතර ඒ සියල්ලෙහිම මුඛ්‍ය අරමුණ සිත දියුණු කිරිමේ අගයත්, දියුණු නොකිරීමේ ආදීනවත් කෙටියෙන් පැහැදිලි කිරීම ය.

සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන්වහන්සේලා ඇමතු තථාගතයන් වහන්සේ, මහණෙනි, භාවනා වශයෙන් දියුණු කිරීමෙන් යමක් කර්මන්‍ය වේ නම්, ඒ දියුණු කළ සිත හැර කර්මන්‍ය වන අන් දෙයක් මම නො දකිමි. අර්ථය පිණිස පවතින යමක් වේ නම් දියුණු කළ සිත හැර අන් දෙයක් මම නො දකිමි. බහුල වශයෙන් දියුණු කිරීමෙන් අර්ථය පිණිස පවතින යමක් වේ නම් ඒ දියුණු කළ සිත හැර යමක් මම නො දකිමි. දියුණු කිරීමෙන් සැප ගෙන දෙන යමක් වේ නම් දියුණු කළ සිත හැර වෙනත් යමක් මම නොදකිමි.

මහණෙනි, දමනය කරන ලද සිත මෙන් යහපත පිණිස පවතින වෙනත් දහමක් මම නො දකිමි. සිහියෙන් ආරක්ෂා කරන ලද සිත මෙන් අර්ථය පිණිස පවතින අන්කිසි දහමක් මම නො දකිමි. සංවර කරන ලද සිත මෙන් යහපත පිණිස පවතින වෙනත් දහමක් මම නොදකිමි. යනුවෙන් දේශනා කොට වදාළහ. බුදුරදුන්ගේ මෙම දේශනාව අනුව භාවනාවෙන් දියුණු කළ සිත හැර පුද්ගලයාගේ යහපත පිණිස පවතින වෙනත් දෙයක් නොමැති බවත් එවැන්නක් බුදුරජාණන් වහන්සේද නොදකින බවත් පැහැදිලි ය.

කෙනෙකුගේ සියලුම යහපත දමනය කළ, සංවර කළ, ආරක්ෂා කළ, දියුණු කළ සිතේ ප්‍රතිඵලයක් ය යන්න එයින් තවදුරටත් ගම්‍ය වේ. අකම්මනිය යන්නෙන් ක්‍රියාශීලි නොවන, වැඩෙහි යෙදවිය නොහැකි යන අදහස ගම්‍ය වේ. අදාන්ත යනු දමනය නොකළ යන්නයි. භාවිත යනු භාවනාව මගින් සිත දියුණු කිරීමයි. භාවනාවෙන් සිත දියුණු නොකළ හොත් එය අකර්මන්‍ය එකක් බවට පත්වේ (අකම්මනියං). දියුණු නොකළ සිත අනර්ථය පිණිස පවතියි (අනත්‍ථාය). එය දුක පිණිස පවතියි (දුක්ඛාය). එහෙත් භාවනාවෙන් සිත දියුණු කිරීමෙන් එය ක්‍රියාශීලී එකක් බවට පත්වේ (කම්මනිය), එසේ දියුණු කළ සිත යහපත පිණිස පවතී (අත්ථාය). භාවනාවෙන් සිත දියුණු වූ විට එය සුවය ගෙනදෙන්නක් බවට පත්වේ(සුඛාවහං). අදාන්ත වර්ගයේ දැක්වෙන සූත්‍රවල සමස්ත අර්ථය අනුව සිත දමනය කළ යුත්තකි. දමනය කළ සිත (දන්තං), ආරක්ෂා කළ සිත (ගුත්තං), සංවර කරන ලද සිත (සංවුතං) යහපත පිණිස හේතුවේ.

