Print this Article


තැනට සුදුසු නුවණ

තැනට සුදුසු නුවණ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේ්තවනාරාමයෙහි වැඩ වසන කාලයේ ඥාතීන් වෙත කරන ලද අර්ථ සිද්ධීන් පිළිබඳව දම් සභාවෙහි ඇති වූ සංවාදයක් මුල්කොට මෙම ජාතක කතාව වදාළ සේක.

එදවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයේ බෝධි සත්ත්වයන් වහන්සේ කිසියම් අකුසල කර්මයක් හේතුවෙන් සුනඛ ආත්ම භාවයෙක ඉපදී කුක්කර නමින් බොහෝ සිය දහස් ගණන් සුනඛයන් පිරිවරා වාසය කළහ.

දිනක් රජතුමා සුදු අසුන් යොදා සරසන ලද රථයකින් උයනට ගොස් ක්‍රීඩා කොට ඉර බැස ගිය පසු නුවරට ගියේ ය. රජතුමාගේ ම මඟුල් රථය ද ගමනට සැරසූ අයුරින් ම රජ උයනෙහි නතර කළේ ය. රාත්‍රියෙහි ඇති වූ වර්ෂාවෙන් රථයේ තිබූ සම් හා වරපට තෙමී මොලොක් විය. මාලිගයේ උඩු මහලින් බැසගත් දඩයම් සුනඛයන් විසින් එම රථයේ සම් හා වරපට කා දමන ලදී.

පසුදින රාජ පුරුෂයන් පැමිණ රථයේ සම් හා වරපට සුනඛයන් විසින් කා දමා ඇති බව දැක රජුට දැන්වී ය. රජතුමා ද සුනඛයන් කෙරෙහි කෝපයට පත් ව දුටු දුටු තැන අල්ලා මරා දමන ලෙස නියෝග කළේ ය.

එතැන් පටන් සුනඛයන්ට මහත් විනාශයක් අත් විය. දුටු දුටු තැන දී මරා දමන බැවින් බියට පත් සුනඛයෝ බෝධි සත්ත්වයන් හමුවී,

”නායකයාණෙනි, මහරජතුමාගේ රථයේ සම් හා වරපට සුනඛයන් විසින් කා දමා ඇති බව කී කල්හි කෝපයට පත් රජතුමා දුටු දුටු තැන දී සුනඛයෝ මරන්නට නියෝග කර ඇත. එනිසා බියට පත් අප ඔබ වෙත පැමිණියෙමු” යි කීහ.

බෝසතාණෝ සුනඛයන් පිරිස අමතා,

” නො බියව සිටිනු, මම තොපට ජීවිත දානය ලබා දෙන්නෙමි. මා රජතුමා බැහැදැක එනතුරු මෙහිම රැඳී සිටිනුයි” කීහ.

බෝසතාණෝ තමන්ගේ පාරමිතා ධර්මයන් සිහි කොට මෛත්‍රී භාවනාව මුල්කොට කිසිදු බාධකයකින් තොරව රජ මාලිගයට පැමිණ රජතුමාගේ සිංහාසනය යටට ගොස් වැතිර සිටියහ. ඒ දුටු රාජ පුරුෂයෝ සුනඛයා ඇද එළියට දමන්නට සූදානම් වුවද, රජු එය වැළකීය. ටික වෙලාවකින් සිංහාසනය යටින් පැමිණ සුනඛයා රජු වැඳ,

”මහරජතුමනි, ඔබ වහන්සේ විසින් සුනඛයන් මරවන්නට නියෝග කළ සේක් ද?”

”මාගේ රථයේ සම් හා වර පට සුනඛයන් විසින් කා දමා ඇති බැවින් මම එසේ නියෝග කළෙමි”

”මහරජතුමනි, මරණ සුනඛයන් හැර නො මරණ සුනඛයනුත් සිටිත් ද?

”අපගේ මාලිගයෙහි සිටින දඩයම් සුනඛයන් නො මරමි.” ”මහරජතුමනි, ඔබ වහන්සේ පක්ෂපාතිකම් හේතු කොට ගෙන අගතියට යන ලදී. අගතිගාමි වීම නම් සුදුසු නොවේ. රාජ ධර්මයන්ට ද පටහැනි ය. රජ කෙනෙකු කරුණු කාරණා පරීක්ෂා කොට තරාදියක් මෙන් මධ්‍යස්ථ විය යුතුය. ඔබතුමාගේ දඩයම් සුනඛයන් නො මරන්නේ ය. දුර්වල වූ සුනඛයන් මරන්නේ ය. මෙහිදී සියලු සුනඛයන් මැරීමක් නොව, දුර්වල සුනඛ ඝාතනය වීමක් පමණි සිදුවන්නේ.” ආදී වශයෙන් කරුණු පැහැදිලි කළ අතර, එයින් පැහැදුනු රජු විසින් බෝසතාණන් අමතා,

”පණ්ඩිතයෙනි, තොප විසින් රියේ සම් කෑ සුනඛයන් දන්නෙහි ද? එසේ නම් එය කෙසේ දැන ගත්තෙහි දැයි” ඇසූ කල

”මහරජ, මෙය ඔබගේ දඩයම් සුනඛයන්ගේ වැඩකි. ඒ බව තහවුරු කිරීමට මෝරු වතුර සහ ඊතණ ලබාදෙනු මැනව“ යි කීය.

රජතුමා මෝරු වතුර සහ ඊතණ ගෙන්වූ කල එය මිශ්‍ර කොට රජ මාලිගයෙහි සිටින දඩයම් සුනඛයන්ට පොවන ලදී. මෝරු පානය කළ සුනඛයෝ සම් හා වර පට වමනය කළහ. ඒ දුටු රජතුමා බෝසතුන් කෙරෙහි ඉතා සතුටට පත්ව බොහෝ දේ පරිත්‍යාග කළහ.

ඉන්පසු බෝසතාණෝ ”මහරජතුමනි, නිතරම පක්ෂපාතීව තීරණ නො ගන්න. නිසි කල නිසි දේ කරන්න. අප්‍රමාදව කටයුතු කරන්න” යැයි දස රාජ ධර්මයෙන් අවවාද කොට පරිත්‍යාග කළ දේද නැවත බාර දුන්හ. රජතුමා බෝසතුන්ගේ ධර්ම කතාව කෙරෙහි පැහැදී සියලු සතුන්ට අභය දානය දී බෝසතුන් ප්‍රධාන කොට සියලු සුනඛයන්ට දිවි ඇති තෙක් රජ මැදුරින් ම ආහාර ගැනීමට සැළැස්වීය.

එකල බ්‍රහ්මදත්ත රජුනම් ආනන්ද තෙරුන් ය. අනෙක් පිරිස නම් බුදු පිරිසය . එකල අවවාද දුන් කුක්කුර නායකයා නම් අප සම්බුදුරජාණන් වහන්සේ ය.