යථෝක්ත බුද්ධ වචනය අනුව සිත වැඩිය යුතු, දියුණු කළ යුතු එකකි. එහි දියුණුව භාවනාව මගින් සිදුවන්නකි. එසේ නම් සිත දියුණු කිරීම පිණිස භාවනාව අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. සිත හා එහි ස්වභාවය බුදුසමයේ තරම් වෙනත් ආගමික ඉගැන්වීමක ඉතා ප්‍රබල අයුරින් ඉදිරිපත්කර නැත. මිනිස් සිතේ ඇති බලය අභිබවා යන කිසිදු බලවේගයක් ලොව නැත. බුද්ධත්වය යනු මිනිස් සිතේ අසිරිමත් බව ලොවට පෙන්වන විශිෂ්ටතම සංකේතයයි. බුදුරදුන් බෝමැ¼ඬ දී සිත අරා සිටි කෙලෙස් මර සෙනඟ පරදවා උදන් ඇනූසේක. සිත දියුණු කිරීමෙන් ලද හැකි අග්‍රඵලය බුද්ධත්වයයි. මිනිසා මිනිසෙක් වන්නේ ද, දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් වන්නේ ද, එසේ නැතහොත් තිරිසනකු වන්නේද, මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය අනුව ය. යම් දියුණුවක් අත්පත්කරගත හැකි නම්, ඒ සියල්ල පිටුපස තිබෙන බලය මිනිසාගේ සිතයි. සිත අකර්මන්‍ය වූ විට, අපිරිසුදු වූ විට, අනාරක්‍ෂිත වූ විට කිසිවක් ජයගත නොහැකි ය. එහෙයින් අභාවිත සිත හැර වෙනත් අනර්ථකාරී දෙයක් තමන් වහන්සේට නොපෙනෙන බව බුදුරදුන් දේශනා කළේ ය. ඉහත බුද්ධ වචනය අනුව සිත දියුණුවේ රහස ය. බෞද්ධ පිළිවෙත අනුව සිත දියුණු කිරීමේ පිළිවෙත භාවනාව යි. බෞද්ධ භාවනාවට අයත් සමථ භාවනාවෙන් කෙරෙන්නේ සිත දියුණු කිරීමයි. සමාධියෙන් අනතුරුව එම සිතේ පවතින විවිධ ශක්තීන් (අභිඤ්ඤා) ඉස්මතු කර ගැනීම සිදු වේ. විදර්ශනා භාවනාවේ නිෂ්ඨාව ප්‍රඥාවයි. යථාවබෝධය ලැබිමයි (යථාභූතඤාණදස්සන). ඒ අනුව ක්‍රමයෙන් සිත දියුණු කොට ප්‍රඥාවේ පරිසමාපත්තියට ළඟාවීම බෞද්ධ භාවනාවේ මූලික අරමුණයි. සිත භාවිත එකක් බවට පත්කරන වැඩ පිළිවෙල භාවනාව නම් ඒ හැර වෙනත් ක්‍රමයකින් සිත දියුණු කළ නොහැකි ය. විවිධ පුද පූජාවල නිරත වීමෙන් සිදුවන්නේ තාවකාලික මානසික සුවයක් ලැබීම පමණි. මෙම තාවකාලික සුවයට බොහෝ දෙනෙක් ලැදියාවක් දක්වති. එනිසා ඉතා පහසුවෙන් ඒ සඳහා යොමු වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතරින් බහුලව අනුගමනය කරන්නේ දානය පමණි. ශීලයට දෙවැනි තැන ලැබෙන අතර සාතිශය බහුතරයක් භාවනාවට එතරම් කැමැත්තක් නොදක්වති. බෝහෝ ආගමික ස්ථානවල වැඩි කාලයක් වෙන් කෙරෙන්නේ පුදපූජා පිළිවෙත් කෙරෙහි ය. එමගින් බොහෝවිට අපේක්ෂා කෙරෙන්නේ ලෞකික අභිමතාර්ථ සාධනය කිරීමයි. එහෙත් භාවනාවෙන් ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද උසස් ප්‍රතිඵල ලබාගත හැකි බව දන්නේ ඉතා සුළු පිරිසක් පමණි. භාවනාවෙන් කෙරෙන්නේ අභ්‍යන්තර සාමය ගොඩ නැගීමයි. අභ්‍යන්තර අකුශල චිත්තවේග ක්‍රමයෙන් ඉවත් කොට ඒ වෙනුවට කුශල සහගත චිත්ත වේග වර්ධනය කිරීම සිදුවන්නේ භාවනාවෙන් ය. ද්වේෂය වෙනුවට මෛත්‍රියත්, ලෝභය වෙනුවට පරිත්‍යාග සිතුවිලිත් මෝහය වෙනුවට ප්‍රඥාවත් එමගින් වර්ධනය වේ. සිත මෙත් සහගත සිතිවිලිවලින් පිරුණු විට කයින්, වචනයෙන්, ද්වේෂය ප්‍රකාශ නොවේ. මිතුරු ආකල්පය හා සිතිවිලි නිසා තමා ගැන මෙන්ම අන් අය ගැනත් ද්වේෂයක් ක්‍රෝධයක් ඇති නොවේ. භාවනාවෙන් සිත දියුණු කළ තැනැත්තාගේ කායික වාචසික ක්‍රියා තැන්පත් ය. ඒ සියල්ල සිහිනුවණින් යුක්තව ප්‍රකාශ වේ. එබැවින් ද්වේෂ සහගත ප්‍රකාශ නිකුත් නොවේ. අනෙකා සමග ගැටුමකට නොඑළඹේ. වර්තමාන ලෝකයට අවශ්‍ය අභ්‍යන්තරයෙන් මිදුණු එවැනි පුද්ගලයන් ය. අවාසනාවකට භාවනාව සම්බන්ධයෙන් ගිහි පැවිදි දෙපක්ෂය ම දක්වන්නේ අල්ප උනන්දුවකි. භාවනාව ගැන ගොඩ නැගී තිබෙන මිත්‍යා ආකල්ප ද මෙයට එක් හේතුවක් වී තිබේ. එය සමාජයෙන් වෙන්වී හුදකලාව කළ යුතු අභ්‍යාසයක් ලෙස ඇතැමෙක් විශ්වාස කරති. එසේ නැතහොත් විවිධ හේතු නිසා අපේක්ෂාභංගත්වයට පත් වූ පසුව කළ යුත්තකි යන වැරැදි ආකල්පය ඇතැමෙකුට තිබේ. මෙය භාවනාව පිළිබඳ වරදවා වටහා ගැනීමකි. භාවනාව නිහඬව කළ යුතු අභ්‍යාසයක් බව සැබවි. වෙනත් පුදපූජාවල මෙන් බාහිර වශයෙන් ප්‍රදර්ශනය වන ක්‍රියාකරකම් එහි නොමැත. විවිධ ඝෝෂා කිරීම් අලංකාර විසිතුරු දෑ එහි නොමැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිහඬ පරිසරයක් පමණි. ප්‍රදර්ශනකාමිත්වයට ලැදි ලෞකික අභිමතාර්ථවලින් පිරුණු කෙනෙකු එයට දක්වන්නේ අතිශය අල්ප කැමැත්තකි. මෙම වැරැදි ආකල්ප නිසා සිත දියුණු කිරීමේ නිවැරැදි ක්‍රමවේදය වන භාවනා ගැන උනන්දුවක් ඇති නොවේ. එහෙත් භාවනාවෙන් තොරව සිත දියුණු කළ හැකි වෙනත් පිළිවෙතක් තිබේ නම් බුදුරජාණන් වහන්සේ එය අපට උගන්වනු නිසැක ය. භාවනාවෙන් භාවිත සිතක් ඇති පුද්ලයා ක්‍රියාශීලි අයෙකි. අලස බවින් තොර අයෙකි. සිහිනුවණින් යුක්ත පූර්ණ අවදියෙන් කටයුතු කරන්නෙකි. වර්තමානයේ ජීවත් වන, අතීතය ගැන පසු නොතැවෙන, අනාගතය ගැන සිහින නොදකින උද්‍යෝගිමත් අයෙකි. භාවිත සිතක් ඇතිකරගත් විට එය පුද්ගලයාගේ මෙන්ම, සමාජයෙත් යහපත පිණිස(අත්‍ථාය), සැපය පිණිස (සුඛාය) හේතු වේ.